උසස් ප්‍රමිතිය දියුණුවේ රහසයි | දිනමිණ

උසස් ප්‍රමිතිය දියුණුවේ රහසයි

l ජැට් හෝල්ඩින්ග්ස් සමා­ගම් සමූ­හයේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ  එලි­යන් ගුණ­ව­ර්ධන

නව ව්‍යවසායක‍යකු ලෙස ඔබට ලෝකය දිනන්නට අවශ්‍ය නම් ඔබ විසින් කියවා බැලිය යුතු “අත්පොතක්” බඳු වූ ද, ආදර්ශයට ගතයුතු පුරෝගාමී චරිතයක් බඳු වූද සාර්ථක ව්‍යාපාරිකයකු පිළිබඳ අඬහැරයක් ඉදිරිපත් කිරීමට දිනමිණ - කප්රුක අපි අද සූදානම් ය.

නීල-හරිත ආර්ථිකයක් - එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවක් තේමාකොටගත් වසර 2018 අය-වැය වැනි ඉදිරිගාමී ආර්ථික දැක්ම තුළින් අතිසාර්ථක ප්‍රතිඵල ලබන්නට නම් අප මේ කරළියට ගෙන එන ලොව දිනූ අපේම ව්‍යාපාරික මහාමොළකරු වැන්නෝ තවත් දස දහස් ගණනක් බිහි කරගත යුතුමය.

එවන් සුබ ප්‍රාර්ථනා පෙරදැරිව මේ කතාබහ ගොඩනගනුයේ වෙන කිසිවකුත් සමඟ නොවේ, දකුණු ආසියාව, ආසියාව ජයගත් යුරෝපයට අතපොවන්නට සූදානම් ජැට් හෝල්ඩින්ග්ස් සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ එලියන් ගුණවර්ධන මහතා සමඟය.

ඉතාම පුංචියට තම ව්‍යාපාරික ලෝකය ඉතා දුෂ්කර, අභියෝග රාශියක් මැද ආරම්භකොට නොසැලී ඉදිරියට ආ ඔහු මේ වනවිට ගොඩනගාගෙන තිබෙන වෙළෙඳ නාමය නැතිනම් තම ව්‍යාපාරයේ සන්නාමය ලෝ ප්‍රකට වී ඇත. එවන් සාර්ථක ව්‍යාපාරික ගමනක් ඒමට ඔහුට හැකිවූයේ, ඔහු සතුව උතුම් ගුණාංග රාශියක් උපතේ සිටම පැවතීම බව ඔහු සමඟ අප කළ කතාබහේදී වැටහුණි.

ඉන් බිඳක් බුද්ධිමත් පාඨක ඔබම කියවා සිතට ගන්නට ඉඩක් වෙන් කිරීම අප යුතුකම සේ සිතා මෙසේ සඳහන් කරන්නෙමු.

එලියන් ගුණවර්ධන පාසලේ සිසුවා ‘අ’ ‘ආ’ යනු අකුරු කළේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලිනි. කුඩා කළ පටන් විෂය බාහිර ක්‍රියාකාරකම් ගොන්නකට දක්ෂයකු වූ ඔහු ක්‍රීඩා කිහිපයක වර්ණලාභියකු විය.

එදා පාසලෙන් ලැබූ අධ්‍යාපනය, ඔප්නංවාගත් කුසලතා මත යොවුන් වියේ සමාජයට බට එලියන් ගුණවර්ධන නම් ඔහුට තම ජීවිතය ජයගන්නට නොයෙක් දේ කරන්නට සිදුවිය.

අපි එය ඔහුගේ හඬින්ම අසමු.

“මම ඉස්කෝලේ ගියේ ශාන්ත තෝමස් විදුහලට. ඇත්තටම එදා අපිට ගොඩක් දුෂ්කර ජීවිතයක් ගත කරන්නට සිදුවුණා.” ඒ මම පාසල් යන කාලයේදීම අපේ තාත්තා අපෙන් සදහටම සමුගත්ත නිසා. තාත්තා මාවත් ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් කරපු එක ගැන මට නම් තිබෙන්නේ පුදුම සතුටක්. කොච්චර ආර්ථික අමාරුකම් තිබුණත් අපේ තාත්තා තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම අකුරටම ඉටුකළා කියා මට අද සිතෙනවා. අපේ තාත්තා නැතිවුණා. ‘අම්මාට’ අපේ ජීවිත සාර්ථකව ගොඩනගා ගන්න අපරිමිත කැපකිරීමක් කරන්න සිදුවුණා.

