චෞරයන්ගේ වීරයෝ | දිනමිණ

චෞරයන්ගේ වීරයෝ

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනීසිටින කණ්ඩායමේ උදවියට එරෙහි දූෂණ හා අපරාධ සම්බන්ධ නඩු විභාග එකින් එක ඇරඹෙන බව පෙනෙන්නට තිබේ. බොහෝවිට විවේචනය තිබෙන්නේ එම කටයුතු ඉතා හෙමින් සිදුවීම සම්බන්ධයෙනි. ඇතැම්විට ආණ්ඩුවේම නායකයින් කියන්නේ මේ තත්ත්වය තමන්ට ද ප්‍රශ්නයක් බවයි. මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ උදවිය ආරක්ෂා කරන බවට අනියමින් චෝදනා එල්ලවන අවස්ථා ද දකින්නට ලැබුණි. ඒ ප්‍රශ්නයේ එක පැත්තකි.

අනෙක් පැත්තේ සිටින රාජපක්ෂවාදීන් කියන්නේ මෙය නම් මහා දේශපාලන පළිගැනීමක් බවයි. රාජපක්ෂ පවුලේ උදවිය සිරගත කරන්න ආණ්ඩුව සැලසුම්කොට තිබෙන බවත්, එය නීතිය අවභාවිත කරමින් සිදුකරන බවත් මහින්ද රාජපක්ෂ මහතා කියා තිබිණි. එම කණ්ඩායමේ අනෙක් අයද කියන්නේ එම කතාවමයි. ඒ සියලු දෙනාටද බරපතළ චෝදනා එල්ලවී තිබෙන අතර බොහෝ දේ හෙළිදරව්වී තිබෙන්නේ වහන්න බැරි ආකාරයෙනි. එහෙත් කිසිඳු ලජ්ජාවක් නැති මෙම පිරිස කියන්න හදන්නේ මේවා බොරු බව හා දේශපාලන පළිගැනීම් බවය.

රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේ චෝදනාවකට ලක්වූවකුගෙන් මූල්‍යමය ප්‍රතිලාභයක් ලබාගත් බව හෙළිවීම නිසාය. කරුණානායක මහතා කියන ආකාරයට එම ගනුදෙනුව කර ඇත්තේ ඔහුගේ බිරිය හා දියණියයි. එසේ වුවද කරුණානායක මහතා ඉල්ලා අස්වී පසුපෙළට ගියේය. තිලක් මාරපන මහතාට කාලෙකට පෙර ගෙදර යන්න සිදුවූයේ චෝදනාවට ලක්වූවකු වෙනුවෙන් කතාකරමින් කටවරද්දාගත් නිසාය. දැන් වනවිට ඔප්පුවී ඇත්තේ එදා ඔහු කී කතාවට ප්‍රබල පදනමක් තිබූ බවය. එසේ වුවද එදා ඔහු ඉල්ලා අස්වුයේ අදාළ පරීක්ෂණ ගැන විශ්වාසය ඇතිවීම සඳහාය. ලජ්ජාව තිබෙන අය ක්‍රියා කරන්නේ එහෙමය.

රාජපක්ෂ පි‍ෙළ් උදවිය ගැන හෙළිදරව් වන්නේ මීට වඩා බරපතළ කාරණාය. හිටපු නියෝජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට ඇති දේපළ හම්බකරගත් ක්‍රමයක් නැත. කොළඹින්, නුවරින් පමණක් නොව ලන්ඩනයෙන් ද ඔහුට ඇති දේපළ සොයාගෙනය. සිංගප්පූරුවේ බැංකු ගිණුම් ගැන ද හෙළිදරව් වී ඇත. නඩුව විභාගයට නියමිතය. අලුත්ගමගේ මහතා උසාවියට නොපැමිණීම නිසා ඇපකරුවන් කැඳවන්නට ද සිදුවිය. ‍චෝදනා ඔප්පුවී නැති බව ඇත්තය. එසේ වුවද සිදුවී තිබෙන්නේ කුමක් ද කියා අමුතුවෙන් කිවයුතු නැත. ලජ්ජාව ඇති අයෙකුනම් දේශපාලනයෙන් ඉවත්වී ගෙදර යා යුතුයි. එහෙත් එහෙම වෙන්නේ නැත. උත්සාහය නම් දේශපාලන ගේම් ගසමින් මේ සියල්ල ආරක්ෂා කර ගන්නටය.

