හස්තියකුගේ ශෝකාන්තය! | දිනමිණ

හස්තියකුගේ ශෝකාන්තය!

දළ පූට්ටුවා ලෙසින් අන්වර්ථ නාමයකින් හඳුන්වන ලද ගල්ගමුවේ හස්තිරාජයාගේ ඉරණම් කතාව මේ වනවිටත් මුළු රටම දනිති. රටෙන් බැහැර ව ඇතැම් අන්තර්ජාතික පරිසර සංවිධාන වෙත ද සිද්ධිය සන්නිවේදනය වී තිබේ. එය ඉතා නරක ආරංචියක් සේ සලකන්නට පුළුවන. ආසියානු හස්තියා ආරක්ෂා කරගත යුතු යැයි රතු නිවේනයක් ද ලෝක පරිසර සංවිධාන වෙතින් නිකුත් වී තිබේ. ආසියාවේ අලි - ඇතුන් අතර ද ශ්‍රී ලංකාවේ හස්තියා විශේෂ වෙයි. මේ වනවිට වන අලින් ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. ඔවුන්ද විවිධ අකරතැබ්බ යටතේ පණ ගැටගසාගන්නා බවක් පෙනෙන්නට තිබේ. දළ පූට්ටුවාගේ කතාවෙන් පෙනී යන්නේ ඊට ද ඉඩක් නැති බව ය.

මේ දැවැන්ත හස්තියා පිළිබඳ ශෝකාන්තය රටට හෙළිවන්නේ පසුගිය නොවැම්බර් 10දා වූ සිද්ධියත් සමඟ ය. ඇත් දළ දෙකක්, ගජමුතු හයක් සමඟ සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට පත් වූහ. ඒ සමඟම පැතිර ගිය ආරංචියක් වූයේ දළපූට්ටුවා අතුරුදන් වී ඇති බව ය. සාමාන්‍යයෙන් මේ ඇතා ගම්මානවලට පැමිණ ගිමන් නිවන බව ද, කිසිවකුට හිරිහැරයක් නොකරන බව ද ගම්මු කියති. සමහරු හස්තියාට බීම සඳහා ජලය තබති. තව සමහරු ඌගේ ආහාරය සඳහා කිසිවක් තබති. තවත් සමහරු ඌට කතා කරති. මෙතැන ඇත්තේ අලි - මිනිස් ගැටුමක් නොව; අලි - මිනිස් මිතුදමක් යැයි කියන්නට පුළුවන. ගල්ගමුව ප්‍රදේශයේ මිනිස්සු මේ ඇතාට ආදරය කරති.

හේතු ගණනාවක් නිසා දළපූට්ටුවා විශේෂිත ය. ඌට පිරිපුන් දළ යුගලක් තිබිණි. එහෙත් ඒවා අගින් පූට්ටු වී ඇත. ඌට ඉතා තේජවන්ත විලාසයක් ද අංගසම්පූර්ණ ශරීරයක් ද තිබිණි. මෙවන් ඇතකු දකින්නට ලැබෙන්නේ කලාතුරෙකින් යැයි කියති. මේ දැවැන්තයා මිය යන තුරුම කිසිවකුට හිරිහැරයක් කර නැති බව ද, ගෙවල් - දොරවල් කඩා නැති බවද කියති. මේ සියලු කරුණු - කාරණා නිසා ඇතාට පෙම්බඳින්නට ප්‍රදේශවාසීන් පෙ‍ලඹෙන්නට ඇත. ගැමියන් මේ සත්වයාට දක්වා ඇති කරුණාව අප කාටත් ආදර්ශයක් සේ සැලැකිය හැකි ය. එහෙත් ඇත් දළවලට හා ගජමුතුවලට කෑදර වන ජාවාරම්කාරයන්ට ඉහත කරුණාවෙන් පලක් නැත.

ඇතාගේ කතාව යට හද කම්පා කරවන සිද්ධි කිහිපයක් ද තිබේ. මේ ඇතා පළමුව මහාමාර්ගයේ ගමන් කොට වාහන 49ක ගැටී තුවාල සිදුවී ඇත. එම තුවාල සුවපත් කර ඇත්තේ වනජීවී නිලධාරීන් ය. ඇතා යළිත් වෙඩි පහරකට ලක් වී පාදයක් කුණු වෙමින් පැවැතිණි. එවරද ඌගේ පිහිටට පැමිණ ඇත්තේ වනජීවී නිලධාරීන් ය. මේ හැරෙන්නට ඇතා මරා දමා දළ කපා ගැනීමට උත්සාහ කිහිපයක් ද ගෙන තිබේ. ඒවා අසාර්ථක වුව අවසන් මොහොතේ ජාවාරම්කාරයන් ජයගෙන තිබේ. දැන් ඒ සියල්ල හෙළිදරව් වී ඇත. සිද්ධියෙන් රට ම කම්පා වෙයි. වැරැදිකරුවන්ට කිසිදු සමාවක් නොදිය යුතු යැයි ගම්මු කියා සිටිති. ඇතැමෙක් සිද්ධියෙන් බලවත් කෝපයට පත් වී සිටිති.

