ආපදාවට වැඩි අවධානයක් ඕනෑකර තිබේ | දිනමිණ

ආපදාවට වැඩි අවධානයක් ඕනෑකර තිබේ

වසන්ත ප්‍රිය රාමනායක

අපේ රටේ භූමියෙන් 20% නායයෑම්වලට ගොදුරු විය හැකි බව හඳුනාගෙන තිබේ. එසේ නම් මේ සම්බන්ධයෙන් නිරතුරුව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ඇවැසිය. ජනයා අදාළ ප්‍රදේශවලින් ඉවත් කිරීමට අමතරව යම් පිරිසක් අඩු අවදානම් කලාපවල නිසි පරිදි පදිංචිය තහවුරු කිරීමේ දියුණු තාක්ෂණික ක්‍රමවේදවලට යෑමට අපිට සිදුවේ.

කලකට පෙර ශ්‍රී ලංකාව හැඳින්වූයේ කලට වැසි වසින, ගිනිකඳු, නායයෑම්වලින් තොර වූ ස්වාභාවික විපත් නොමැති රාජ්‍යයක් ලෙසිනි. සමහරු මෙය මධ්‍යධරණී කලාපයට සමාන කළහ. දේවෝ වස්සතු කාලේන... යනුවෙන් සඳහන් කළේ මේ ස්වාභාවික තත්ත්වයයි.

එහෙත් මේ වන විට ඒ සියලු ඓතිහාසික නිගමනයන් වෙනස් වෙමින් පවතී. දකුණු ආසියාව ලෙසින් ගත් කළ වුවද අපට තිබුණු යහපත් ස්වාභාවිකත්වය මේ වන විට වෙනසකට භාජනය වී අවසන්ය. දකුණු ආසියාවේ ස්වාභාවික විපත් ගැන මෙනෙහි කරන විට නිතැතින්ම අපේ මනසට එන්නේ බංගලිදේශයයි. අද වන විට ශ්‍රී ලංකාව හා බංගලිදේශය අතර පාරිසරික හා දේශගුණික කාරණා අතුරින් එතරම් වෙනසක් දක්නට නොලැබෙන තරම්ය.

මීට හේතුව ගෝලීය දේශගුණික වෙනස්කම් බව පැහැදිලිය. ගෝලීය දේශගුණික වෙනස කෙළින්ම මිනිස් වර්ගයාගේ ක්‍රියාකාරකම් කරණකොට ගෙන සිදුවන්නකි. මේ නිසා අද දවසේ මානව වර්ගයා සිටින්නේ මිනී පෙට්ටියකය යන නිගමනයට සමහර විද්‍යාඥයන් එමින් සිටිති. හෙට දවසේ කොතැනක නාය ගොස් කාට විපතක් සිදුවේදැයි අද දවසේ නිශ්චිතවම කීමට නොහැකි පරිසරයක දිවි ගෙවීමට අපට සිදුවී තිබේ. මේ නිසා යළි වැස්සක්, කුණාටුවක්, සුළිසුළඟක් හෝ නායයෑමක් සිදුවනතුරු ජීවත් වනවා වාගේයැයි කල්පනා කරන තැනකට අප පත්ව සිටී.

2014 වසර පදනම් වර්ෂයක් ලෙස ගතහොත් ගැටුම් හා යුද තත්ත්වයන් නිසා දිනකට අවතැන් වන ප්‍රමාණය 42500කි. එම වසරේම ස්වාභාවික විපත් නිසා දිනකට අවතැන් වූ ප්‍රමාණය 53000කි. මේ අනුව යුද ගැටුම් හා සැසඳීමේ දී ඊට වඩා වැඩි ප්‍රමාණයක් ස්වාභාවික විපත් නිසා අවතැන් වෙමින් පවතින බව පැහැදිලි වේ.

පරිසර අනාවැකි

දැනටමත් ඇන්ටාටිකාවේ විශාල අයිස් කන්දක් කැඩී දිය වෙමින් පවතින නිසා මුහුදු ජල මට්ටම මීටර් 30කින් පමණ ඉහළ යා හැකි බව විද්‍යාඥයෝ සඳහන් කරති. මෙය ඉදිරියේ දී ශ්‍රී ලංකාව වැනි දූපත් රටවලට ප්‍රශ්නයකි. ඒ නිසා අනාගතයේ දී අපට මීටත් වඩා තද වැසි, සුළං, නියඟ හා මුහුද ගොඩගැලීම් වැනි ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුවනු ඇත. මුතුරාජවෙල හා බෙල්ලන්විලට සිදුවී තිබෙන පාරිසරික වෙනස මේ රටේ තවත් පහත් බිම්වලට අත්වීමට ඉඩ තිබේ. අප වැනි රටවල පවතින අවිධිමත් සංවර්ධනය මෙසේ ස්වාභාවිකව සිදුවෙමින් පවතින විපත්තිදායක තත්ත්වය වැඩිදියුණු කිරීමට හේතු වී තිබෙන බව පැහැදිලිය.

