දළ පූට්ටුවාගේ මරණය පශ්චාත් පරීක්ෂණයක් | දිනමිණ

දළ පූට්ටුවාගේ මරණය පශ්චාත් පරීක්ෂණයක්

ගල් ගමුව දළ පූට්ටුවා අවාසනාවන්ත ලෙස මිය යෑමේ සිද්ධියත් සමඟ වන අලින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව කතාබහක් සමාජයේ ගොඩනැ‍ඟෙමින් තිබේ. වනාන්තරවල ජීවත් වන අලි ඇතුන්ගේ අරාක්ෂාව තහවුරු කිරීමේ මූලික වගකීම පැවරෙන වනජීවී දෙපාර්තුමේන්තුව නිසි අයුරින් ක්‍රියාත්මක වූයේ නම් දළ පූට්ටුවාගේ ජීවිතය ආරක්ෂා වන්නට තිබූ බවට පරිසර සංවිධාන චෝදනා කරති.

දෙනෙත් අඳ දළ පූට්ටුවාගේ ජීවිතය අනතුරේ බවට මාධ්‍යය මඟින් අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් නමුත් ඇතා මිය යන තුරුම වන ජීවී නිලධාරීන්ට කිසිවක් කරගත නොහැකි වූ බවට ඔවුන් කරන චෝදනාව සාධාරණද නොඑසේ නම් අසාධාරණද යන්න පිළිබඳ ඇත්තේ විවාදයකි. වයස අවුරුදු පනහක් පමණ වන දළ පූට්ටුවා අඩි 09 ක පමණ උසකින් යුත් දැවැන්තයෙකි. හය දහසකට ආසන්න මෙරට වන අලි ගහණයෙන් 5 % ක් පමණ සිටින දළ ඇතුන් අතරින් එකකු වූ නිසාම දළ පූට්ටුවා කෙරෙහි කාගේත් අවධානය යොමුව තිබිණි.

සතාට ආදරය කරන පරිසරවේදීන්ගේ මෙන්ම සතාගේ දළවලට මිලක් නියම කිරීමේ සමත් දඩයම්කරුවන්ද මේ අතර වූහ. අවසානයේ මස් වැද්දන් ජයගත්හ. පරිසරවේදීන් චෝදනා කරන්නේ සතාගේ ඉරණම මෙලෙස තීන්දු වූයේ වන ජීවී නිලධාරීන් සතා පිළිබඳ මස් වැද්දන් තරම් උනන්දු නොවීම නිසා බවය.

අලි මිනිස් ගැටුම එන්න එන්නම වැඩි වෙමින් තිබේ. මිනිසා, අලි වාසභූමි ආක්‍රමණය කරත්දී වනාන්තර සීමාව එන්න එන්නම හැකිලී යාමේ ප්‍රතිඵලය වන අලි ගම් වැදීමය. ජීවිත ආරක්ෂාවට හෝ වගා බිම රැක ගැනීමට අලින්ට වෙඩි තැබීමට ගම් වැසියෝ කටයුතු කරන්නේ බොහෝ විට කළ හැකි වෙනත් දෙයක් නොමැති තැනය. බිරිඳ, දරුවා, මව හෝ පියා මරා දැමූ වන අලියකු වෙඩි තබා ඝාතනය කරන්නට තරම් ඇතැම් අවස්ථාවක පුද්ගලයකු පෙළඹීමට පුළුවන. එසේ වුවත් අලි සමඟ සටන් වදිමින් ගම්මානවල ජීවත් වන බහුතරයක් දෙනා අලින්ට ආදරේය.

වගා ළිඳකට වැටී ඉන් ගොඩ එන්නට දඟලන අලියකු බේරා ගැනීමට ගම්වැසියන් දක්වන උනන්දුව තුළින් ඒ බව පැහැදිලි කර ගත හැකිය. රෝගාතුරව බිම වැතිරී කුසට අහරක් නොමැතිව දඟලන අලියකුට කොළ අතු ළං කරදීමට, කිතුල් බඩ කපා ගෙනවිත් කවන්නට තරම් ගම්වැසියෝ සත්ත්ව කරුණාවෙන් යුක්තය. මේ අතර ඇත් දළවලට පෙම් බඳිමින් මිල මුදල් ජීවිතය කරගත් පිරිස් මෙම වන සතුන් සැලසුම් සහගතව මරා දමති.ගල් ගමුවේ දළ පූට්ටුවා ගොදුරු වූයේ එවැනි පිරිසකය. දෙනෙත් අන්ධව සිටි මෙම ඇති බේරා ගැනීමට අඩු තරමේ සංඥා නිකුත් කරන කොළරයක් හෝ දමන්නට වන ජීවි නිලධාරීන් උන්නදු නොවූයේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

