ශ්‍රී ලංකා-ඉන්දියා තෙවැනි ටෙස්ට් තරගය | දිනමිණ

ශ්‍රී ලංකා-ඉන්දියා තෙවැනි ටෙස්ට් තරගය

විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා

ලකුණු 410ක දැවැන්ත ඉලක්කය හමුවේ ශ්‍රී ලංකා කඩුලු 3ක් ලකුණු 31කට බිඳ වැටෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ නවදිල්ලියේ ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 410ක ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය හඹායන ශ්‍රී ලංකාව ඊයේ සිවුවැනි දිනයට තරගය නතර කරනවිට කඩුලු 3ක් දැවී ලකුණු 31ක් රැස්කරගෙන සිටියේය.

ධනංජය ද සිල්වා ලකුණු 13ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියහ.

ලකුණු 410ක දැවැන්ත ඉලක්කය හඹායන ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 3 ලකුණු 31ක් තුළ දවා ගැනීමට රවින්ද්‍ර ජඩේජා හා මොහොමඩ් සාමි සමත් වූහ.

ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම සාමිගේ පන්දුවක් හමුවේ අජින්ක්‍යා රහානේ උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලකුණු 5කට දැවී ගිය අතර දිමුත් කරුණාරත්නට ලබාගත හැකිවූයේ ලකුණු 13ක් පමණි. ඔහු රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක රිද්මාන් සහා උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගිය අතර සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි සුරංග ලක්මාල්ට මුහුණ දීමට හැකිවූයේ පන්දු 3කට පමණි.

ලකුණු 163ක පළමු ඉනිමේ වාසියක් සමගින් ඊයේ දෙවැනි ඉනිම ඇරැඹු ඉන්දීය පිළේ පළමු කඩුල්ල ලකුණු 10ක් තුළ බිඳ දැමීමට සුරංග ලක්මාල් සමත් විය. පළමු ඉනිමේදී ශතකයක් (155) රැස්කළ මුරලි විජේට ඊයේ ලබාගත හැකිවූයේ ලකුණු 9ක් පමණි. මේ තරගාවලිය පුරා ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ අජින්ක්‍යා රහානේට යළිත් අවස්ථාවක් නොදුන් ඩිල්රුවන් පෙරේරා ඔහු ලකුණු 10කට පිටියෙන් ඉවත් කිරීමට සමත්වූයේ ලක්ෂාන් සඳකැන් උඩ පන්දුවක් රැක ගැනීමෙනි. ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සමග එක්වූ චෙටෙස්වර් පුජාරා ලකුණු 77ක සබඳතාවක් ගොඩනැගූ අතර ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ අර්ධ ශතකයට ලකුණක් පසුපසින් සිටියදීය. 5වැනි අර්ධ ශතකය රැස්කරගත් ධවාන් ලකුණු 67ක් ලබාසිටියදී ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමට හසුව දැවී ගියේය. පන්දු 91කට මුහුණදුන් ධවාන් හතරේ පහර 5ක් හා හයේ පහරක් එල්ල කර තිබිණි.

අනතුරුව නායක විරාත් කෝලි සමග එක්වූ රෝහිත් ෂර්මා මුළු ලකුණු සංඛ්‍යාව 234 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 90ක සබඳතාවක් සමගිනි. පන්දු 58කින් 15වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ කෝලි, ළහිරු ගමගේ යැවූ පන්දුවක් හමුවේ දැවී ගියේය. මේ ලකුණු 50 සමගින් මෙවර තරගාවලියේදී කෝලි ලකුණු 610ක් රැස්කළ අතර එය තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියකදී පිතිකරුවකු රැස්කළ සිවුවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

පන්දු 49කදී හතරේ පහර 5ක් සමගින් රෝහිත් ශර්මා අර්ධ ශතකය වාර්තා කිරීමත් සමග ඉන්දීය දෙවැනි ඉනිම අත්හිටුවීමට කෝලි තීරණය කළේය.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, ඩිල්රුවන් පෙරේරා, ධනංජය ද සිල්වා හා ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් දවාගත්හ.

නවදිල්ලි නුවර ඇතිව තිබෙන වායු දූෂණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊයේද පන්දු රැකීමට ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ මුඛ ආවරණ පැළඳ ගෙනය.

කඩුලු 9ක් දැවී ලකුණු 356ක් ලබාසිටි ශ්‍රී ලංකා පිලට ඊයේ උදෑසන තවත් මුහුණදිය හැකිවූයේ ඕවර 5.3කට පමණි. දිනය ආරම්භ කරන විට නොදැවී ලකුණු 147ක් ලබා සිටි නායක දිනේෂ් චන්දිමාල් තවත් ලකුණු 17ක් එක්කර ගත්තේ සිය ටෙස්ට් තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි. මින් පෙර 2015 වසරේ ගාල්ලේදී ඉන්දියාවටම එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 162 ඔහුගේ ඉහළම දස්කම විය. පන්දු 361කට මුහුණදුන් චන්දිමාල් හතරේ පහර 21ක් හා හයේ පහරකින් ඉනිම සරසා ගත්තේය.

ඉනිම නිමාවනවිට නොදැවී කඩුල්ලේ රැදී සිටි ලක්ෂාන් සඳකැන් ලකුණු රැස්කර නොතිබිණි.

අද තරගයේ අවසන් දිනයයි.

නව අදහස දක්වන්න