පසුගිය දිනවල ඇති වූ අනපේක්ෂිත සුළං හා වැසිසහිත කාලගුණික වෙනස සම්බන්ධයෙන් කතාකිරීමට සිදුවී තිබෙන්නේ මෙවන් පරිසරයකය. මේ නිසා එක්ලක්ෂ එකළොස්දහසකට වැඩි පිරිසක් අනාථ වූහ. පුද්ගලයන් 14ක් මරුමුවට පත්වී එක් අයෙක් ලින් 1/5කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය අහිමිවීමකි. එසේම පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 715ක් ලෙසින් හඳුනාගෙන තිබෙන අතර අර්ධ හානිවූ නිවාස ගණන 28000කට වැඩිය. ආරක්ෂක ස්ථාන 66ක මේ සිදුවීමෙන් අනාථ වූ පිරිස රැඳවීමට රජයට සිදු විය. මිලියන 100කට අධික මුදලක් විපතට පත්වූ පවුල්වලට ලබාදීමට දැනටමත් රජය කටයුතු කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

සහනාධාර බෙදාදීමේ දී හා හානියට පත්වූ නිවාසවලට විදුලිය ලබාදීම ආදී කාර්යයන් සඳහා අදාළ රාජ්‍ය ආයතන වෙනදාට වඩා කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කර තිබූ බව පිළිගත යුතුය.

පසුගියදා කොලොන්නාව ප්‍රදේශයේ වැසියෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේ සිදුවී තිබෙන අලාභයට සාපේක්ෂව ලැබුණු රු.5000/-න් කළ හැකි දෙයක් නොමැති වුවද ග්‍රාම නිලධාරි මහතා මඟින් පසුවදාම එම මුදල ලැබුණු බවය. තවත් මුදල් ප්‍රමාණයක් පසුව ලබාදීමට පොරොන්දු වූ බව ද ඔහු පැවසීය. ඉන් අදහස් වන්නේ සහනාධාර ලෙසින් ජනතාවට ලැබියු යුතු මුදල් කඩිනමින් ලැබී තිබෙන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියානු සංචාරයේ යෙදෙන අතරතුර දීම අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව පැවසේ. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ලංකා බැංකු ශාඛා නිවාඩු දිනවල ද විවෘතව තබන මෙන් උපදෙස් දෙමින් විපතට පත් සෑම පවුලක් වෙනුවෙන්ම මූලික වශයෙන් රු.10,000ක මුදලක් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම තුළින් රජයේ සහනාධාර වැඩ පිළිවෙළ වේගවත් විය. මේ නිසා මීට පෙරදී මෙන් නොව ස්වාභාවික විපතකදී රජය දක්වනු ලබන සංවේදී බව කාර්යක්ෂමතාවය වැඩි දියුණු වී තිබේ.

මේ වන විටත් කාලගුණය, පරිසරය හා ආපදා කළමනාකරණය යන විෂයයන් වලදී වෙනදාට වඩා සුවිශේෂී තලයක පිහිටා කටයුතු කිරීමට ජාත්‍යන්තර දේශපාලන ලෝකය කටයුතු යොදමින් සිටී. අදාළ අමාත්‍යාංශ තම ආණ්ඩුවල ප්‍රධාන අමාත්‍යාංශ ලෙස සැලකීමට බොහෝ ආණ්ඩු පියවර ගෙන ඇත. ඊට හේතුව කාලගුණය හා පරිසර ක්‍රියාකාරකම් තවදුරටත් නොසලකා නොහැරිය යුතු විෂයන් බවට පත්ව තිබෙන නිසාය. එසේ වුවහොත් සිදුවන විපතේ හා නැතිවන මිනිස් ජීවිතවල ප්‍රමාණය ඉහළ යනු ඇත.

ආපදා කළමනාකරණය

‘ආපදා කළමනාකරණය යන්න මීට වඩා ප්‍රබල ලෙස ක්‍රියාවට නැංවිය යුතු සංකල්පයකි. ඒ සඳහා වගකීම් පැවරී තිබෙන ආයතන බොහොමයක සිටින්නේ ඉතා අපරිනත මිනිසුන් බව ඔවුන්ගේ හැසිරීම්වලින් පැහැදිලි වේ. ආපදාවක් වූ පසු අනාථ වන මිනිසුන්ට ත්‍රිවිධ හමුදාවේ සහයෙන් කෑම බීම සැපයීම ඔවුන්ගේ කාර්ය වී ඇති බවක් දැකිය හැකිය. මේ අතරවාරයේ ගංවතුර හා නායයෑම් ඊළඟ වසරේ මීටත් වඩා ප්‍රබල ලෙසින් ඇතිවීමට ඉඩ තිබේ.”