වනජීවී දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ (සෞඛ්‍යය) වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසන්නේ වන සතුන්ගේ ජීවත් ආරාක්ෂා කිරීම සඳහා වනජීවී නිලධාරීන් ක්‍රියාත්මක වන අතරතුර සාමාන්‍යය ජනතාවගේ චර්යාවන් හා ආකල්පද වෙනස් විය යුතු බවයි. ආහාර සොයා තැනින් තැන ඇවිද යන වන සතුන් තමන්ගේ ගමන් මාර්ගය පවත්වා ගෙන යන නිශ්චිත ස්ථාන තිබේ. අලි ඇතුන් මෙලෙස ගමන් ගන්නා ස්ථාන අලි කොරිඩෝ නමින් හඳුන්වයි. මෙම ගමන් මාර්ගයකට අවහිර වන සේ පුද්ගල ක්‍රියාකාරකම් සිදුවීම අලි මිනිස් ගැටුම සඳහා හේතු වෙයි.

සාමාන්‍යයෙන් වාර්ෂිකව අලි ඇතුන් 250 ක් පමණ මිය යන අතර ඉන් මරණ 175 කට පමණ හේතු වන්නේ අලි මිනිස් ගැටුමයි. මෙම මරණ අති බහුතරයක් වෙඩි වැදීම හේතුවෙන් සිදු වන අතර තවත් අලි විශාල සංඛ්‍යාවක් විවිධ ආබාධවලට ලක් වෙති. දළ පූට්ටුවා මුළුමනින්ම දෙනෙත් අන්ධ සත්ත්වයකු වන අතර ඊට හේතු වී තිබුණේ සතාගේ ඇස්වලට වැදී තිබුණු වෙඩි පහරවල්ය. එම වෙඩි පහරවලින් ලත් තුවාල හේතුවෙන් ලෝකය දකින්නට නොහැකිව සිටි දළ පූට්ටුවා අවසානයේ මරණයට පත් වූයේ ද වෙඩි පහර කිහිපයකට ලක් වීමෙනි. අලි මිනිස් ගැටුමින් වසරකට මිනිස් ජීවිත 75 ක් පමණ රටට අහිමි වන අතර එම මරණ බොහොමයකට හේතු වන්නේ මිනිසුන්ගේ නොසැලකිල්ලය.

දළ පූට්ටුවා උපතින් ඇස් අන්ධ සතෙක් නොවූ නිසාම ඌ කලා වැව සිට ගල්ගමුව දක්වා නිතර ආගිය සතෙකි. දෙදාහ වසරේදී මෙම සත්වයාගේ පාදයේ තිබූ ගෙඩියකට ප්‍රතිකාර මමද කළෙමි. අතර එහිදී සතා නිර්වින්දය කර බිම හෙළීමට සිදු විය. එම අවස්ථාවේ ඇතා සම්පූර්ණයෙන්ම අන්ධ තත්ත්වයේ පසු වූ අතර ප්‍රතිකාර මඟින් පාදයේ ගෙඩිය සුව කිරීමට හැකි විය. මෙම සතා වන ජීවි නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදුණු බවට කරන චෝදනා පිළිගත නොහැකි අතර වන ජීවි නිලධාරීන්ගේ කැපවීම මත මෙම සතාගේ ජීවිත කාලය වසර ගණනාවකින් දික්වූ බව කිව යුතුය. දළ ඇතා ඝාතනය වීම අහඹු සිද්ධියකි.

වෙඩි තැබීම කළ පුද්ගලයන්ගේ චර්යාවන්, ආකල්ප හා අවශ්‍යතාවන් මෙම ඝාතනයට හේතු වී තිබෙන අතර එය වන ජීවි නිලධාරීන් රාජකාරියට ඇති කැපවීමේ අඩුවක් නිසා සිදු වූවක් බවට අර්ථකතනය කිරීම වැරදිය. මෙම සතා ගමන් ගන්නා ස්ථානයක් පාසා වන ජීවි බීට්ටු කාර්යාලවල රාජකාරී කරන නිලධාරීන් තැබීම ප්‍රායෝගිකව කළ නොහැකිය. ඊට නිලධාරී හිඟයද බලපා තිබේ. ඇතාගේ මරණයත් සමඟ එවැනි යෝජනා සමාජයෙන් එන්නට ඉඩක් ඇති මුත් මේවා කළ හැකිද නැද්ද යන්න විමසා බැලීම වටී.

