කතිකාව...! | දිනමිණ

කතිකාව...!

‍දේශපාලකයන්ට මාධ්‍යවේදීන් නැති ව බැරි ය. මාධ්‍යවේදීන්ට දේශපාලකයන් නැති ව බැරි ය. ඒ අපට හිතෙන හැටි ය . එහෙත් එය බොරුවක් නො වේ. නිතර දෙපැත්තට බෙ දී රණ්ඩු අල්ලන්නේ ද මේ දෙපිරිස ය. නැවත කරට අත දමා පාටි දමන්නේ ද මේ පිරිස ම ය. අමෙරිකාවේ වත්මන් ජනාධිපති ට්‍රම්ප් මහත්තයාට පත්තරකාරයන් ඒ හැටි අල්ලන්නේ නැත. එබැවින් එතුමා ජනමාධ්‍ය වි‍වේචනය කරයි. අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ රූස්වේල්ට් ද පත්තර හා පත්තරකාරයන් විවේචනය කළේ ය. රිචඩ් නික්සන්ගේ දෙවෙනියා වූ ස්පිරෝ ඇග්නිව් අමෙරිකාවේ පත්තරවලට දරුණු ලෙස පහර දුන්නේ ය. එහෙත් අමෙරිකාවේ පත්තර වැටුණේ නැත. ඒවා මහජනයා වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කළේ ය.

මීට වසර ගණනාවකට පෙර පුවත්පත් කොමිසම මගින් “පුවත්පත් සමීක්ෂා’ නමින් පොතක් පළ කැරිණි. එම පොතට ජනමාධ්‍යවේදීන් හමුවේ ඇති අභියෝග නමින් ලිපියක් පළ කරන මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා පත්තරකාරයාට ඇති අභියෝග තුනක් සඳහන් කර ඇත. එහි පළමු අභියෝගය ලෙස දක්වා ඇත්තේ ‍දේශපාලන බලපෑම් ය. දෙවන අභියෝගය ලෙස දක්වා ඇත්තේ ආර්ථික බලපෑම් ය. තෙවන අභියෝගය ‍ලෙස දක්වා ඇත්තේ සාංස්කෘතික බලපෑම් ය. මේවා අඩු වැඩි වශයෙන් අදටත් පවතින්නේ යැයි කිව හැකිය. ජනමාධ්‍යවේදියා මේ අභියෝග මධ්‍යයේ තමන්ගේ කාර්යභාරය ඉටු කළ යුතුය. අපගේ විශ්වාසය හා පිළිගැනීම එය වේ.

ඉහත පූර්විකාව ලියා තබන්නට සිත් වූයේ ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මීට දින දෙකකට කලින් රැස්වීමක දී කළ දේශනයක් සිහිපත් වීමෙන් ය. මංගල මහතාගේ කතාවෙන් කියැවෙන්නේ ජනමාධ්‍යවේදියාගේ හා දේශපාලකයාගේ ගැටුම තිබිය යුතු දෙයක් හැටියට ය. එය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට උපයෝගී වන බව ද අමාත්‍යවරයා කියා ඇත. කිසිදු විවාදයක් නැත. ඒ කතාව සම්පූර්ණ ඇත්තකි. ඕනෑම පාලකයකු බලයට පත්වන්නේ ද, ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වන්නේ ද ජනතාවගේ අභිවෘද්ධිය හා නිදහස වෙනුවෙන් අප්‍රමාණ කැපවීමක් කරන පොරොන්දුව මත ය. බලයට පත් වී කාලයක් යන විට බො‍හෝ අයට එය අමතක වෙයි. මේ අමතක වීම ප්‍රශ්න කළ හැකි තැනැත්තා මාධ්‍යවේදියා ය.

මෑත ඉතිහාසය යන්තමට විමසා බැලුවහොත් 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වන්නේ ජනමාධ්‍ය‍යෙන් ලබාදුන් විශාල තල්ලුවක් සමඟ ය. ඔහු දෙවන වර ජනාධිපති පදවිය ලබාගන්නේ ඊටත් වඩා ජන මාධ්‍ය සහයෝගයක් ලබමින් ය. එහෙත් රාජපක්ෂ පාලනය ජනමාධ්‍යයට ලබා දුන් විශේෂ නිදහසක් හෝ විශේෂ වරප්‍රසාදයක් හෝ නැත. මේ පාලනය යටතේ ජනමාධ්‍යවේදීහු පහර කෑහ. සමහරු වෙඩි කා මිය ගියහ. තව සමහරු ජීවිතාරක්ෂාව පතා රටින් පැන ගියහ. තවත් සමහරු අතුරුදන් වූ හ. උදයන් පත්‍ර කාර්යාලයට ගිනි තැබිණි. උදයන් පත්තර‍යේ උප කර්තෘ කුහනාදන් මහතාගේ ඔළුව පොඩි කැරිණි. එම කාර්යාලයේ සුරේශ් වෙඩි තබා මරා දැමිණි. රූපවාහිනී ආයතන කිහිපයක් ගිනි තැබිණි.

