දැන් මතක ද? | දිනමිණ

දැන් මතක ද?

සමාජය ඉදිරියේ මහා වීරයන් ලෙස පෙනී සිටින හා ඇතැම්විට සමාජය විසින් ඔසොවා තබන බොහෝ දෙනකුගේ ජීවිතවලින් බහුතර කොටසක් වැසී තිබේ. එම කොටස හෙළිදරව් වන විට ඇතැම් වීරයන්ට - දීනයන් ලෙස කරලියෙන් බැස යෑමට සිදුවනු ඇත. දකුණු අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා වරක් කළු ජාතික ප්‍රචණ්ඩකාරීන් පිරිසක අමතා කියා සිටියේ නුඹලා හැකිනම්; නීතිය ඉදිරිපිට වීරයන් වෙයල්ලා යන්න ය. මැන්ඩෙලා කළු ජාතිකයන්ගේ නායකයා වුව කළු ජාතිකයන්ගේ ප්‍රචණ්ඩත්වය පිළිකෙව් කළේ ය. ඔහු තම බිරිය වූ විනී මැන්ඩෙලාට ද නීතිය ක්‍රියාත්මක කළේ ය. නෙල්සන් මැන්ඩෙලා නීතිගරුක නායකයකු වන්නේ ඒ නිසා ය.

නීතිය පිළිබඳ ප්‍රශ්න කිහිපයක් අප ඉදිරියෙහිද පවතී. ඉන් එක ප්‍රශ්නයක් වන්නේ අතීතයේ අපරාධ සිදු කළ බලවත් පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට ඇති බාධා කවරේ ද යන්නය. තව ප්‍රශ්නයක් වන්නේ අපරාධකාරයන් ආරක්ෂා කිරීම සඳහා සමාජයේ ඇතැම් කොටස් ඉදිරිපත් වන්නේ ඇයි ද යන්න ය. තවත් ප්‍රශ්නයක් වන්නේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සමාජය ඉදිරියේ වීරයන් බවට පත්වන්නේ කෙසේ ද යන්න ය. ජනතාවගෙන් කොටසක් හෝ බරපතළ මුළාවක හිර වී සිටින බවක් පෙනෙන්නට තිබේ. ඇතැම්විට ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් ද මීට වගකිව යුතු යැයි සිතන්නට පුළුවන. ඔවුන් අතීතය අමතක කර ඇත්දැ’යි සැකයක් ද මතු වේ.

2009 හෝ ඊටආසන්න කාලයක දී; එවකට වෘත්තීය පත්‍රකලා සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පෝද්දල ජයන්ත මහතා ආරක්ෂක ප්‍රධානියකු සමඟ සාකච්ඡාවක් පැවැත්විය. පෝද්දලගේ තර්කය වූයේ යුද්ධය යන අතර ම සාමයට ද පියවරක් ගත යුතු බව ය. ආරක්ෂක ප්‍රධානයා පෝද්දල එළවා දැමී ය. දින කිහිපයකට පසුව අත- පය කඩා දැමූ පෝද්දල කුණු කාණුවක සිට සොයා ගැනිණි. ඉක්බිති ඔහු ජීවිතාරක්ෂාව පතා විදේශගත විය. අදටත් ඔහුගේ වාසය පිටරට ය. ලසන්ත වික්‍රමතුංග ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයා ලෙසින් කටයුතු කරමින් සිටියේ ය. ඔහු ද ඉහත කී වර්ගයේ ගැටලුවක පැටලිණි. වික්‍රමතුංග මහතා සිය මෝටර් රථයේ ම මරා දමා තිබිණි. එදා පැවැති ජනමාධ්‍ය නිදහසට අදාළ තවත් නිදර්ශන ඕනෑ තරම් තිබේ.

උතුරේ ජනමාධ්‍යවේදීන් දහතුන් දෙනකු මේ සමයේ අතුරුදන් වී ඇත. ඒ සියලු දෙනා ම ජාතීන් අතර සාමය හා සංහිඳියාව වෙනුවෙන් ක්‍රියා කළ අය වෙති. සාමය සඳහා සමාජ ක්‍රියාකාරකම්වල යෙදුණු සමාජ ක්‍රියාධරයෝ සැලැකිය යුතු ගණනක් ද අතුරුදන් වූහ. අදටත් ඔවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු නැත. සාක්ෂි නැත. කීත් නොයාර් අප කව්රුත් දන්නා ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකි. ඔහුගේ මුහුණ කට සමතලා කර තිබිණි. උපාලි තෙන්නකෝන් මහතා තවත් ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකි. ඔහු මරා දැමීමට උත්සාහ කර තිබුණේ ඔහුගේ බිරිය ඉදිරිපිට ය. සමාජයේ මැදිහත්වීම මත ඝාතන ප්‍රයත්නය ව්‍යවර්ථ විය. උපාලි තෙන්නකෝන් මහතාට ද එදා සිදු වූයේ ජීවිතාරක්ෂාව පතා රටින් පැන යෑමට ය. අදටත් ඔහු පිටරටක ජීවත් වෙයි.