මෙම සතාට කොළරයක් යොදා දත්ත රැස් කිරීමකට නොගියේ ඇයිද යන්න පිළිබදවත් යම් යම් අදහස් පළවෙමින් තිබේ. කොළරයක් පැලඳීමෙන් සතාගේ ජීවිතයට තිබෙන අවධානම නැති වන්නේ නැත. සතා ඉන්නා ඉසව්ව පිළිබදව දත්ත ලබා ගැනීම මෙමඟින් කළ හැකිය. හොඳ තත්ත්වයේ කොළරයකට රුපියල් මිලියනක පමණ මුදලක් වැය කිරීමට සිදුවේ. අතර එය වසර දෙකින් දෙකට අලුත් කළ යුතුය. කොළරයක් යෙදීම සඳහා අලියා නිර්වින්දය කිරීමට සිදුවන අතර නිරිවින්දනයේදී සතා මරණයට පත්වීමේ 10 % ක පමණ ඉඩක් ඇත. මේ නිසා ආවාට ගියාට අලියකුට කොළරයක් දැමිය නොහැකිය.

දළ පූට්ටුවා අපට හමු වන විට සිටි වයස අනුව ඌට කොළරයක් පලඳන්නේ නම් මේ වන විට අවම වශයෙන් දෙවරක් නිර්වින්දය කළ යුතුය. එවැනි අවධානමකට සතා යොමු කිරීමේ අවශ්‍යතාවක් අපට පෙනුෙණ් නැත. අනෙක කොළරය යනු අලියාගේ හෝ ඇතාගේ ජීවිතය බේරා දෙන උපකරණයක් නොවේ. කොළරයක් පැලඳ සිටි සතෙකු මියගොස් පැය 20 කා කාලයක් ගත වූ පසු වී.එච්.එස් සංඥා නිකුත් කරයි. කොළරය එකම ස්ථානය තිබෙන බව පෙන්නුම් කිරීමත් සමඟ සතාට හානියක් සිදුව තිබෙන බව හදුනා ගත හැකිය. සතා මියගිය බව අදුනා ගන්න මෙතරම් මුදලක් වැය කළ යුතුද යන්න ප්‍රශ්නයකි. කළ යුතු වන්නේ සතා මරණයෙන් ගලවා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීමය.

කොළරයක් මඟින් දත්ත පැය 06 කට වරක් සහ දිනකට සිව් වරක් ලබා ගනී. ඊට අඩු කාල පරතරයක් තුළ දත්ත ලබා ගැනීම මඟින් මෙම බැටරියේ ආයු කාලය වසර දෙකේ සිට මාස 08 ක පමණ කාලයක් දක්වා අඩුවිය හැකිය. කොළරයක් පැලඳි පමණින් සතාගේ ආරක්ෂාව තහවුරු නොවන බව අපි තේරම් ගත යුතුය. වනජීවී සංරක්ෂණය යනු සතාව කැලයෙන් ඉවත් කිරීම නොවේ. මේ සතා ගල්ගමුවේ වසර ගණනාවක් ජීවත් විය. සතා කැලයෙන් එළියට ගෙන විත් ගාලක දමා ප්‍රදර්ශන භාණ්ඩයක් කිරීම වනජීවි දෙපාර්තුමේන්තුවේ කාර්යභාරය නොවේ.

මෙවැනි වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් වන අතර පවතින දඩුවම් වැඩි කිරීම කෙරෙහිද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. අලියකු ඝාතනය කිරීමට වරදකරු වුවහොත් දැනට පවතින ඉහළම දඬුවම වසර 05 ක සිර දඩුවමක් හෝ රුපියල් ලක්ෂ 05 ක දඩයකි. නැතහොත් මෙම සිර දඩුවම හා දඩය යන දෙකම නියම කිරීමේ බලය අධිකරණයට තිබේ. මෙයට අමතරව අලියකුගේ දළ, ශරීර කොටස් බලපත්‍ර නොමැතිව ළඟ තබා ගැනීමත් වරදකි. පවතින දඩ හා සිර දඩුවම් කාලය ඉහළ දැමීම සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම කෙරෙහි වක්‍රව බලපෑමක් සිදු කරනු ඇත.

 

සටහන
අසේල කුරුළුවංශ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...