වේලාවට පාසලේ ගාස්තු ටික ගෙවන්න බැරිවුණා. ඒ දවස්වල මම අපේ වත්තේ තිබූ කීර කපලා, සෝදලා දෙහිවල පො‍ළට අරන්ගිහින් විකුණුවා. එහෙම සල්ලි සොයාගෙන පාසල් ගාස්තු ගෙවූ කාලයක් අපට තිබුණා. නමුත්! අද මට ඉතාම සතුටුයි. කීර විකුණලා පාසල් ගාස්තු ගෙවූ කොල්ලාගේ ව්‍යාපාරයේ නාමය ඉස්කෝලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලයේ සඳහන් වන තැනට පත්වීම ගැන.”

ඔහුගේ සාර්ථක ගමනේ පළමු ගුණාංගය ලෙස අප දකිනුයේ අතීතය අමතක නොකිරීමය. තමා ලොකු මහත්ව ව්‍යාපාරික ලොව ජයගන්නාවිට උන්හිටි තැන් අමිහිරි නම්, ඒවා අමතක කරන පිරිස් බොහෝ ඇති සමාජයක තමා විඳි දුක් කරදර, සැඟවීම නොකර ඉදිරිපත් කිරීම වටිනා දෙයක් වේ. ඕනෑම පුද්ගලයකු සාර්ථක වූ විට අමිහිරි අතීතය වළදමා, සුන්දර මුල් අවධියක් කියාපාන්නට පෙලඹෙන යුගයක ඔහු සත්‍යයම පැවැසීම කොතරම් අගනේද?

එපමණක් නොව මම එක එක තැන්වල වැඩකළා. සේල්ස් රෙෆ් කෙනෙක් විදිහට තීන්ත අලෙවි කරන සමාගමක වැඩ කළා. එහි ලොකු මහත්වරුන්ට අපි හොඳ ගුණාත්මක දෙයක් වටිනා පාරිභෝගිකයින්ට ලබාදෙමු කියා යෝජනා කළා. කථා කළා‍. අදහස් ඉදිරිපත් කළා. ඒ ගැන කතාකරන්න ඉතාලියෙන් පිරිසක් ගෙන්නා ගත්තා.

නමුත්! මම වැඩ කළ ආයතනය ඒ කටයුත්ත ප්‍රමාද කළා. බැරිම අවස්ථාවේ ඉතාලියෙන් ආ අය ම‍ාගේ උනන්දුව, කැපවීම දැකලා නුඹට මේක කරන්න පුළුවන්ද? ඇහැව්වා. මා පුළුවන්! කිව්වා. ඉතාලියෙන් තීන්ත ගේන්න ශතපහක් නැතිව මම එක පාරටම පුළුවන් කිවූ නිසා ඔවුන්ට හරිම සතුටක් ඇතිවුණා.

ව්‍යාපාරික ලෝකය ජයගත් එලියන් ගුණවර්ධන නම් වූ තරුණ ව්‍යවසායකයාගේ ගුණාංගය වී තිබුණේ, ලොව දිනනතෙක් අඛණ්ඩව ක්‍රියා කිරීමේ අප්‍රතිහත ධෛර්යයක් සිතේ පැවැතීමය. ඉලක්කය ජයගන්නා තෙක් සිත එක අරමුණක තබා ක්‍රියා කිරීමේ ගුණයය. එය අද ව්‍යාපාරික ලෝකයට පැමිණෙන ඕනෑම අයෙකුගේ සිතේ තිබිය යුතු ගුණාංගයක් වේ.

