පිරමීඩ සංකල්පය! | දිනමිණ

පිරමීඩ සංකල්පය!

 වර්තමාන ලෝකය තුළ පිළිගත් රාජ්‍යයන් දෙසීයක් පමණ තිබේ. මේවායින් බොහොමයක මූල්‍ය කටයුතු ද, මැතිවරණ කටයුතු ද අවුල් සහගත ය. බොහොමයක් රාජ්‍යවල මූල්‍ය ගනුදෙනු තුළ ද, මූල්‍ය පාලනය තුළ ද බරපතළ වංචා හා දූෂණ පවතී. එලෙසම මැතිවරණ කටයුතුවල ද දූෂණ හා අක්‍රමිකතා පවතී. අප්‍රිකාවේ මහා ලේඛක චිනුවා අචෙබෙ නයිජීරියාවේ මේ තත්ත්වය විවේචනයට ලක්කරමින් පොතක් ලියා තිබේ. ඔහුගේ විවේචනය එල්ල වන්නේ එරට හිටපු පාලකයන් වෙත ය. හොන්ඩුරාස් රාජ්‍යයේ මැතිවරණ පිළිබඳ ගැටුමක් මේ දිනවල පවතී. කෙන්යාවේ මැතිවරණ ගැටුම අවසන් වී තව ම සතියක් ගෙවී ගොස් නැත.

රටක මූල්‍ය කටයුතු පිළිබඳ දූෂණ හා වංචා සෙවීම පහසු නැත. ඒවා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ද පහසු නැත. මූල්‍ය විනය ඇතිකිරීම අතිශය දුෂ්කර අමිහිරි අත්දැකීමක් බව පෙනී යයි. එහෙත් රටක දියුණුව වෙනුවෙන් ද, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ද කිසිවකු එම බර කරට ගත යුතුව තිබේ. පෙරේදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මේ මාර්ගය කෙතරම් දුෂ්කර වුව ද, සම්මුතිවාදී ආණ්ඩුව ඊට මුහුණ දී ශීලාචාර ආණ්ඩුවක්, සාධාරණ සමාජයක් හා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් බිහිකරන බව ය. මුළුමහත් ශ්‍රී ලංකාවට ම මේ ගැන සතුටු විය හැකි ය.

ඇතමකුගේ මතයට අනුව බැඳුම්කර සිද්ධිය වත්මන් රජයට එල්ල වූ බරපතළම චෝදනාව යි. එහෙත් කරුණු ගවේෂණය කරන විට පැහැදිලි වන්නේ බැඳුම්කර පිළිබඳ අතිශය බරපතළ චෝදනා ගණනාවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇති බව ය. නිදසුනක් ගතහොත් 2008 සිට 2014 දක්වා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නැත. ඒවා පෞද්ගලික කැමැත්ත මත සිදු වූ සෘජු නිකුත් කිරීම් ලෙස හැඳින්වේ. පෞද්ගලික කැමැත්ත යනු එදා සිටි පාලකයන්ගේ කැමැත්ත ය. ඒ අනුව බැඳුම්කර නිකුතු රාජ්‍ය පාලකයන්ගේ සහචරයන් අතරට පත්වන්නට ඇතැ’යි කිව හැකි ය. එයින් රජයට සිදු වී ඇති පාඩුව විශාල ය.

අගමැතිවරයා ඉහත වංචනික ක්‍රියාව හඳුන්වා ඇත්තේ පිරමීඩ වංචාවක් හැටියට ය. පිරමීඩ නම් සූදුවක් මීට ටික කලකට ඉහත දී රට පුරා ව්‍යාප්ත විය. එය මහජනයා මුළාකොට මුදල් කොල්ලකන ජාවාරමකි. පසුව රජය විසින් එය තහනම් කරන ලදී. මහ බැංකු බැඳුම්කර නිකුතු ක්‍රියාවලිය විනිවිදභාවයකින් ‍යුතුව විවෘත වෙළෙඳ පොළක් තුළ සිදුවිය යුතු ක්‍රියාවලියකි. බැඳුම්කර ක්‍රියාවලිය තුළ මෑතක් වනතුරුම එය සිදුවූයේ නැත. අපේ රටේ මූල්‍ය පාලනය පිළිබඳ වගකීම පාර්ලිමේන්තුව සතුවන බැවින් බැඳුම්කර නිකුතුව සිදුවිය යුත්තේ ද පාර්ලිමේන්තුවේ පාලනය යටතේ ය. දැන් එය සිදුවෙයි.