මේ අපරාධ පසුපස සිටි බලවන්තයා කවු ද යන්න ජනතාව දනිති. එය ප්‍රසිද්ධ රහසක් යැයි කිව හැකි ය. මාධ්‍යවේදීන්ට පහරදීම, ඔවුන් මරා දැමීම හා මරණීය තර්ජන නිකුත් කිරීම සාමාන්‍ය චණ්ඩියකුට කළ හැකි දෙයක් නොවේ. එවැන්නක් කිරීමේ වුවමනාවක් ද ඔවුනට නොතිබෙන්නට පුළුවන. ලෝකයේ බොහෝ රටවල මාධ්‍යවේදීන් දඩයම් කරනුයේ රාජ්‍ය බලය සහිත ප්‍රබල පුද්ගලයන් ය. ශ්‍රී ලංකාවට ද එය එක සමාන ය. මෙබඳු අපරාධ සඳහා පුහුණුව ලත් පුද්ගලයන් අවශ්‍ය වේ. අවි-ආයුධ අවශ්‍ය වේ. බලය අවශ්‍ය වේ. ඒ සියල්ල එදා පැවැතිණි. සුදු වෑන් සංස්කෘතිය මීට ලබා දිය හැකි හොඳම නිදසුන ය. එම සංස්කෘතියේ නිර්මාතෘවරයා කවුරුන් ද යන්න සාමාන්‍ය ජනතාව හොඳින් දනිති.

මීට කදිම නිදසුනක් ද අප සිහියට නැ‍ඟේ. පෝද්දල ජයන්ත පැහැරගැනීම සඳහා වරක් ඔහුගේ නිවසට සුදු වෑන් රථයක් පැමිණියේ ය. එහෙත් අවට ගම්වාසීහු මේ තත්ත්වය හොඳින් වටහාගෙන සූදානම් ව සිටියෝ ය. වෑන් රථයේ සිටි නිල අපරාධකාරයන්ට හූ - හඬ ඔස්සේ පලා යෑමට සිදු විය. පසුව පෝද්දල ජයන්ත මරණීය පහර දීමකට ලක්වන්නේ ගමෙන් බැහැර වෙනත් ස්ථානයක දී ය.

මේ සිද්ධියෙන් පෙනී යන්නේ ජනතාව සුදු වෑන් සංස්කෘතිය ගැන ද එය මෙහෙය වූ පුද්ගලයා ගැන ද, ඔහුගේ මැර හමුදාව ගැන ද අවබෝධයකින් සිටි බව ය. එහෙත් රාජ්‍ය බලය ඉදිරියේ එක් සීමාවක දී ජනතාව පරාජයට පත් වෙති. අද සුදු වෑන් සංස්කෘතියක් නැත. ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පවතී.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය කුමක්දැ’යි අපෙන් විමසුවහොත්, ඊට අපගේ පිළිතුර වන්නේ පළමුව නීතියේ ආධිපත්‍යය පැවැතිය යුතු බවය. නීතියේ ආධිපත්‍යය වර්තමානයට පමණක් නොව; අතීතයටද ඒ හා සමානව පැවැතිය යුතුය. එයින් අදහස් කරන්නේ වර්තමානයේ වැරැදිකරුවන්ට සේ ම අතීතයේ අපරාධකරුවන්ට ද දඬුවම් ලැබිය යුතු බව ය. අතීතයේ අපරාධකරුවන්ට ගොදුරු වූවන් කියූ විට ප්‍රදීප් එක්නැළිගොඩ අප සිහියට නැ‍ඟේ. ඔහු අදටත් නැත. රගර් ක්‍රීඩක තාජුදීන් අප සිහියට නැ‍ඟේ. මේ අපරාධ සිදු කළ පුද්ගලයන්ට තව ම දඬුවම් ලැබී නැත. ඒවායෙහි පරීක්ෂණ හා නඩු විභාග ද මන්දගාමී බව ජනතාවගේ අදහස ය.

මේ සියල්ලටම වඩා පුදුමය වන්නේ සියලු අපරාධ පසුපස සිටි දැවැන්ත පුද්ගලයකු වීරයකු බවට පත් කිරීමට ගෙන යන ව්‍යාජ උත්සාහය යි. බෙදුම්වාදී යුද්ධය බරපතළ වූ එක්තරා සමයක හමුදාවෙන් ඉවත් වී පිටරට යන පුද්ගලයකු යුද වීරයකු වන්නේ කෙසේ ද? ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයකු පසුව රජයේ හමුදා මෙහෙයවන තනතුරක් ලබා ගන්නේ කෙසේ ද? තමන්ගේ මතයට එරෙහි පුද්ගලයන් ඝාතනය කරන පුද්ගලයකු ජාතියේ නායකයකු බවට පත්වන්නේ කෙසේ ද? මේ ව්‍යාජ උත්සාහය පරාජය කළ යුතුය. ඒ සඳහා බුද්ධිමතුන් සේ ම සැබෑ දේශප්‍රේමීන් ද ඒකරාශි විය යුතුය. එසේ නොවුණහොත් අපරාධකාරයන් නායකත්වයට පත් වී යළිත් සුදු වෑන් සංස්කෘතියක් බිහිවීමට ඉඩ තිබේ.

නීතිය සියල්ලට ඉහළින් පවතින්නේ නම්; ඕනෑම බලවන්ත සැකකාරයකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබිය යුතුය. සැකකාරයා ජනාධිපති ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබුණ ද, ආරක්ෂක ලේකම්වරයකු ලෙස කටයුතුකර තිබුණ ද එය විශේෂ සුදුසුකමක් නොවේ. නීතිය ඉදිරිපිට රජතුමා ද, පුරවැසියා ද එක සමාන විය යුතුය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...