හිට්ලර්ගේ අවතාර...! | දිනමිණ

හිට්ලර්ගේ අවතාර...!

ප්‍රවීණ නාට්‍යකරුවකු ලෙසින් සම්මානයට පාත්‍ර වූ සුගතපාල ද සිල්වා මහතා 1991 දී හිට්ලර් එල්ලා මරයි නමින් ප්‍රබන්ධ කථාවක් ලියා පළ කළේ ය. මෙය අතිශය ජනප්‍රිය දේශපාලන නවකතාවක් බවට පත් විය. අදත් ඊට ඉල්ලුමක් තිබේ. නවකතාව ආරම්භ වන්නේ මිනීමරු හිට්ලර් සාක්ෂි කූඩුවට කැඳවන අවස්ථා නිරූපණයකින් ය. මෙහි දී මුලාදෑනියා විමසා සිටින්නේ මේ මිනිස් ඝාතනවලට තමන් වැරදිකරුද නිවැරැදිකරු ද යන්න ය. හිට්ලර් එකවර ම කියා සිටින්නේ වැරැදිකරු බව ය. නැවත ඔහු කියා සිටින්නේ නිරපරාදේ කුරා කුහුඹුවකුටවත් කරදරයක් කිරීමට තමන් ඉදිරිපත් නො වූ බව ය. මෙහි දී මිනීමරු හිට්ලර්ගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරන බවක් පෙනී යයි.

නාසි ආධිපත්‍යයට යටත් වූ ප්‍රදේශවල ක්‍රෑර වධබන්ධනවලට ගොදුරු වූ පිරිස අනූහය ලක්ෂයක් බව ඉතිහාසය සඳහන් කරයි. මේ අනූහය ලක්ෂයෙන් ලක්ෂ හැටක් අතුරුදන් වූ බව ද ඉතිහාසය සඳහන් කරයි. හැට ලක්ෂයක් මනුෂ්‍ය ප්‍රජාවට සිදු වූයේ කුමක් ද? සමහරුන් වෙඩි තබා මරා දැමිණි. තව සමහරුන් තලාපෙලා මරා දැමිණි. තවත් සමහරුන් නිරාහාරව තබා මරා දැමිණි. වඩාත් ක්‍රෑර ඝාතන උපක්‍රමය වූයේ ගෑස් මුහුණ පැළැඳවීම ය. ගෑස් මුහුණ පැළඳවීමෙන් පසු පුද්ගලයකු මිය යන්නේ බලවත් අසීරුතා මැද සෙමෙන් සෙමෙන්ය. මෙය දරාගත නොහැකි වේදනාවක් බව කියති. හිට්ලර්ගේ ඝාතන උපාය මාර්ග දෙස බලන විට පෙනී යන්නේ ඔහු උන්මන්තකයකු බව ය.

උන්මත්තකයන් ඉබේ ම නායකයන් බවට පත්වන්නේ නැත. උන්මත්තකයන්ට ඉබේ ම රාජ්‍ය පාලනය හිමි වන්නේ ද නැත. ඒ පසුපස ක්‍රියාදාමයක් තිබේ. මේ ක්‍රියාදාමයට හවුල්වන්නෝ මෝඩ ජනතාවෝ ය. හිට්ලර් පළමුව කරලියට ප්‍රවේශවන්නේ ජාතිය හා රට අංක එකට තබාගෙන ය. ජර්මන් පුරවැසියෝ හිට්ලර්ට වශී වූහ. ඔහුගේ කතාවට, ඔහුගේ හැසිරීමට ඔහුගේ ක්‍රියාකාරකම්වලට ජර්මානුවෝ බෙහෙවින් ප්‍රිය කළහ. හිට්ලර් හරහා ජර්මනිය පුරා ද ජාතිවාදය පැතිර ගියේ ය. මෙය භයානක සෙල්ලමක් බවද, බරපතළ විනාශයක් බව ද ජනතාවට වැටහුණේ බොහෝ කාලයක් ගෙවී ගිය පසුය. හිට්ලර්, පොල්පොට්, ඉඩි අමීන් වැනි ආඥාදායකයන් ගැන දන්නා කිසිවකුත් ආඥාදායක රාජ්‍ය පාලනයක් ගැන කල්පනා කරන්නේ නැත.

මීට ටික දිනකට ඉහත දී කොළඹ ප්‍රදේශයේ තාප්පවල හිත කීරිගස්වන පෝස්ටරයක් අලවා තිබිණි. එම පෝස්ටරයේ සඳහන් වූයේ හමුදා සේවයේ හිටපු උසස් නිලධාරියකු ගැන ය. ඔහු රාජපක්ෂ පාලන සමය තුළ ආරක්ෂක අංශ පමණක් නොව; මුළු රට ම පාලනය කරන තැනකට ද, ජාත්‍යන්තරයට ඇඟිලි ගසන තැනකට ද පත් ව සිටියේ ය. ඔහුගේ නම ඇසුණු සැණෙන් කොළඹ පැල්පත්වාසීහු තම දෑස් පියා ගනිති. කන් වසා ගනිති. සාධාරණය හා යුක්තිය නොසලකන පුද්ගලයකු අතට අසීමිත බලයක් හිමි වුවහොත් සිදුවීමට බැරි කුමක් ද? කොළඹ පැවැතියේ ඔහුගේ පාලනය යටතේ ය. රටේ ඕනෑ ම ආයතනයක වර්ජනයක්, කැරැල්ලක්, උද්ඝෝෂණයක් පමණක් නොව උපවාසයක් වුව නැවැත්වීමේ හැකියාව ඔහුට තිබිණි.

