‘මුතුවැල්ල’ සමඟ ඨාකූර් වලව්වට යමු | දිනමිණ

‘මුතුවැල්ල’ සමඟ ඨාකූර් වලව්වට යමු

කෙටිකතාව, නවකතාවෙන් වෙනස් ‍වන්නේ සන්දර්භය අනුව ය. සාහිත්‍ය නිර්මාණයකදී කෙටිකතාකරුවා තමාගේ පරමාර්ථය ඉටුකර ගැනීමට උපක්‍රම එක්තැන් කරගත් පසු, එතැනින් සන්දර්භය උපදිති. කෙටිකතාවක ශක්තිය වන්නේ ඒ කතාව ගළප ගන්නා ආකාරයෙනි. අනවශ්‍ය විස්තර වර්ණනා ආදිය කෙටිකතාවක ඇතුළත් වීම නිසා, පාඨකයාට එය කියැවීමට අරුචියක් ඇතිවෙයි. කථා රසයෙන් පිරිහෙයි. ප්‍රකට සාහිත්‍ය විචාරකයකුව සිටි ධර්මසිරි ඒකනායක කියා ඇති ආකාරයට, කෙටිකතාවක්, හොඳ කෙටිකතාවක් වීමට සිදුවීම් වැල ගළපා තිබෙන ආකාරයෙන් කිසියම් අර්ථයක් ප්‍රකාශ විය යුතු ය. කිසි ම අර්ථයක් ප්‍රකාශ නොවන හිස් සිදුවීම් වැළක් හොඳ කථාවක් විය නොහැකි බව ඔහු පවසා ඇත.

මෑත කාලයේ බිහි වූ කෙටිකතා සංග්‍රහ අතර ඉහත කී ලක්ෂණ, උසස් තේමාත්මක අගයක් පිළිබිඹු කරන කෘතියක් ලෙස, ශ්‍රීනාත් චන්දන මුතුතන්ත්‍රී විසින් ලියන ලද ‘මුතු කිරිල්ල’. ඔහු ලියූ මේ කෙටිකතා සංග්‍රහයට කෙටිකතා දහයක් ඇතුළත් ය. කුණු කන‍්දෙන් එහා, පොඩි හාමුදුරුවෝ, ඨාකුර්ගේ වලව්ව, ඝාතකයා, පුසුඹ, මෝහිණී, මොට්වානි වලව්ව, සීසර්ගේ රාජ්ජේ, සුබ මංගලම්, මුතු වළල්ල මේ කෙටිකතා ය. එකට එකක් වෙනස් තේමාව විකාශනය කිරීමේදී ප්‍රධාන පරමාර්ථයට කෙළින්ම සම්බන්ධ නොවූ කිසිදු සිදුවීමක් හෝ වර්ණනාවක් කතාවලට ඇතුළු නොකිරීමට කතුවරයා වග බලාගෙන ඇත. ඒ නිසා, කතා ප්‍රයෝගය සරලව, අසංකීර්ණව විහිදී යාම මේ කතාවල විශේෂ ලක්ෂණයකි.

‘මුතු වළල්ල’ කෙටිකතා සංග්‍රහයේ එන කතා අතුරින් මගේ සිත ගත් කතා දෙකකි. ‘ඨාකූර් වලව්ව’ හා ‘මුතු වළල්ල’ යන මේ කතා දෙක ම විදේශ ගමන්වලදී ලත් අත්දැකීම් ඉතා නිර්මාණශීලීත්වයකින් හා කුතුහලය දනවන ලෙස ඉදිරිපත් කර ඇති බව පෙනේ. පිටරටකදී ලේඛකයකුට ලැබෙන අත්දැකීම පසුකොට කෙටිකතා රචනය කරන ලේඛකයකුට , මේ නවක කතුවරයාගේ මේ කතා දෙකෙන් ආභාසය ලැබිය හැකි ය.