මහින්ද රාජපක්ෂ පාලන යුගයේ අපූරු මාධ්‍ය නිදහසක් තිබූ බව ඉහත සිද්ධිවලින් පෙනී යයි. මංගල සමරවීර අමාත්‍යවරයා පැහැදිලි කරන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ දී ජන මාධ්‍යයේ බලය පහළ ගොස් දේශපාලකයාගේ බලය ඉහළට ගිය බව ය. එය හානිකර බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි. මේ කතාව සම්පූර්ණ ඇත්තක් බව ඉතිහාසය දන්නා අය පිළිගනිති. එදා ජනමාධ්‍යයට කළ බලපෑම කෙතරම් ද යත්; සත්‍යය විකෘති කිරීමටත් බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමටත් ජනමාධ්‍ය හුරු වී තිබිණි. සත්‍යය නිර්මාණය කළ නො හැකි ය. එහෙත් ප්‍රවෘත්ති නිර්මාණය කළ හැකිය. එමඟින් සත්‍යයට බලපෑම් කළ හැකි ය. රාජපක්ෂ පාලන සමය තුළ මේ සියල්ල ඉතා හොඳින් සිදු විය. එහෙත් ජනතාව ගොනාට ඇන්දේ නැත. 2015 ජනවාරි‍යේ දී ඒ බව දැනගන්නට ලැබිණි.

ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ දේශනයේ දී ප්‍රකාශ කළ තවත් වැදගත් අදහසක් තිබේ. එනම්; අදට අනුව මාධ්‍ය වාරණයක් සිදු කළ නොහැකි බවය. තාක්ෂණයට අනුව වාරණයට ඉඩක් නැත. වහන දේවල් අරින්නට නූතන තාක්ෂණයට හැකියාවක් තිබේ. විසිඑක් වන සියවසේ ජනමාධ්‍ය වාරණය යනු අවලංගු වචනයක් බව මංගල සමරවීර මහතා කියයි. එය ඇත්තකි. වෙබ් අඩවි තහනම් කරන්නට පුළුවන. එහෙත් ඒවා වසා දමන්නට බැරි ය. තහනමකින් සිදු වන්නේ ඒවා තව - තවත් මහජනයා අතර භාවිතවීම පමණි. අද කළ යුත්තේ මේවා වගකීමකින් යුතුව පාවිච්චි කිරීම ය. එහෙත් නූතනයේ සමාජ වෙබ් අඩවි වගකීමකින් යුතුව පාවිච්චි වන බවක් පෙනෙන්නට නැත. ඒවා වහා ගිනි ඇවිලෙනසුලු බොරු පුවත් මවයි.

හාත්පස බලන විට අපට පෙනීයන්නේ ඕනෑවටත් වඩා නිදහසක් සමාජය පුරා පැතිර ඇති බව ය. සුදු වෑන් සංස්කෘතියක් දැන් නැත. මාධ්‍යවේදීන්ට පහරදීමක් හෝ මරා දැමීමක් හෝ දැන් සිදුවන්නේ නැත. පත්තර පිටු රජගෙදරින් අනුමත කරවා ගැනීමක්ද දැන් සිදුවන්නේ නැත. රජගෙදර ඥාතීන්, පුත්‍රයන් පමණක් නොව එහි වැඩකාරයන් ද එදා ජන මාධ්‍යයට බලපෑම් කළ බව ද, තර්ජනය කළ බව ද රහසක් නොවේ. එහෙත් අද ඒ කිසි දෙයක් නැත. ඒ නිසාම ඇතැම් ජනමාධ්‍ය ක්‍රියා කරන්නේ ආණ්ඩුව දුර්වල යැයි සලකාගෙන බව ද පෙනෙන්නට තිබේ. ඒ අතර ඇතැම් මාධ්‍ය නැවත වීරයන් මතුකිරීමට උත්සාහ දරන බවක් ද දැකගත හැකි ය.

බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය තුළ ප්‍රජා මණ්ඩල හතරක් ඇතැ’යි යන මතය ප්‍රකාශයට පත් වී බොහෝ කාලයක් ගත වී ඇත. එහි හතරවන බලවේගය ලෙස සඳහන් වූයේ පුවත්පත් ය. අද වන විට එය ජනමාධ්‍ය ලෙස සැලැකීම නිවැරැදිය. ජනමාධ්‍ය යනු මිනිස් සමාජයට විශාල බලපෑමක් කරන ආයතනයකි. නූතන සමාජවල පැවැත්ම, අනාගතය හා වර්තමාන ක්‍රියාකාරිත්වය සිදු වන්නේ ද ජනමාධ්‍යවල බලපෑමට අනුව ය. මිනිසුන්ගේ තීන්දු ගැනීමට ද එය අදාළය. එහෙත් දේශපාලන බලපෑම් නිසා ජනමාධ්‍ය නරක අතට යන්නට පුළුවන. නවතා ගත යුතු ප්‍රධාන සාධකය එය යැයි කිව හැකිය. ජනමාධ්‍ය අරමුණ සත්‍යය හා සත්‍යයට අදාළ සාධක ඉදිරිපත් කිරීම ය. එය හැබෑවටම සිදුවන්නේ ද යන්න විමසා බැලිය යුතුය.

මංගල ඇමැතිතුමා අලුත් සංවාදයකට මුලපුරා ඇතැ’යි සිතන්නට පුළුවන. එහි මාතෘකාව ‘දේශපාලනය හා ජනමාධ්‍ය’ යන්න ය. මේ මාතෘකාව ඉතා පුළුල් ලෙසින් සංවාදයට ලක්වන තරමට යහපත් ය. එයින් ජනමාධ්‍ය සේම දේශපාලනය ද නිවැරැදි තැනකට ගෙන යා හැකි ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...