බලශක්තිය පිරිමසින විදුලි බස්රථ සේවයක් | දිනමිණ

බලශක්තිය පිරිමසින විදුලි බස්රථ සේවයක්

වසර 2040 වනවිට ඛනිජ තෙල් නොවන වෙනත් බලශක්ති මතින් ධාවනය වන වාහනවලට පමණක් සීමා කිරීමේ රජයේ මෙවර අයවැය යෝජනාව බලගැන්වීමට පූර්ණ දායකත්වය සපයමින් එම්.ආර්.එච්.හෝල්ඩිංස් පුද්ගලික සමාගම විසින් චීනයේ නිෂ්පාදිත විදුලි බස් රථ 50ක් මෙරටට ගෙන්වීමටසූදානම් බව එහි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ප්‍රසන්න රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේ ය.

නවීන බස්රථ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛතම සමාගමක් වන JIANGXI – B – ENERGY GROUP නම් සමාගම අනුබද්ධිත චීනයේ ෂැංග්‍රෝව් වෙළෙඳ නාමය යටතේ මේ බස්රථ මෙරටට ගෙන්වීමට පියවර ගන්නා බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කෙළේ ය.

ලෝකයේ ඉහළ අවධානයක් යොමු වී ඇති පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් සෑම රටකම ඇති කිරීමේ ජගත් වැඩපිළිවෙළට අනුගත වෙමින් ශ්‍රී ලංකා රජය නව ජාතික වාහන ප්‍රතිපත්තිය මෙවර අයවැයෙන් එළිදැක්වීම ද රුවන් ප්‍රසන්න රාජපක්ෂ මහතාගේ ඇගැයීමට ලක් විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉකුත් නොවැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයේ ප්‍රවාහන අංශ යෝජනා ඉතාම ප්‍රශංසනීය ඒවා බව කී රාජපක්ෂ මහතා, ඒවා ක්‍රියාත්මක කිරීමට දායකවීම පෞද්ගලික අංශයේ යුතුකම හා වගකීම බවද කීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට විදුලි බස් රථ 50ක් හඳුන්වාදීමටත්, ඒ ඔස්සේ පොදු ප්‍රවාහන සේවය විදුලි බලෙන් ක්‍රියාත්මක වන තත්ත්වයට පත්කිරීමේ පරිවර්තනයේ ප්‍රමුඛයා වීමට රුපියල්මිලියන 500ක් වෙන් කිරීම හා පෞද්ගලික බස් හිමියන්ට විදුලි බස්රථ යෙදවීමට සානු බලය සැපැයීමේ යෝජනා තමා අගය කරන බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවැසීය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ යන මහත්වරු ප්‍රවාහන අමාත්‍යංශයේ හා ප්‍රවාහන සේවාවේ විද්වතුන් සමඟ කරුණු සාකච්ඡා කිරීමටද තමන් බලාපොරොත්තු වන බවද රාජපක්ෂ මහතා කීය.

ලොව පුරා පවතින පරිසර හිතකාමී බස් රථ ඉල්ලුම සපුරාලීමට තරම් නිෂ්පාදන ධාරිතාවයකින් යුතු මේ සමාගම වසරකට බස්රථ 20000ක් නිපදවන ආයතනයකි. ඔවුන් ඉලෙක්ට්‍රික් රථ, ඩීසල් හයිබ්‍රිඩ් රථ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ ද නිපදවනු ලබයි.

මෙරටට ගෙන්වා බෙදා හරිනු ලබන නව බස් රථ සඳහා වසර දෙකක වගකීමක් හා කිලෝමීටර් ලක්ෂයක වගකීමක් ද තමන් දරන බවද රාජපක්ෂ මහතා සඳහන් කෙළේ ය. මේ ඡායාරූපවලින් දැක්වෙනුයේ චීනයේ නිෂ්පාදිත නවතම සුඛෝපභෝගි මඟී ප්‍රවාහන බස්රථවලින් කිහිපයකි.

ජයසිරි මුණසිංහ

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...