-මහාචාර්ය සෙනෙවි එපිටවත්ත (201 ජූනි 4 මාධ්‍ය)

මහාචාර්යවරයා වෙසෙසින්ම සඳහන් කරන්නේ මේ සඳහා අපේ ඇති සූදානම්, උනන්දුව හා විපත් වළක්වා ගැනීම සඳහා ඇති කැපවීම ගැනය. ඒ සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් බලධාරීන් හා නිලධාරීන් තුළ තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

පරිසර සමුළු

අදාළ විෂයයන්ට සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවලට මේ රටේ ජාතික ධනය වැය කරමින් කොපමණ නිලධාරීන් පිරිසක් විදේශ සංචාරවල යෙදී ඇද්ද? ඉන් ඒ අය රටට අත්පත් කර දී තිබෙන ප්‍රයෝජනය හා පූර්ව සූදානමට දායක වීම් කොපමණදැයි සොයා බැලීම වැදගත්ය. නිතර නිතර ගෝලීය පරිසර සමුළුවලට හා පුහුණු වැඩමුළුවලට යන නිලධාරීන් රටට සැපයීම වාර්තා හා අත්දැකීම් බෙදා හදා ගැනීම නිසි පරිදි සිදුවන්නේ නම් ආපදා සම්බන්ධයෙන් ඇති පූර්ව සූදානම මීට වඩා වැඩි වනු ඇත.

මේ වන විට අපේ රටේ භූමියෙන් 20% නායයෑම්වලට ගොදුරු විය හැකි බව හඳුනාගෙන තිබේ. එසේ නම් මේ සම්බන්ධයෙන් නිරතුරුව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ඇවැසිය. ජනයා අදාළ ප්‍රදේශවලින් ඉවත් කිරීමට අමතරව යම් පිරිසක් අඩු අවදානම් කලාපවල නිසි පරිදි පදිංචිය තහවුරු කිරීමේ දියුණු තාක්ෂණික ක්‍රමවේදවලට අපිට යෑමට සිදුවේ. ඒ සම්බන්ධයෙන් කෙතරම් කල්පනා කර තිබේදැයි රටටත්, අදාළ ප්‍රදේශවල ජනතාවටත් දැන ගැනීමට අයිතියක් ඇත.

දෙනියාය ප්‍රදේශයේ සවිකළ කාලගුණය ගැන අනාවැකි කිව හැකි කෝටි ගණන් වටිනා උපකරණ සවි කළ දා සිටම වැඩ නොකර පවතින බව ආපදා කළමනාකරණ ඇමැතිවරයා සඳහන් කළේ ගිය වසරේදීය. තවමත් ඒවා එම තත්ත්වයේම පවතිනවාදැයි කියන්න දන්නේ නැත. එහෙත් කාලගුණික අනාවැකි පළ කිරීමේ දී වෙනදාට වඩා දියුණු මට්ටමක අදාළ ආයතන පවතින බව නම් මෙදා තහවුරු විය. ඊට අදාළ විද්වතුන් පවසන්නේ මෙය තවත් වැඩිදියුණු විය යුතු බවයි.

එදා දිනකට ගනු ලැබුවේ චන්ද්‍රිකා ඡායාරූප 4ක් බවත් මේ වන විට ජපානයේ ‘හිමාවරී’ චන්ද්‍රිකාවේ ආධාරයෙන් විනාඩි 10න් 10ට එවන් ඡායාරූප ලබාගත හැකි මට්ටමට අපේ තාක්ෂණය දියුණු වී ඇති බවත් අදාළ බලධාරීහු පවසති. වැදගත් වන්නේ සිදුවිය හැකි හානිය අවම කර ගැනීම උදෙසා කාලගුණික හා භූචලන පිළිබඳ නිශ්චිත අනාවැකි කලට වේලාවට නිකුත් කිරීමට අදාළ ආයතන තාක්ෂණිකව සන්නද්ධව සිටීමයි. බංගලිදේශය වැනි විපත් බහුල රටවල් ආර්ථික වශයෙන් විවිධ ප්‍රශ්න සහිතව වුවද දේශගුණික හා පාරිසරික කාර්යයන් සම්බන්ධයෙන් ලොවේ දියුණුම තාක්ෂණය උපයෝගී කරගැනීමට පෙලැඹී සිටී.

වැදගත් වන්නේ අදාළ විෂයයන් සම්බන්ධයෙන් රටක් වශයෙන් අප ලබා දෙන ප්‍රමුඛත්වයි. එය නම් විපතකින් පසු සහනාධාර බෙදා දීම හෝ අවතැන් කඳවුරු නිර්මාණය කර ඒවා බලාගැනීම වැනි සරල කාරණාවලට ලඝු නොවී නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් විද්‍යාත්මක ආපදා කළමනාකරණ සැලැස්මකට යෑමයි. අමාත්‍යාංශ වෙන්කිරීමේ සිටම මෙය ක්‍රියාත්මක වීම වැදගත් වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...