මේ කෘතිය අල් කුරානයට අටුවාවක් | දිනමිණ

මේ කෘතිය අල් කුරානයට අටුවාවක්

ධම්මික සෙනෙවිරත්න
උස්තාද් මන්සූර්

අල් කුරාන් අධ්‍යයන විවෘත විද්‍යාලයේ අධ්‍යක්ෂ හා ජාමියා නලීමියා අධ්‍යයන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උස්තාද් මන්සූර් රචනා කළ “කුරාන් චින්තාව” - අල් කුර්ආන් විචාරයේ පළමු වෙළුම පසුගියදා එළි දැක්විණි.එය නිමිතිකොට ගනිමින් කතුවරයා සමඟ කළ සංවාදයකි මේ.

අල්-කුර්ආනය හෝ නබිතුමන් විවේචනය කළොත්, බෙලි කපන්න කියලා අල් කුර්ආනයේ හෝ වෙනත් කිසි ම තැනක සඳහන් කරලා නෑ. නබිතුමා ජීවමානව සිටියදීත් මදීනාවේ යුදෙව් ජාතිකයන් ජීවත් වුණා. ඔවුන් නබි තුමන් දැඩි ලෙස විවේචනය කළා. හැබැයි, එහෙම කළා කියල ඔවුන් ඝාතනය කරන්න නබිතුමා කටයුතු කළේ නෑ.

'කුර්ආන් චින්තාව' කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකිද?

අල් කුර්ආන් පරිවර්තනයක් ඔස්සේ එහි අදහස සම්පූර්ණයෙන් වටහා ගැනීම අසීරුයි. අපි මේ “කුර්ආන් චින්තාව” කෘතිය මඟින් වෑයම් කළේ, අල් කුර්ආනයට අටුවාවක් ඉදිරිපත් කිරීමටයි. අල් කුර්ආන් මඟින් සමාජගත කරන්නේ, මොන වගේ කාරණාද කියන එක ගැන ඉතා පැහැදිලි පණිවුඩයක් මේ හරහා ලැබේවි කියල අප සිතනවා. අල්කුර්ආනය ලෞකික වගේම ආධ්‍යාත්මික ජීවිතයටත් මඟ පෙන්වනවා. මේ අංශ දෙක සඳහාම ඉස්ලාමයේ මඟ පෙන්වීම කෙබඳුද? ඒ ඔස්සේ ඉස්ලාමය ගොඩනැඟීමට වෑයම් කරන්නේ කෙබඳු සමාජයක්ද ? කියන කාරණයත් මේ අටුවාව ඔස්සේ අප ඉදිරිපත් කර තිබෙනවා. පරිවර්තනයකටම සීමා නොවී, අල්කුර්ආන් පරිවර්තනය ඉදිරිපත් කරන අතරම, ඊට අටුවාවකුත් මේ කෘතිය මඟින් සැපයෙනවා.

ධම්මපදය, බයිබලය හෝ භගවත්ගීතාව ගැන ඒ ඒ ආගමික සියල්ලටම නිසි අවබෝධයක් නෑ වගේම, අල් කුර්ආනය ගැනත් සියලු මුස්ලිම්වරුන්ට නිසි අවබෝධයක් නෑ. ඉස්ලාම් නොවන අයට වගේම, ඉස්ලාම් භක්තිකයන්ටත් මේ කෘතිය මඟින් ඒ අවබෝධය ලබාගත හැකි වන බව ඔබ තේරුම් කරන්නෙ කොහොමද ?

අල් කුර්ආනය පහළ වූ පසුබිම විවිධයි. කාලයත් එසේමයි. ඒ කාලය හා පසුබිම පිළිබඳ දැනීමකින් තොරව කවුරුන් හෝ අද අල්-කුර්ආනය කියවන්න වෑයම් කළොත්, සමහරවිට ඔහු ඇතිකර ගන්නා අවබෝධය වැරැදි එකක්.