විමල් වීරවංශට ද චෝදනා රාශියකි. අමාත්‍යංශයේ නිවාස හා දේපළ ඥාති මිත්‍රාදීන්ට බෙදීම එක නඩුවකි. එය ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතය. දැන් අලුත් නඩුවකි. ඒ අයථා ලෙස මුදල් රැස්කිරීම සම්බන්ධයෙනි. මේ වත්කම් සොයාගත් ආකාරය කියාගන්නට බැරිය. එය දෙවන නඩුවකි. හොර පාස්පෝට් හැදීම තවත් නඩුවකි. කොහෙන් කෙළවරවෙයි ද කියා කියන්නට බැරිය. එහෙම කිව්වාට නීතිය හරියට ක්‍රියාත්මක වුවහොත් සිදුවිය යුත‍්තේ කුමක් ද යන්න සිතාගැනීමට අපහසු නැත.

නීතිය ඉදිරියේ සමාන නැති අය

මිග් යානා ගනුදෙනුවේ කතාව තවත් එකකි. එහි ගිවිසුම් හොරට හැදූ බව සොයාගෙන අවසන්ය. ඇතැම් සමාගම් ව්‍යාජ ඒවාය. ගනුදෙනුවේ යටිමඩි ගැසූ මුදල් ප්‍රමාණය කෝටි ගණනක් බව කියති. මෙහි චුදිතයෝ රටින් රටට පනිමින් සිටිති. නීතියේද පිහිට පතති. තවත් සමහරුන්ට එක්තරා මුක්තියක් හිමිවී ඇත. ඔවුහු නීතිය ඉදිරියේ සමානයෝ නොවෙති.

තමන්ගේ පියාගේ සොහොන් හැදුවාට, කෞතුකාගාර හැදුවාට කිසිවකු දොස් කියන්නේ නැත. ඒවා කළ යුත්තේ තමන් උපයාගත් මුදලිනි. එයට ආණ්ඩුවේ මුදල් යෙදවීමට කිසිවකුට අයිතියක් නැත. රජයේ මුදල් අතමාරුවටවත් දෙන්න බැරිය. මුදලින් කොටසක් පසුව ගෙවුවා කීවාට අපරාධය අවසන් වන්නේ නැත. මේවා එළියට ආවේ ආණ්ඩුව පෙරළුණු නිසාය. නැතිනම් කිසිවක්ම හෙළිවන්නේ නැත. දැන් මේවා හෙළිවුවත් නීතිය නවන්නට දේශපාලන බලය යොදවන ලෙස වෙනත් බලපෑම් සිදුවන බව දැනගන්නට ඇත. ඒ සඳහා ඉදිරියෙන්ම සිටින්නේ රටට සුචරිතය කියාදිය යුතු ඇතැම් භික්ෂූන්වහන්සේලාය.

මේ උදාහරණ ලෙස කිහිපයක් පමණකි. මල්වානේ හිමිකරුවෙක් නැති මහා මන්දිර ගැන, ඩේසි ආච්චිට ලැබුණු මැණික් මල්ලෙන් රාජපක්ෂ පුතෙකුට මහා මන්දිර ලැබුණු හැටි ආදිය ගැන මතක් කළ යුතු නැත. සිරිලිය සවිය තවත් කතාවකි.

තාජුඩීන් ඝාතනය ගැන තවමත් පරීක්ෂණ අවසන් නැත. ඒත් එකක් පැහැදිලිය. තාජුඩීන් ඝාතනය කර ඇති බවට සැකයක් නැත. අනුර සේනානායකලා සිරගෙදර සිටින්නේ එම ඝාතනය වසන් කරන්නට හැදුවාටය. එය කළේ කාගේ වුවමනාවට ද යන ප්‍රශ්නයට ඉදිරියේදී පිළිතුරු ලැබිය යුතුව ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ද තවමත් විසඳී අවසන් නැත. නමුත් බොහෝ දේ පැහැදිලිවෙමින් පවතියි. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය ගැන නඩු පැවරීම ගැන මත දෙකක් ඇති බව නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ප්‍රකාශ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ මෙයට මිනීමැරුම් චෝදනාව යටතේ නඩු පැවරිය යුතු බවය. නීතිපති දෙපාර්ත‍ෙම්න්තුව කියා ඇත්තේ පැහැරගෙනයාම සම්බන්ධයෙන් නඩු පැවරීම සෑහෙන බවකි. නීතිය ඉදිරියේ කුමක් කියැවුණත් සිදුවී ඇති දේ පැහැදිලිය. ප්‍රශ්නය තිබෙන්නේ නීතිය සම්බන්ධයෙනි. මිනියක් අතුරුදන් කළවිට මිනීමැරුමක් අතුරුදන් කළ හැකි ද යන්න එම ප්‍රශ්නයයි.