මා ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා ‘සරසවිය’ පුවත්පත නියෝජනය කරමින් කිහිපවතාවක්ම සහභාගි වී ඇත. ඒ හැම විටම මා උනන්දුවක් දැක්වූයේ විවිධ භාෂා කතා කරන ඉන්දියානු ප්‍රාන්තවලින් උළෙලට ඉදිරිපත් කළ කේරළ, බෙංගාල මනිපුරි, ඇසෑම් බොරෝඩා, කණ්ණඩා, ඔරෙස්සා, පන්ජාබ්, පූනේ ආදි චිත්‍රපට නැරැඹීමට ය. ඒ චිත්‍රපට හොඳ හින්දි, දෙමළ චිත්‍රපටවලට වඩා සිනමාත්මක බවක් , මනුෂ්‍යත්වයක් පිළිබිඹු කිරීම මෙයට හේතුව ය. එහි කතා තේමා සරළ ය. නිර්මාණාත්මක හා සිනමාත්මක බවින් ඉහළ ය. එවැනි උසස් නිර්මාණාත්මක ගති ලක්ෂණ ‘ඨාකූර් වලව්ව’ කෙටිකතාවෙන් මොනවට විද්‍යාමාන වේ.

මේ කෙටිකතාව ආරම්භ කර ඇති ආකාරය බලන්න.

“කණාටු වී ගිය පොල් වත්තේ තැන තැන වැහැරුණු අඹ ගස් ද විය. වත්ත කොපමණ විශාල ද කියා කීමට වැටමායිමක් නොවීය. වත්ත මැද්දට වන්නට තිබූ උළු සෙවිලි කළ විශාල ගෙය වත්තට මායිමක් නොතිබුණ ද, ගේ වටා ලී වැටක් විය. සමහරවිට ලී වැට බැඳ ඇත්තේ එළුවන්ටත් හරකුන්ටත් ගේ අසලට ඒමට අවහිර කරන්නට විය හැකි ය. වැටේ තැන තැන රීප්ප ගැලවී, සතෙකුට රිංගා යාමට හැකි තැන්ද නොතිබුණා නොවේ. මේ නිවෙසේ කාමර දෙකක් සහ කෑම කන සාලයක්, වැසිකිළියක් පමණක් අපට බද්දට දී තිබුණි. බදු මුදල් අය කර ගන්නේ යෂ්වන්ත්පූර් ගමේ පොලිස් බැරැක්කයේ උන් කොස්තාපල්වරයකු වන රාම් මහතා විසිනි. ඔහු මසකට වරක් යෂ්වන්ත්පූර් කර්මාන්ත පුරයෙහි පිහිටි අප ඇඟලුම් ආයතනයට පැමිණ බදු මුදල් රැගෙන යන බව පමණයි මා දන්නේ. නිවෙසේ පිහිටි අනෙක් කාමර බොහෝමයක් වසා දමා තිබූ අතර, මේ නිවෙස බලාකියා ගන්නේ මහලු මිනිසෙකි. හේ නමින් හරිහරන් ය. හරිහරන්ට අමතරව මන්දබුද්ධික තරුණයකුත්, ඉඳහිට අප දකින ගැහැනු ළමයකුත් හැර වෙන කිසිවකු මේ නි‍වෙසේ පිටුපසින් වැලි පාර දිගේ වතුර ගෙන එන්නට යනවා දැක ඇත. උදෑසන හයහමාර වනවිට මාත් , විරාජුත් වැඩට යාමට පිටත් වන අතර, රාත්‍රී හතට අටට පමණ අපි ආපසු නිවෙසට එන්නෙමු. උදෑසන ආහාරත්, දවල් ආහාරත් අප ඇඟලුම් ආයතනයේම ගන්නා අතර, රාත්‍රී කෑම පමණක් ගෙදර ගෙනවිත් කා නිදා ගැනීම බොහෝ දිනවල සිදු විය.”

මේ කතාව කියන කථකයාත්, මිතුරු විරාජුත් ඉරිදා දිනවල සවස රියැදුරු ලවා ගෙන්වා ගන්නා සයිඩර් බෝතලයක්, මුරුක්කු හෝ බදින ලද අල පෙතිත් රැගෙන මලේෂ්වරම් හි නිවහනට එයි. මේ නිවෙස පිහිටා ඇත්තේ යෂ්වන්ත්පූර් සිට කිලෝමීටර් දහයක් පමණ ඈතින් පිහිටි මලේෂ්වරම්වල ය. මාස හයකට පෙර එහි පැමිණි මේ දෙමිතුරෝ එම නිවෙසේ සිටින හරියා සමඟ හෝ ගැහැනු ළමයා සමඟ හෝ මන්දබුද්ධික තරුණයා සමඟ කතා කර නොතිබුණි.