විශේෂයෙන්, මුස්ලිම් සමාජය ගත්තත්, ශ්‍රී ලාංකික බහුතර මුස්ලිම් වැසියන්ට අරාබි භාෂාව පිළිබඳ දැනුමක් නෑ. ඒ දැනුම තියෙන්නේ අතළොස්සකට විතරයි. එවැනි අවබෝධයක් නැති අය, අල්කුර්ආනයෙන් උකහාගත් දේ, තමන්ගේ ජීවන මාර්ගය බවට පත් කර ගත්තහම, සමාජගත වෙන්නෙ වැරැදි පණිවුඩයක්. බහුතර සිංහල බෞද්ධ සමාජයටත්, අරාබි බස හෝ මේ පසුබිම ගැන ලොකු අවබෝධයක් නෑ. ඒ නිසා, මේ කවුරුත් ඒ පසුබිම හරියාකාරව නොදැන, අල්-කුර්ආනය ගැන යම් යම් දේ ලබා ගත්විට සමාජ ගැටලු බවට ඒවා පත්විය හැකියි. ඇතැම්විට විවිධ චෝදනා නැ‍ඟෙන්නෙත් ඔය නිසයි.

මේ තත්ත්වය නැති කිරීමත් අපි මේ කෘතිය සම්පාදනය කිරීම මඟින් අපේක්ෂා කළා. අල් කුර්ආනයේ වටහාගත යුතු සියල්ල මේ ග්‍රන්ථය ඔස්සේ පැහැදිලි කර තිබෙනවා.

ඔබේ ඒ අරමුණ බහුතර සමාජය එයාකාරයෙන් ග්‍රහණය කර ගනීවී කියලා ඔබට විශ්වාසයක් තියෙනවාද?

මුස්ලිම් සමාජය ගත්තොත්, අඩු ම තරමින් උසස් පෙළවත් හදාරපු වැඩි පිරිසක් සිටිනවා. ඒ පිරිස මේ කෘතිය කියැවීමෙන් අල් කුර්ආනය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිකර ගැනීමට හැකි වේවි.

බහුතර සිංහල බෞද්ධ සමාජය ගත්තොත්, මුස්ලිම් සමාජයට වඩා අධ්‍යාපනය අතින් ඉතා ඉහළ සමාජයක්. ඒ සමාජයේ සිටින උගත්, බුද්ධිමත් පිරිස මේ කෘතිය කියැවීමෙන් ඇතැම්විට ඔවුන් තුළ ඇතිවී තිබෙන වැරැදි අවබෝධ නිවැරැදි කර ගැනීමට හැකි වේවි.

මෙයට හොඳ ම උදාහරණ තමයි පර්දාව. මුස්ලිම් කාන්තාවගේ ඇඳුම් රටාව සහ ජිහාඩ් කියන සංකල්පය. මේ දෙක ගැන ම ඇති වැරැදි අවබෝධ “කුර්ආන් චින්තාව” කියැවීමෙන් නිවැරැදි කර ගන්න පුළුවන්.

ඔබ මේ කෘතිය ඉදිරිපත් කරන්නේ “ලෝ වැසියාට දායාදයක්” යන හැඳින්වීම සහිතව අල්-කුරානයෙන් ඉදිරිපත් වන පණිවුඩය, ඒ අදහස් මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස යොදා ගැනීම වෙනුවට අවාසනාවන්ත තත්ත්වයක් දකින්න තියෙනවා. ආසන්නම නිදසුනක් ගත්තොත්, පසුගියදා මුස්ලිම් පල්ලියකටම එල්ල වූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය‍. ඔවුන් මේ දේ ආගමේ නාමයෙන් සාධාරණීකරණය කරමිනුත් සිටිනවා. ඔබ මේ තත්ත්වය කොහොමද දකින්නෙ?