මෙම ප්‍රශ්න හා මෙබඳු වෙනත් ප්‍රශ්න ගැන සොයන්නට දැන් කාලය ගතවුණා හොඳටම වැඩිය. ජනතාවට තිබෙන ප්‍රශ්නය ඒකය. මේවා සොයා ඉක්මනින් දඬුවම් කළයුතු බව ජනතාව කියන්නේ යළිත් මෙබඳු දෑ සිදුවීම නවත්වන්නටය. දැන් ඉන්න හා අනාගතයේ බලයට පත්වන දේශපාලනඥයන්ට ද පාඩමක් ඉගෙන ගන්නටය. එසේ නැතිව රාජපක්ෂලා හා ඔවුන් සමඟ ඉන්නා කල්ලිය ගැන වෙනයම් ආකාරයක වෛරී චේතනාවක් නිසා නම් නොවේ.

රාජපක්ෂ කල්ලියේ උදවිය කියන්නේ මේ හොරකම් හා අපරාධ ගැන සෙවීම දේශපාලන පළිගැනීම් බවයි. ඒ කියන්නේ මේවා ගැන සෙවීම වැරදි බවයි. ඔවුන් හිතන්නේ බලයේ ඉන්නවිට හොරකම් කරන්නටත්, මිනී මරන්නටත්, වෙනත් ඕනෑම අපරාධයක් කරන්නටත් අයිතියක් තිබිය යුතු බව විය යුතුයි. ඔවුන්ට අනුව බලය යනු සියලු අපරාධ කරන්නට තියෙන මුක්තියකි.

පසුගිය රජයේ හොරකම් ගැන කියනවිටද මොවුන් කියන එකම තර්කය මේ ආණ්ඩුවේ සිටින්නේද හොරුන් බවයි. ඔවුන් ලොකුවට පුම්බන්නට හදන්නේ බැඳුම්කරයයි. මොවුන් කියන්න හදන්නේ තමන්ගේ සියලු වංචාවලට වඩා බැඳුම්කර වංචාව විශාල බවයි. එය ඇත්තක් යයි මොහොතකට හෝ පිළිගන්නේ නම් කළ යුත්තේ සියල්ලටම එකසේ දඬුවම් කිරීමයි. එසේ නැතිව අපිත් හොරු තොපිත් හොරු කීවාට ඒවා එකින් එක කැපී යන්නේ නැත. කවුරු හොරකම් කළත් මුදල් ජනතාවගේය. දෙගොල්ල එකිනෙකාගෙන් හොරකම් කළේනම් අපිට ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය තියෙන්නේ ජනතාවගේ මුදල් සොරකම් කිරීමයි.

බැඳුම්කරය උස්සාගෙන යන්නට විපක්ෂය දැරූ උත්සාහය දැන් අසාර්ථක වී හමාරය. ඒ ගැන රටටම පෙනෙන්නට පරීක්ෂා සිදුවීය. වාර්තාව හෙට අනිද්දා ලැබෙනු ඇත. ප්‍රශ්නයක් මතුවිය හැක්කේ කවුරුන් හෝ නීතිය නවන්නට ගියහොත්ය. එසේ වුවහොත් සංවේදී මහජනයා එවිට ප්‍රතිචාරය දක්වනු නො අනුමානය. එමෙන්ම දැන් ජනතාව කියන්නේ බැඳුම්කරය ගැන හොයන්න දැක්වූ කාර්යක්ෂමතාවය පසුගිය රජයේ හොරකම් ගැන සොයන්නට ද තිබිය යුතු බවයි.

දේශපාලන පළිගැනීම් ගැන කියන කතාවද මහපොළොවේ නැති තත්ත්වයකි. මෙරට දේශපාලන පළිගැනීම් අතීතයේදී සිදුවූ ආකාරය වැඩිහිටියෝ දනිති. දිනන පාර්ශ්වය වැඩ පටන්ගන්නේ පැරදුනු පාර්ශ්වයට පහරදෙමිනි. ගෙවල් ගිනි තබමිනි. ඇතැම්විට මිනී මරමිනි. රජයේ ආයතනවලට හිටපු රජය පත්කළ නිලධාරින්ට වැඩට එන්නට ලැබෙන්නේ නැත. ආවොත් යන්නට වෙන්නේ ගුටිකාගෙනය. එම තනතුරුවලට අලුතින් පත්වීම්දීමක් නැත. බලයට එන පක්ෂයේ උදවිය තනතුරු අල්ලාගන්නේ බලහත්කාරයෙනි. රජයේ ඉහළ තනතුරු ආණ්ඩුවට හිතවත් උදවියගෙන් පුරවන අතර පැරදුනු පක්ෂයේ උදවියට යන්නට ‘සයිබීරියාවක්’ තිබිණි.