දෙමිතුරෝ ඉරිදා දවස්වල හරියාට සයිඩර් ටිකක් දීමට අවස්ථාවක් ලබා ගත්තේ, තමන් නැවතී සිටින ඨාකූර් වලව්වත්, එහි පදිංචි අය ගැන තොරතුරුත් ලබා ගැනීමට ය. හරිහරන්ගේ මේ වලව්වේ ජීවිතය ඇරැඹෙන්නේ මීට වසර විසි ගණනකට පෙර තම බිරියත්, දියණියත් සමඟ එහි ඇති ගව පට්ටිය බලා ගැනීමට ය. ඔවුන් ගව පට්ටියට යාබද පුංචි මඩුවක ලැඟුම් ගනිති. එහෙත්, කුලහීනයකු වූ හරියාට වලව්වට ඒමට තහනම් විය. එහෙත්, තම බිරියට හොරා ඨාකූර් ගව පට්ටියට ආව ගියේ හරියාගේ දුව ඇහැට කණට පේන ළමිස්සියකු නිසා ය. ඨාකූර්ගේ කෑදර දෑස දියණියට යොමු වෙයි. වලව්වට පැමිණ තමාගේ ආවතේව කිරීමට එන ලෙස ඇයට ඨාකූර් බල කරයි. හරියාට ගෙයක් සාදා දීමට ඨාකූර් කාරුණික වෙයි.

මේ කතාව කතුවරයා ක්‍රමානුකූලව, විශ්වසනීයත්වයෙන් විකාශනය කරන්නේ, අගනා මුතු මාලයක මුතු එකතු කරන ලෙසට ය.

ඨාකූර් හා ඔහුගේ බිරියගේ ගැටුම දුරදිග යයි. වැඩි කල් නො‍ගොසින් හරියාගේ දියණිය ගැබ්බර වෙයි. ඨාකූර්ට සිටින්නේ මන්දබුද්ධික දරුවෙකි. තමාගෙන් පසු ඉඩකඩම් පාලනය බාර දීමට නොහැකිකම නිසා, ඨාකූර් මත්පැන්වලට ලොබ වෙයි. ඨාකූර්ට දාව හරියාගේ දියණියට උපදින්නේ ද දියණියකි. ඨාකූර් බිරිය මැරයන් ලවා හරියාගේ පවුලම මැරවීමට සැළසුම් කළා ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් හරියාගේ බිරිය හා දියණිය මරා දැමුවත්, හරියා තම මිනිබිරිය ද ‍රැගෙන පලා ගියේ ය. වසර කිහිපයකින් ඨාකූර්ගේ බිරිය ද මියගිය අතර, ඨාකූර් තම මන්දබුද්ධික දරුවා සමඟ හුදෙකලාවේ බීමත්ව වලව්වේ වාසය කරමින් සිට මිය යයි. ඨාකූර්ගේ අන්තිම කැමැති පත්‍රය යෂ්වන්ත්පුර් පොලිස් නිලධාරියකුට පවරා තිබූ අතර, ඒ අනුව ඨාකූර්ගේ දේපොළ හරියාගේ මිනිබිරියටත්, මන්දබුද්ධික දරුවාටත් අයිති වෙයි.

කතාවේ උච්ඡ අවස්ථාව කතුවරයා මතුකරන්නේ දිනක් මහ රෑ සිදුවන සිදුවීමකිනි. මහ රෑ හරියාගේ කෑගැසීමත් සමඟ දෙමිතුරෝ අවදි වෙති. හරියාගේ කෑගැසුමකි ඒ. දෙමිතුරෝ එළියට පැන හරියාගෙන් කරුණු විමසති. ඔහු පවසන්නේ මියගිය ඨාකූර්ගේ බිරිය මන්නයක් රැගෙන තම මිනිබිරිය නිදා සිටි කාමරය දෙස බලා සිටින බව ය. එදා සුළඟත්, විදුලිකෙටීමත්, මූසල බියකරු රැයක පරිසරය කතුවරයා අපේ කුතුහලය දනවන ලෙස මවයි.

මේ අතර දෙමිතුරන් සේවය කරන ඇඟලුම් ආයතනය පවත්වාගෙන යාමේ දුෂ්කරතා මැද වසා දැමීමට තීරණය කරයි. සමාගම වෙනත් ආයතනයකට බාර දීමට තීරණය කළ බැවින්, දෙමිතුරන්ට ලංකාවට යාම සිදු වෙයි. දෙමිතුරෝ අවසන් සතිය ගත කිරීමට කේරළයේ උටීවල මනරම් කඳුකරයටත්, ගෝවේ මුහුදු වෙරළටත් යති. ඔවුන් සිතන්නේ ඨාකූර්ගේ මන්දබුද්ධික පුතාටත්, හරියාගේ මිනිබිරියටත් යන කල දවස ගැන ය.