ඔහු ආරම්භයේ පටන් උත්සාහ ගෙන තිබුණේ වටිනා පාරිභෝගික ජනතාවට ඉහළ ගුණාත්මක, ප්‍රමිතියෙන් උසස් නිපැයුමක් ලබාදීමේ අරමුණ ඇතිව කටයුතු කරන්නටය. එය වත්මන් නව ව්‍යවසායකයින් කොතරම් නම් ආදර්ශයට ගතයුතු ක්‍රියාවක් ද?

ඉතාලියේ අය මට රුපියල් ලක්ෂ ගණනක් වටිනා තීන්ත නිෂ්පාදන අපේ රටට එව්වා. මම ඒවා විකුණලා නියමිත දිනටම සල්ලි ටික ඒ අයට යැව්වා. අවංකවම මට ලැබුණු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගන්න මම කල්පනා කළා. මේ අවස්ථාව මට ලබාදුන්නේ දෙවියන් වහන්සේ බව මට ලොකු විශ්වාසයක් තියෙනවා. මම ඉතාලියේ අයගේ කිසිම ඥාතිත්වයක් හැඳුනුම්කමක් නැති නිකම්ම නිකම් මිනිසෙක්. ඉතිං මට ඔවුන් අවස්ථාවක් දුන්නේ මාගේ කුමක් හෝ හැකියාවක් ඔවුන් දැක්ක නිසානේ, එලියන් ගුණවර්ධන මහතා කියා සිටියි.

ඔහු ඉතා අවංකව ගනුදෙනු පවත්වාගෙන, විනිවිදභාවයෙන් යුතුව ව්‍යාපාරය ‍මෙහෙයවූවෙකි. එමෙන්ම දෙවියන් වහන්සේ කෙරෙහි අසීමිත විශ්වාසයක්, ගෞරවයක් තබා සිටින්නෙකි. එවන් ගුණාංග ද අද දවසේ ව්‍යාපාරික ලොව ජයගන්නට වෙහෙසෙන අයෙකුට පමණක් නොව ඕනෑම සාර්ථක පුද්ගලයකු සතු විය යුතුය.

මේ අන්දමට පිටරටින් ගෙනත් භාණ්ඩ අලෙවි කිරීමෙන් සෑහීමකට පත් නොවූ තැන මම අපේ නිෂ්පාදන කිහිපයක් පටන්ගත්තා. ඒවා ඉතාම ඉහළ ප්‍රමිතියෙන් ගුණාත්මක තත්ත්වයෙන් ජනතාවට ‍දරන්න පුළුවන් මිලකට ලබා දෙන්න කටයුතු කළා. ඒවාගේම අපේ ආයතනයේ වැඩ කරන 600ක් දෙනාගේම සුබසාධනය ගැන මම නිතරම විශාල සොයාබැලීමක් කරනවා. සේවකයින්ට හොඳින් සලකන්න තමයි පළමු කැමැත්ත.”

අතිසාර්ථක වෙළෙඳ ව්‍යාපාරිකයකු හෝ වේවා; කවර තරාතිරමක අයෙකු හෝ වේවා! තම සේවා පිරිස් වෙත හොඳින් සැලකුම් කරන්නේ නම් ඔහුට දියුණුවකරා පහසුවෙන් ගමන් කිරීමට හැකි බවට එලියන් ගුණවර්ධන මහතා සාක්ෂියකි.

අපේ ව්‍යාපාරික ලෝකය දිනෙන් දින පුළුල් වෙනකොට, සාර්ථක වෙනකොට අපි සතුටු වුණත්, ඒ ගැන වැඩි ආඩම්බර වුණේ නෑ. ගනුදෙනු සියල්ල වඩාත් විනිවිදභාවයෙන් යුතුව වාර්තා පොත්වලට ඇතුළු කළා. අපේ වාර්ෂික ගිණුම් වාර්තාව අන්තර්ජාලයට දැම්මා. කිසිම ගනුදෙනුවක් හංගලා නැහැ. අපි ලබන ලාභය ගැන ඕනෑම කෙනෙකුට බලාගන්න පුළුවන්.

“අපි සතුටින් වැඩ කරන්නේ සියල්ල විනිවිදභාවයෙන් යුතුව සිදු කරන නිසයි. අපි ගරු කරන සත්‍යයක් තිබෙනවා. ඒ තමයි ඔබ, ඔබටම අවංක වෙන්න කියන දේ.”