ලෝකයේ ආයුධ දරමින් සටන් කරන එවැනි පිරිස් ඉන්නෙ අතළොස්සයි. අල්ඛයිඩා, අයි.එස්.අයි.එස්. වගේ සංවිධාන. මේ සංවිධාන මැතිවරණයකට ගියොත්, මුස්ලිම් සමාජය තුළම ඔවුන් අනිවාර්යයෙන්ම පරාජයට පත් වෙනවා. ඒකෙ තේරුම බහුතර මුස්ලිම් සමාජය ඔවුන්ගේ අදහස් පිළිනොගන්නා බව. අනෙක් කාරණය, ලෝකයේ සාධාරණ ලෙස ජය ගත් අය ගැන මාධ්‍ය මඟින් වුණත් වෙන්නෙ හරි ම අඩුවෙන්. උදාහරණයක් හැටියට තුර්කියේ අර්දුඛාන් ඉතා සාධාරණව, ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ ජයග්‍රහණය කළා. හැබැයි, ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණේ නෑ. ඊජිප්තුවේ සාධාරණ ඡන්දයකින් කොටසක් පාලන බලය ලබා ගත්තත්, ඒ ගැන කතා වුණේ නෑ.

ටියුනීසියාවෙත් එහෙමයි. හැබැයි, බෝම්බයක් පිපිරුනහම විශාල ශබ්දයක් ඇති වෙනවා. ඒ වගේ ලෝකය පුරාම ඒ ගැන ශබ්දයක් ඇති වෙනවා. අල් කුර්ආනය පහළ වෙද්දි අද තියෙන ජාතික රාජ්‍ය වගේ ක්‍රමයක් තිබුණෙ නෑ. නූතන ජාතික රාජ්‍යවලට සීමා මායිම් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ලෝක සංවිධාන යටතේ ඔවුන් එක්ව ක්‍රියා කරනවා. ඒත්, එදා එහෙම නෑ. අධිරාජ්‍ය අතර ගැටුම් තමයි තිබුණේ. අල් කුර්ආනය පහළ වුණේ එවැනි ගැටුම්කාරී පසුබිමක. ඒ පසුබිම අදත් එක්ක ගළපන්න බෑ.

අයි.එස්.අයි.එස්.ලාට, අල් ඛයිඩා සංවිධානයට මැතිවරණ දිනන්න බෑ. ඔවුන් කරන්නේ කොහේ හරි බෝම්බයක් පුපුරවන එක නැත්නම් කාට හරි පහර දෙන එක.

අල්ඛයිඩා හරි අයි.එස්.අයි.එස් හරි තමන්ගේ ඒ ත්‍රස්තවාදී ක්‍රියා ආගමේ නාමයෙන්, අල්-කුර්ආනයේ නාමයෙන් සාධාරණීකරණය කරනවා. කිසිම ආගම් කතෘවරයකුට අපහාස කිරීම අපට අනුමත කරන්න බෑ. ඒත්, අනෙක් ආගම්වල වගේ නෙවෙයි, මුස්ලිම්වරු කියන්නෙ නබිනායකතුමන්ට අපහාස කළොත්, බෙලි කපලා මරන්න පුළුවන් කියලයි. එහෙම කියලා තිබෙන්නේ අල් කුර්ආනයේ කොතැනද?

අල්-කුර්ආනය හෝ නබිතුමන් විවේචනය කළොත්, බෙලි කපන්න කියලා අල් කුර්ආනයේ හෝ වෙනත් කිසි ම තැනක සඳහන් කරලා නෑ. නබිතුමා ජීවමානව සිටියදීත් මදීනාවේ යුදෙව් ජාතිකයන් ජීවත් වුණා. ඔවුන් නබි තුමන් දැඩි ලෙස විවේචනය කළා. හැබැයි, එහෙම කළා කියල ඔවුන් ඝාතනය කරන්න නබිතුමා කටයුතු කළේ නෑ. අල් කුර්ආනයේ පවා නබිතුමන් මේ වගේ විවේචනය කළා කියලා සඳහන් වෙනවා. අල් කුර්ආනය සඳහන් කරන එක් වැකියක තේරුම, ආගම තුළ බලහත්කාරයක් නෑ කියන එකයි. ආගම විවේචනය කළා කියලා කාව හරි මරන්න මේ කිසි තැනක උපදෙස් දීලා නෑ. ආගම කියන්නෙ තම තමන්ගේ සිහි බුද්ධියෙන් වටහා ගෙන පිළිපැදිය යුතු දෙයක් මිසක්, බලහත්කාරයෙන් කාටවත් ලබා දෙන දෙයක් නෙවෙයි.