සිද්ධියට සම්බන්ධ හය දෙනෙක් අත්අඩංගුවේ පසු වෙති. එක් අයෙක් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. තව අයෙක් ග්‍රාමසේවා නිලධාරියෙකි. මේ දෙදෙනාම රටේ නීතිය ආරක්ෂා කිරීමට හා සාමය පවත්වා ගැනීමට අදාළ රාජ්‍ය සේවකයෝ වෙති. එහෙත් ඔවුන් සිදුකර ඇත්තේ මහ පොළොව පවා කම්පා කරවන අපරාධයකි. රටේ රාජ්‍ය නිලධාරීන්ගේ අභිමානය හා විශ්වාසය මෙයින් බිඳී යයි. පොලිස් නිලධාරියා නීතිය නොදන්නා කෙනකු යැයි කිව නොහැකි ය. ග්‍රාමනිලධාරියාගේ තත්ත්වය ද ඊට වෙනස් නැත. ඒ හැරත් මෙහි බරපතළ අමානුෂික ක්‍රියාවක් තිබේ. ඇස් නොපෙනෙන, මානව කටයුතුවලට බාධාවක් නොකළ අහිසංකයකු මරා දැමීමත් ඌගේ ශරීර අවයව කපාගැනීමත් ශිෂ්ට සමාජයකට අනුමත කළ නො හැකිය. අපරාධකාරයන්ට සමාජයෙන් ද දඬුවම් විඳීමට සිදුවනු ඇත.

මේ අපරාධය පිළිබඳ ඇත්ත කතාව හෙළිදරව් වන්නේ වන ජීවී නිලධාරීන්ගේ දුෂ්කර මෙහෙයුම නිසා ය. අපරාධකාරයන් මහ වනයේ දී අබිරහස් ලෙස සතා ඝාතනය කර තිබිණි. මෙහෙයුම දවස් ගණනාවක් තුළ සිදුවූ අතර ඊට විශේෂ පොලිස් කාර්ය බළකාය පවා සම්බන්ධ වී තිබේ. ඇතාගේ සිරුර සොයාගෙන ඇත්තේ දින ගණනාවකට පසු ය. මහ වනය පීරමින් සිදු කළ මෙහෙයුම දුෂ්කර එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට සහභාගී වූ සියලු දෙනාට ම ජාතියේ කෘතඥතාව හිමි විය යුතු ය. ඉහත මෙහෙයුම නොවන්නට අපරාධය යට යන්නට ඉඩ තිබිණි. මෙහිදී පරිසර සංවිධාන හා ගැමියන් දැක්වූ උනන්දුවද කාගේත් සැලකිල්ලට ලක් විය යුතු ය. අවසන් ලෙස සත්වයාගේ සිරුර මිහිදන් කර ඇත්තේ ආගමික වතාවත් පවා සිදු කිරීමෙන් පසු ය.

මෙහිලා සැලැකිල්ලට ගත යුතු තවත් සාධක කිහිපයක් ද තිබේ. එයින් මුල්තැනට එන්නේ ජාතික වස්තුවක් වූ හස්තියා ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අපට නැත්තේ මන්ද යන්න ය. අඩවි වන නිලධාරීන්ගේ හිඟයක් තිබෙන්න ට පුළුවන. වන නිලධාරීන්ට අවශ්‍ය තරම් පහසුකම් නොතිබෙන්නටත් පුළුවන. එහෙත් ඒවා නිදහසට කරුණු ලෙස සැලැකිය නො හැකිය. අලි - මිනිස් ගැටුම් නිසා එක ‍අතෙකින් අලි - ඇත්තු විනාශ වෙති. පොලිතීන් හා වෙනත් රසායනික ද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා ද අලි - ඇත්තු විනාශ වෙති. ජාවාරම්කාරයන්ගේ ගිනිබටයට ද උන් ගොදුරු වන්නේ නම්; අලි ඇතුන්ගේ පරපුර වඳවී යෑම නොවැළැක්විය හැකිය.

ලෝකයේ දියුණුම රටවල් ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා ගනු ලබන පරිශ්‍රමය දෙස බලන විට අප සිටින්නේ පසුගාමී තැනක යැයි කියන්නට පුළුවන. දකුණු ආසියාවේ කුඩා රාජ්‍යයක් වන භූතානයේ වනයට අත තබන්නට කිසිවකුට අවසරයක් නැත. එරට සංචාරක කර්මාන්තයට පවා යම් සීමාවන් පනවා ඇත්තේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ය. ශ්‍රී ලංකාවේ වනාන්තර දිනෙන් - දින කෙට්ටු වෙයි. ජෛව විවිධත්වය ටිකෙන් - ටික විනාශ වෙයි. කඳු නාය යයි. සත්ත්ව කොට්ඨාස එකින් - එක වඳ‍ වෙන්නට පටන්ගෙන තිබේ. ජාවාරම්කාරයෝ කැළෑ පීරා ඖෂධ පැළෑටි උදුරගෙන විකුණති. මහ වනය මැද ගස් කපති. මේවාට ස්ථිරසාර විසඳුමක් තිබිය යුතු ය.

දළ පූට්ටුවා හෙවත් ගල්ගමුවේ හස්තියා මිය ගියේය. දැන් ඉතින් ඉතිරි වන අලි ටිකවත් රැකගත යුතු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...