නිදහස් වෙළෙඳ කලාපයේ වෘත්තීය සමිති ක්‍රියාධරයකු වන රොෂාන් චානක අප සිහියට නැ‍ඟේ. වෘත්තීය අයිතීන් ඉල්ලා සිටි ඔහු වෙඩි පහර කිහිපයකින් නිහඬ විය. ධීවර ප්‍රජාව අතර ජනප්‍රිය පුද්ගලයකු වූ ජූඩ් ඇන්තනී අප සිහියට නැ‍ඟේ. ඔහුට ද සිදු වූයේ වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටීම වෙනුවෙන් වළපල්ලට යෑමට ය. රතුපස්වල වතුර ඉල්ලා සිටි ජනතාවට සිදුවූයේ ද ඒ ටිකම ය. මේ අතරින් අන්තර්ජාතික ජනමාධ්‍ය පවා වාර්තා කර තිබූ සිද්ධිය වූයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් විසිහත් දෙනකු මරා දැමීම ය. එය හිට්ලර්ගේ සැලැසුමක් හැටියට අර්ථ දක්වන්නට පුළුවන. යුද භටයන් බන්ධනාගාරයට කඩා වැදී ඇත්තේ හිර ගෙදර කැරැල්ලක් මැඩ පවත්වන ආකාරයෙන් ය. එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. ආරක්ෂක ප්‍රධානයකු ලබා දුන් ලැයිස්තුවකට අනුව රැඳවියන්ගෙන් විසි හත් දෙනකු වෙඩි තබා ඝාතනය කැරිණි. දේශපාලන ඉතිහාසයේ බරපතළ ම සිද්ධියක් ලෙස මෙය සැලැකිය හැකි ය. එදා ශ්‍රී ලංකාවේ පැවැති අනාරක්ෂිත බව ද අවිනිශ්චිත බව ද මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි.

අප මුලින් සඳහන් කළ පෝස්ටරයට පසු තවත් පෝස්ටර් දෙක තුනක් අලවා තිබිණි. ඒවායින් පුම්බා තිබෙන්නේ කව්රුත් දන්නා හිට්ලර්ට සමාන පුද්ගලයා ය. මෙය දුටු සමහරු බියෙන් තැති ගත්හ. තව සමහරු පෝස්ටරය පළ කළ සංවිධානවලට හා දේශපාලන ව්‍යාපාරවලට ශාප කරන්නට පටන් ගත්හ. තවත් සමහරු කිසිවක් ම නොකියා කර බා ගත්හ. කුමක් වුව මේ පෝස්ටරයත් සමඟ සමාජයට සිහිපත් වන අතීතයක් තිබේ. එම අතීතය ආඥාදායකත්වයෙන්ද, දරුණු අපරාධවලින් ද සමන්විත විය. උතුරු - නැ‍ඟෙනහිර සිට කොළඹට පැමිණ ලොජ්වල නතර වූ දෙමළ ජාතිකයෝ හිටිහැටියේ අතුරුදන් වූහ. මේ අය ගැන තොරතුරක් අදටත් නැත. හිට්ලර්ට සමාන පුද්ගලයාගේ නම කියූ සැණෙන් දෙමළ ජනතාව ඉවත බලාගනු ඇත. ඒ තරමට ම දෙමළ ජනයාට පුද්ගලයා අරහං ය.

2020 ජනාධිපතිවරණ සිහිනයක ද ඉහත පුද්ගලයා පැටලී සිටී. එය කාගේ අදහසක් ද කාගේ යෝජනාවක් ද යන්න පැහැදිලි නැත. එහෙත් ඔහු බලයට පත් වුවහොත් සිදුවන්නේ විනාශයක් බව නම්; අපට සඳහන් කළ හැකි ය. ඔහු පසුගිය කාලය තුළ ජනමාධ්‍යවේදීනට කළ හිරිහැර - හිංසා - පීඩා හා මරණීය තර්ජන දෙස බලන විට පෙනී යන්නේ ජනමාධ්‍යයෙන් ඔහුට කිසිදු සමාවක් නොලැබිය යුතු බවය. එහෙත් ඔහු වීරයා කරන්නට ද, ඔහු නායකයා කරන්නට ද ඇතැම් ජනමාධ්‍ය ක්‍රියා කරන බව ප්‍රසිද්ධ කාරණයකි. කොයි හැටි වුව නූතන වීරයන් බිහි කිරීමට ජනමාධ්‍යයෙන් ඉටුවන තල්ලුව ද සුළුපටු නැත. හිට්ලර් වැනි පුද්ගලයාට ජනමාධ්‍යයෙන් එම සහයෝගය ලැබෙන බවක් ද පෙනෙන්ට තිබේ.

ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතු කාලයක් පැමිණ තිබේ. දේශපාලන තීන්දුවල දී ජනතාව අවදියෙන් සිටිය යුතුය. සිහි නුවණින් ක්‍රියා කළ යුතුය. “හිට්ලර් එල්ලාමරයි” කෘතියේ දී ආඥාදායකයාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කිරීමට ලක් විය. එහෙත් හිට්ලර්ගේ අවතාරවල හෘද සාක්ෂියක් නැත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...