නව ව්‍යාපාරයක් ආරම්භ කරන අයෙකු මේ දේ සිතට ගත යුතු නොවේ ද?

බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය අපේ නිෂ්පාදන මිලදී ගන්නා රටවල්. අපි මෑතකදී පැන්ට්‍රිකබඩ්, ගෘහ උපකරණ, කාර්යාල උපකරණ නිපැයුමක් පටන් ගත්තා. ලෝකයේ දියුණු සමාගම් අබිබවා අපේ නිපැයුමට තැනක් ඇවිත් තිබෙනවා. ඒක සතුටක්.

ඔහු ව්‍යාපාරික ලෝකය ජය ගත්තේ එකම නිෂ්පාදනයක් මත රැඳී සිට නොවේ. නිෂ්පාදන බහුවිධ අංශ කරා විහිදවූ නිසාය. මෙය අන් අය ආදර්ශයට ගත යුතු කරුණකි. එක් නිපැයුමක් මතම රැඳී සිටීමෙන් සිදුවන වාසියට වඩා බහුවිධ නිපැයුම් වෙත යොමුවීම වැඩි වාසිදායක තත්ත්වයක් මතුකරන බව නො‍කිවමනාය.

අපේ ව්‍යාපාරයේ ගනුදෙනු විනිවිදභාවයෙන් යුතුව සිදුවන නිසාත්, නිසි පරිදිම ආදායම් බදු, වෙනත් බදු ගෙවන නිසාත් අපිට ලොකු ප්‍රසාදයක් ලැබී තිබෙනවා. අපි බැංකු මගින් ණය මුදල් ලබා ගන්නට උත්සාහ කරන්නේ නැහැ. ඕනෑතරම් අය අපට අරමුදල් දෙන්නට සූදානම්. එහෙත්! අපි ණය වෙන්න කැමැති නැහැ.

මේ අදහස් ඉතාම වටිනා ව්‍යාපාරික අදහසකි. තමන්ගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය මත අරමුදල් ලබා ගැනීමට ඕනෑතරම් අවස්ථා තිබුණ ද, ඒවා ප්‍රතික්ෂේප කිරීම නව ව්‍යවසායකයකු සිතට ගත යුතු කරුණකි. අරමුදල් ලබාගෙන ව්‍යාපාරයේ දියුණුවට නොයොදා වෙනත් පෞද්ගලික අවශ්‍යතාවන්ට යොදාගන්නට ගිය අපේම සමහර පිරිස් ඉන්පසු පත්වූ දුෂ්කරතා ගැන ඔබට අමුතුවෙන් පැහැදිලි කළයුතු නැත.

සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළේ අපේ සමාගමේ මුදල් ආයෝජනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒවාගේම අපේ කොටස් වෙළෙඳපොළටත් යොමු වෙන්න සිතනවා. අපිට ලෝකය සමඟ ගනුදෙනු කරන්න ඕනෑ. ඒවාගේම නව ව්‍යාපාරික ඥානය ලබාගන්න, තාක්ෂණය ලබාගන්න ඕනෑ. ඔහු කියා සිටියි.

තම අඳුරු අතීතයෙන් මිදී දීප්තිමත් අනාගතයක් කරා පියනැඟ ඇති එලියන් ගුණවර්ධන අපේ ව්‍යාපාරිකයා නව ලොව දිනන්නට නව තාක්ෂණික ඥානය, දැනුම අවශ්‍යම බව පැවැසීම කොතරම් වටින්නේ ද?

මේ අන්දමට දුක දිනා ලොව දිනන්නට සූදානම් නව ව්‍යවසායක පරපුරක් බිහි කරන්නට රට සූදානම් මොහොතක, රජය සපයන සානුබලයත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඉදිරියට ඒමට නොබියව, අභියෝග භාරගෙන කටයුතු කරන්නැයි එලියන් ගුණවර්ධන මහතා අප රටේ තරුණ තරුණියන්ට ආරාධනා කර සිටියි.

ජයසිරි මුණසිංහ

 

 

නව අදහස දක්වන්න