කළු­බෝ­වි­ටි­යාන තේ කර්මාන්ත ශාලාවෙන් කිලෝවකට 118 ක ඉහළ මිලක් | දිනමිණ

කළු­බෝ­වි­ටි­යාන තේ කර්මාන්ත ශාලාවෙන් කිලෝවකට 118 ක ඉහළ මිලක්

මහින්ද අලුත්ගෙදර

ඉතිහාසයේ පළමු වරට අමු තේ දලු කිලෝවක්‌ සඳහා රුපියල් 118ක ඉහළම මිලක්‌ තේ දලු හිමියන් වෙත ගෙවීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගම සමත් වෙයි.

එම තේ සමාගම මේ වනවිට කුඩා තේවතු හිමියන් 6,000 ක ගෙන් පමණ අමු තේ දලු මිලදී ගන්නා අතර වාර්ෂිකව තේ කිලෝ ග්රෑම් ලක්ෂ 35ක් පමණ නිෂ්පාදනය කරන බව ද සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ සභාපති පුෂ්පික සමරකෝන් මහතා ප්‍රකාශ කරයි.

1992 වසරේ දී ආරම්භ කරන ලද සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම වර්තමානය වනවිට තේ කර්මාන්ත ශාලා 4කට හිමිකම් කියන අතර එයින් කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාවට සුවිශේෂී තැනක් හිමිවනුයේ එහි නිෂ්පාදනය වන පහතරට සීටීසී වර්ගයේ තේ සඳහා ලෝක වෙළෙඳ පොළේ ඉහළ මිලක් සහ හොඳ නාමයක් හිමිවීම නිසා බව ද එම තේ කර්මාන්ත ශාලාව පමණක් වසරකට තේ කිලෝ 1.2ක් පමණ නිෂ්පාදනය කරන බව ද ඒ මහතා පෙන්වාදෙයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

රජය යටතේ පවතින තේ කර්මාන්ත ශාලාවක්‌ විසින් ලබාදුන් ඉහළම මිල වශයෙන් මෙය ලෙස හැඳින්විය හැකි අතර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින, වසර 25ක ඉතිහාසයක්‌ ඇති කළුබෝවිටියාන තේ සමාගම මඟින් කුඩා තේ හිමියන්ට ඉහළ මිලක්‌ ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් සමාගමට සියලු පාර්ශ්වයන්ගේ ප්‍රසාදය හිමිවෙයි. රාජ්‍ය සමාගමක් වශයෙන් ශ්‍රී ලාංකීය කුඩා තේවතු හිමියන් වෙත විශාල සහයෝගයක් ලබාදෙන සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම තේ ප්‍රභේද තුනක් නිෂ්පාදනය කරයි.

මේ සමාගම සතු තේ කර්මාන්ත ශාලා වෙත ලැබෙන අමු තේ දලුවලින් සියයට 70ක් පමණ කුඩා තේවතු හිමියන්ගෙන් වන අතර එයිනුත් සියයට 50ක් පමණ පහතරට තේ දලු වෙයි. පෞද්ගලික තේ කර්මාන්ත ශාලා සඳහා හොඳ තරගයක් මෙන්ම තේ දලු හිමියන් වෙත හොඳ ආදායමක් ලබාදීමට සමත්ව සිටින සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම තේ නිෂ්පාදන ක්‍රියාවලිය උසස් ප්‍රමිතියෙන් සිදුකිරීම හේතුවෙන් කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව සඳහා ISO 22000, HACCP සහ GMP තත්ත්ව සහතික ලබා ගැනීමට ද සමත්ව සිටී.

මේ සමාගම සතු තේ සඳහා ඉහළ ඉල්ලුමක් පැවැතීම හේතුවෙන් රුසියාව, ඉරානය, ඉරාකය හා තුර්කිය ඇතුළු ලොව පිළිගත් රටවල වෙළෙඳ පොළවලට ඇතුළත් වන අතර වසර කිහිපයක් පුරා විශිෂ්ටයන් වෙනුවෙන් පිරිනමන ජාත්‍යන්තර සම්මාන රැසක් ලබාගැනීමට ද සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම සමත්ව තිබේ. ගත වූ වසර දෙකක කාලය තුළ විවිධ අභියෝග මත සමාගම විශාල දියුණුවක්‌ කරා පැමිණ තිබෙන අතර සැමවිටම උත්සාහ ගන්නේ උසස්‌ තත්ත්වයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගික ජනතාවට ලබාදීමටයි. 

 

නව අදහස දක්වන්න