මහින්ද රාජපක්ෂ පාලනය පාර්ලිමේන්තු‍වට නොදන්වා ගනු ලැබූ ණය කන්දරාවක් තිබේ. 2014 වන විට රටේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3113 ක් ලෙස සටහන් වී ඇත. ණය ලබාගැනීම පමණක් නො ව; ඒවා වියදම් කිරීම සම්බන්ධයෙන් ද විනිවිදභාවයක් තිබී නැත. බැඳුම්කර නිකුතුවලින් 90% ක් ම එදා සිදු වී ඇත්තේ පෞද්ගලික සෘජු නිකුත් කිරීම් ලෙස බව ද සඳහන් වේ. 2008 සිට 2014 දක්වා අවස්ථා 84 ක දී පෞද්ගලික සෘජු නිකුත් කිරීම් ලෙස බැඳුම්කර නිකුතුව සිදු වී ඇත. යහපාලනය යටතේ ද අවස්ථා හතරක දී සෘජු නිකුත් කිරීම් සිදු වී ඇතැ’යි සඳහන් ය. මේවා පිළිබඳ විවෘත ලෙස කතා කිරීම ද, පරීක්ෂණ පැවැත්වීම ද වැදගත් ය.

යහ පාලනයට බැඳුම්කර සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී ඇත ද එය වහාම පරීක්ෂණයකට ගෙන තිබේ. අවස්ථා දෙකක දී ඒ ගැන වාර්තා ලබාගෙන ඇති අතර පසුව ජනාධිපති කොමිසමක් ද පත් කළේය. දැන් එහි පරීක්ෂණ කටයුතු සිදු වෙයි. අගමැතිවරයා ප්‍රමුඛ රජය ඊට පූර්ණ සහයෝගය ලබා දී ඇත. අගමැතිවරයා ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වී කොමිසමේ සාක්ෂි විභාගවලට සහභාගි වීම සැලැකිය හැක්කේ විනිවිදභාවයේ උපරිම අවස්ථාවක් හැටියට ය. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මෙවන් දේවල් සිදු වී නැත. එදා මන්ත්‍රීවරයකු පොලිස් ස්ථානයකට පැමිණියේ ද නැත. නීතිය මෙන් ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන ද එදා ක්‍රියාත්මක වූයේ රාජපක්ෂ පාලනයට නම්‍යශීලී වෙමින් ය. එය නැවත සිහිපත් කළ යුතු කාරණයකි.

මහජනයාට මේ වෙනස දැනෙනු ඇතැ’යි සිතන්නට පුළුවන. අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට එදා මේවා ගැන පරීක්ෂණ පැවැත්වීමට හෝ මේවා ගැන විවේචනය කිරීමට ගියේ නම්; ලසන්ත වික්‍රමතුංගලාට අත්වූ ඉරණම ඕනෑම කෙනකුට අත්වන්නට ඉඩ තිබූ බව ය. ඉතිහාසය විමසන විට පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව සම්පූර්ණ සත්‍යයක් බව ය. මෙබඳු පරීක්ෂණ නො ව; රජය විවේචනය කරමින් ප්‍රවෘත්තියක් පළකිරීමට හෝ ඉඩක් එදා නොතිබිණි. වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ එදා ලේකම් පෝද්දල ජයන්ත මහතාගේ අඬු කඩා කුණු - කානුවක දමා යන්නේ එදා ආරක්ෂක ලේකම්වරයාගේ අදහසකට එකඟ නොවූ නිසා බව ප්‍රසිද්ධ කාරණයකි.

ඒකාධිපතිවාදයේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ දූෂණය, වංචාව හා භීෂණය ඉහ-වහා යෑම ය. මහින්ද රාජපක්ෂ පාලනය තුළ ඒවා නොඅඩුව දක්නට ලැබිණි. එහෙත් එදා කළ නොහැකි දේවල් අද කළ හැකි ය. එදා දූෂණයට එරෙහි පියවර ගත නොහැකි වුව අද ගත හැකි ය. අගමැතිවරයා පෙන්වා දෙන ලෙස 2008 - 2014 දක්වා මහ බැංකු බැඳුම්කර නිකුතු ගැන ද පරීක්ෂණ පැවැත්විය යුතුය. එදා ණය ලබාගත් ආකාරය ගැන ද, ණය මුදල් වියදම් කළ ආකාරය ගැන ද පරීක්ෂණ පැවැත්විය යුතු ය. කොටස් වෙළෙඳපොළ තුළ දූෂණ සිදුවූයේ නම් ඒවා ගැන ද පරීක්ෂණ පැවැත්විය යුතු ය. සැබෑ වංචාකාරයන් හඳුනාගැනීම අනාගතයට වැඩදායක ය.

බැඳුම්කර සිද්ධිය රටේ ආර්ථිකය හා දේශපාලන ක්‍රියාවලිය යහපත් මාවතකට යොමු කරවන මූලෝපායික සංසිද්ධියක් ලෙස අර්ථදැක්වීම නිවැරැදි ය. මේ මඟින් රටේ මූල්‍ය පාලනය පිළිබඳ විධිමත්භාවයක් ද, විනිවිදභාවයක් ද ගොඩනැඟී ඇත. ඉතිහාසයේ ඇතැම් පාලකයන් සිදුකළ දූෂණ හෙළිදරව් කරගැනීමේ මාර්ගයක් ද මෙයින් නිර්මාණය වී ඇත. එය යහපාලනය ද ශක්තිමත් කරයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...