ඒ ඒ ආගම්වල මූලික ඉගැන්වී, අනෙක් ආගම් අදහන අයටත් මූලික අදහසක් හෝ තියෙනවා නම් හොඳයි. එසේ වීම වෙනුවට ඉස්ලාම් මූලධර්මවාදය වගේ දේ නිසා සැක සංකා ඇතිව තිබෙනවා. එවැනි පසුබිමක මුස්ලිම් සමාජයේ වගේම අනෙක් සමාජ කොටස් අතර සිටින බුද්ධිමතුන්ට කළ හැකි කාර්යභාරය ඔබ කොහොමද දකින්නෙ?

ශ්‍රී ලාංකේය මුස්ලිම් සමාජය කොටස් දෙකකින් සමන්විතයි. එක් කොටසක් පාරම්පරිකව ආගම උගත් කොටස. මද්රියා කියන්නේ ඒ පිරිස. අනෙක් කොටසට ලොකු ආගමික නැඹුරුවක් නෑ. ඔවුන් නූතන අධ්‍යාපනය හැදෑරූ අය. දැන් අපි උත්සාහ කරනවා මේ නූතන අධ්‍යාපනය සහිත පිරිස ආගමික නැඹුරුවක්ද සහිතව සමාජ නායකත්වයට පැමිණීම ගැන. එය එසේ වනවා නම්, අද තියෙන බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීමට පුළුවන්. අතීතයේ අපි දැක්කා සිද්දි ලෙබ්බෙ.

ඔහු නීතිඥයෙක්. බදියුදීන් මහමුද්. ඔහු දේශපාලනඥයෙක්, හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙක්. ඉස්ලාම් ආගමික නායකයො, ආගමික නායකයන් නොවන කියලා එහෙම බෙදීමක් නෑ. හැබැයි, සමාජයේ එවැනි බෙදීමක් තියෙන බව අද අපි දකිනවා. පූජ්‍ය පක්ෂය සමාජ දැනුම අතින් යම් පසුගාමී තැනක පසුවන බවකුත් පෙනෙනවා.

අද බටහිර රටවල ඉස්ලාම් මූලධර්මවාදීන්ට එක්ව ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන අය එවැනි රැඩිකල් තරුණ කොටස් බව පෙනෙන්න තියෙනවා. මෙතැන කුමක් හෝ ගැටලුවක් තියෙනවා නේද?

මේ නූතන අධ්‍යාපනය ලබපු පිරිසට ධර්මය කියා දෙන්නෙ මං මුලින් කියපු විදිහේ පටු මානසිකත්වයක ඉන්න අය නම්, ඔවුන් පසුපස මේ තරුණ කොටස් දුවන තත්ත්වයක් තියෙනවා. දෙවැන්න, මුස්ලිම් ලෝකයේ සමාජ පසුබිම ගත්තොත්, දිළිඳු රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් තිබීම. අනෙක් කාරණය මුස්ලිම් රටවල ඒකාධිපති පාලන තන්ත්‍රයක් පැවැතීම. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැනුමක්, හැඟීමක් ඇති අයට මේ ගැන ලොකු කලකිරීමක් තියෙනවා. එවැනි පිරිස්වලට මේ වගේ අදහස් ගලා එනවිට, ඔවුන් ඒ පසුපස යන තත්ත්වයක් ඇතිවෙලා. ඒ වගේම, මධ්‍යස්ථව කල්පනා කරන විද්වතුන් පසුපස යන විශාල කොටසකුත් අද අපේ සමාජයේ සිටින බව, බැහැර නොකළ යුතුයි. අවාසනාවකට මාධ්‍ය තුළ එවැනි අය මතුවන්නේ ඉතා අඩුවෙන්.