රජයේ තනතුරු උසස්වීම් දුන්නේ සුදුසුකම් බලා නොව පක්ෂය බලලාය. පැරදුනු පක්ෂයේ උදවියට තනතුරු ලැබෙන්නේ නැත. රජයේ රස්සා දෙන්නේ ද ආණ්ඩු පක්ෂයේ උදවියටය. 1994 ආණ්ඩු මාරුවේ සිට මෙම තත්ත්වයේ යම් වෙනසක් දකින්නට ලැබුණි. මෙවර එය සිදුවුණේම නැත. අතීතය ගැන නොදත් තරුණයන්ට මෙම වෙනස නොතේරනවා විය හැකිය. එහෙත් වැඩිහිටියෝ මේවා දනිති.

දැන් සමහරු කියන්නට පටන්ගෙන තියෙන්නේ ප්‍රශ්නය ඇත්තේ මෙම යහපාලනයේම බවයි. පැරදුනු අයට පහරදී බියපත්කර, තනතුරුවලින් නෙරපා සියල්ල සුද්දකර නොගැනීම වරදක් බවයි. ඒ නිසා රාජපක්ෂවාදීන්ට ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්නට, ප්‍රමාද කරන්නට හා අඩපණ කරන්නට හැකිවී ඇති බව කියති. රාජපක්ෂ පාලනයෙන් කළ දේවලට එරෙහිව ද පෙළපාලි යන්නේ උපවාස කරන්නේ පාරවල් හරස්කරන්නේ දැන්ය. නැව් නො එන නාන තටාක වී තිබුණු වරාය සංවර්ධනය කරන්නට යනවිට කඩාකප්පල් කරන්නට හදන්නේ දැන්ය. මෙය යහපාලනයේ වැරදී ඇති බව කියන උදවිය කියන්නේ මොවුන්ට මුලදීම පහරදී මෙල්ල කර නොගැනීම වරදක් බවයි. එබඳු ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් මතුවන්නේ දැන් යහපාලනය යටතේ ලැබී තිබෙන නිදහස අව‍භාවිත කිරීම නිසාය. එම ප්‍රජාතන්ත්‍රවිරෝධී අදහස් මැඬලීමට නම් නැවත බලයට එන්න දඟලන හොර කල්ලියට ඉඩ නොදිය යුතුය.

රාජපක්ෂ පාලනය ගෙනගියේ තම පාක්ෂිකයන්ට හිතවතුන්ට ජාතික ධනය රිසිසේ කොල්ලකන්නට ඉඩ දෙමිනි. තමන් වෙත පැමිණ බලය රැකගන්න ආධාර කරන උදවියට ඇමැති තනතුරු දී කීවේ හොඳහැටි හම්බකර ගන්නටය. දැන් මේ එළියට එන්නේ එසේ හම්බකරගත් ධනයයි. තවත් විශාල ධනස්කන්ධයක් රහසේ සඟවා ඇති බවට සැකයක් නැත.

ගමටම ගිය හොරකම

පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මට්ටමේද සිදුවූයේ එම ක්‍රියාවලියයි. විවිධ කොන්ත්‍රාත් හා ටෙන්ඩර් මඟින් මුදල් යටිමඩි ගහගන්නට තම හෙන්චයියන්ට ඉඩදී තිබිණි. ඒ කටයුතු සඳහා තවත් පිරිසක් නඩත්තු කරන්නටද දී තිබූ අතර දේශපාලන බලය රැකගන්නට යොදාගන්නේ එම චෞර කණ්ඩායමයි. දැන් නැවත බලයට එන්නට දඟලන්නේද එම සොර කණ්ඩායමයි. දැන් මේ කණ්ඩායමට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ තමන්ගේ අතීත කෙරුවාව පස්සෙන් එළවා පැමිණීමයි. බලයෙන් උමතුවී කළ හොරකම්, මැරකම්, චණ්ඩිකම් හා මිනීමැරුම් එළියට ඒමයි. එවිට ඒවායින් ගැලවෙන්නට විවිධ උප්පරවැට්ටි, ජල්තර කිරීමට මොවුහු පෙලඹී සිටිති. ඇතැමුන් විවිධාකාර වීරයන් බව කියමින් ඕනෑම අපරාධයකින් තමන්ට මුක්තිය තිබිය යුතු යැයි ද සිතති. එලෙස කියන්නට ආගමික ප්‍රභූන්ද ඉදිරිපත්වීම අභාග්‍යයකි.

කෙසේ වෙතත් මෙබඳු අපරාධවලින් ගැලවීයාමට කිසිවකුට ඉඩදිය යුතු නැත. මහජන මුදල් කොල්ලකෑම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අපරාධ ද සැලකිය යුතු වන්නේ ආනන්තරීය කර්මවලට පමණක් දෙවැනි වන පාපකර්ම වශයෙනි. ඒවාට දඬුවම් දීම අනිවාර්යෙන් සිදුවිය යුත්තකි.

සී. ජේ. අමරතුංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...