ගෙදර පැමිණ දොර වසා ගන්නා කථකයා දුටුවේ කාමරයේ ඇර තිබූ ජනේලයකින් පිටත බලා සිටින හරියාගේ දියණිය වූ රාධා ය. අන්ධකාර කාමරයේ විදුලිකොටන එළියට ජනේලය අසළට වී පිටත බලා සිටින රාධාව ඔහුට පෙනෙයි. ඈ වැස්සට තෙමීදෝ ඇඳ සිටි දුහුල් කුර්තාව ඇඟට ඇලී ඇති බව දකින ඔහු ,ඇයගේ එතෙක් නොදුටු සොබාව දැක ගනී. ඔහුගේ හදවත හෘද ස්පන්දනය වෙයි. රාධාගේ රුව විදුලිකොටන එළියෙන් දකින ඔහු, කුල්මත්වෙයි. දෙමිතුරෝ නැවත ලංකාවට යන බව කීවිට හරියා මහත් දුකෙන් කඳුළු සලයි.

මේ කෙටිකතාව ඔහු අවසන් කර ඇත්තේ මෙසේ ය. එදා දෙමිතුරන් එහි ගත කරන අන්තිම රාත්‍රියයි.

“මම රාධා වෙතට හෙමින් හෙමින් පියමැන‍්නේ පෙර වූ වික්ෂිප්ත භාවයෙන් යුතුව ය. රාධා නොසෙල්වී ජනේලයෙන් පිටත බලා හුන්නා ය. මම ඈ අසලටම ගියෙමි. මම රාධා බලා සිටි එල්ලේම පිටත බැලුවෙමි. විදුලිකොටන එළියට මා දුටුවේ ගෙයි මායිමේ ලී වැටට එහා සිටි රාධා දෙස වියරුව බලා සිටින කාන්තාවකි. ඇය අත වක් වූ දිගටි මන්නයකි. මම දෘෂ්ටි මායාවක්දෝයි නැවතත් හොඳින් ඈ දෙස බලා උන්විට, නැවත කෙටුණු විදුලි එළියෙන් වඩා හොඳින්ම දැක්කේ හිස දිගට කඩා දමා, සුදු කම්බායක් ඇඳි, රත් පැහැ දෙඇස් දෙකකින් අප දෙස වියරු බැල්මකින් බලා සිටින ගැහැනියකි.”

මේ කෙටිකතාව උසස් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සිනමාත්මක තිර නාටකයකට අපූරු අමුද්‍රව්‍ය සපයයි. එහෙත්, එය රූගත කළ යුත්තේ කේරලයේ ම ය. කේරළයට ගොස් මේ තේමාවෙන් උසස් සිනමා කෘතියක් නිපදවුවොත්, එය උසස් නිර්මාණයක් වනු නිසැක යැයි මට සිතුණි. කතාව කීප වතාවක් කියවූ මට, හරිහරන්, රාධා, ඨාකූර් හා ඔහුගේ බිරිය නම් චරිත, කලක් යනතෙක් අමතක නොවනු ඇති. ඒ සඳහා දර්ශන තෝරා ගැනීමට කේරළයට යාම පවා බොළඳ සිතුවිල්ලක් මා තුළට පිවිසියේ කේරළයේ විශිෂ්ට සිනමා කෘති බිහි කළ අදූර් ගෝපාලක්‍රිෂ්ණන් හා සාජි එන්. කරූන්ට නම් මෙය ගැ‍ළපෙන අපූරු තේමාවක් යයි උපකල්පනය කරමිනි.

ශ්‍රීනාත් චන්දන මුතුතන්ත්‍රී ඉන්දියාවේ මෙන් ම, අප්‍රිකානු රටවල ද, බෙංගාලයේ ඇඟලුම් ආයතන කිහිපයක ද තත්ත්ව පාලන නිලධාරියකු ලෙස සේවය කර ඇති බවට ‘මුතු වළල්ල’ කෙටිකතාවෙන් මොනවට පැහැදිලි වේ. එහිදී තිබූ අත්දැකීම් පසුබිම්කොට හොඳ නවකතාවක් ලියන ලෙස මේ තරුණ ලේඛකයාට අපි ඇරියුම් කරමු.

“මුතු වළල්ල’ ගොඩගේ සහ සහෝදරයන්ගේ ප්‍රකාශනයකි.

ඒ. ඩී. රන්ජිත් කුමාර 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...