මේ කෘතිය එළි දකින්නෙ, ඇති නොවිය යුතු යම් යම් අපැහැදිලි තත්ත්ව රටේ ඇති වෙලා තියෙන පසුබිමක. කිසියම් සැක සංකා මතුවී ඇති අවදියක. එවැනි සමයක මෙය සමාජගතවීමේ වැදගත්කම කෙබඳු ද?

මේ පොත හරහා මුස්ලිම් සමාජයට ලබාදෙන පණිවිඩය ඔබ බුද්ධිමත්ව නැවත කියවන්න කියන එකයි. එතැනදී ඉස්ලාමයට පටහැනි දේ ඔබ තුළ ඇත්නම්, ඔබ නිවැරැදි කර ගන්න. අනෙක් කාරණය , ජිහාඩ් හා වෙනත් කාරණා සම්බන්ධව මුස්ලිම් සමාජය තුළවත් නිවැරැදි අවබෝධයක් තිබිය යුතුයි. ඊළඟට, බහුතර බෞද්ධ සහ අනෙකුත් සහෝදර ආගමික කොටස් විශේෂයෙන් වර්තමානයේ මාධ්‍ය ඔස්සේ දකින දේ මඟින් ඉස්ලාමය පිළිබඳ වැරැදි නිගමනවලට එළැඹීමට පුළුවන්. ජිහාඩ් හරාම් - හලාල් වගේ සංකල්ප ගැන ඔවුන් ඉන්නෙ වැරැදි නිගමනවල.

මේ පොත කියෙව්වහම, ඔවුන් නිවැරැදි ස්ථාවරයකට පැමිණේවි කියලා මං විශ්වාස කරනවා. මුස්ලිම් සමාජය තමන්ගේ මොනවා හෝ අඩු පාඩු නිවැරැදි කර ගැනීමටත්, බහුතර බෞද්ධ සමාජය තමන් ඉස්ලාමය දෙස බලන ආකාරය අනුවත්, සහජීවනය ගොඩනඟා ගැනීමට පුළුවන්. එවිට එකිනෙකා අතර අනවබෝධයත් දුරස් වෙනවා. මාධ්‍ය ඔස්සේ අසන දකින දේ නිසා, ඔවුන් ඉස්ලාමය පිළිබඳ කල්පනා කරන විදිහත් වෙනස්.

මුස්ලිම් සමාජය තමන්ගේ අඩු පාඩු නිවැරැදි කර ගන්නා විට, බහුතර සිංහල බෞද්ධ සමාජය තමන්ගේ අනවබෝධය දුරු කර ගත යුතුයි. සහජීවනය ගොඩනැගීමට හැකි වන්නේ, එසේ වූවොත් බව අප තේරුම් ගත යුතුයි. ඔය දුරස්භාවයට හේතුවත් අප එකිනෙකා අතර ඇති අනවබෝධය‍. ගෙදරක වුණත් වැඩිමහල් අය තමයි, තමන්ට පහළ සිටින අය ඒකරාශි කරගෙන යා යුත්තේ. මේ දෙපිරිසම අතර හොඳ කතිකාවක් ගොඩනැගීමට මෙය හේතු වේයැයි සිතනවා. ගෙදරක වුණත් බාල අය සමඟ වැඩිමලා සණ්ඩු සරුවල් කර ගත්තොත්, ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා ඒ වෙනුවට අවබෝධයෙන් ක්‍රියා කිරීමයි වැදගත්.

මේ දෙපිරිස අතර හොඳ කතිකාවක් ගොඩනඟන වේදිකාවක් මේ කෘතිය ඔස්සේ තනා ගැනීමට පුළුවන්.

(මේ සංවාදයේදී පරිවර්තන සහාය ලබා දෙමින් මුනීර් චූලෆ්ෆර් මවුලවිතුමන් දැක්වූ දායකත්වය ස්තූති පූර්වකව අගයමු.)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...