අවධානය පිණිසයි! | දිනමිණ

අවධානය පිණිසයි!

ආපදා අවස්ථාවක දී අපගේ අවධානය යොමු විය යුත්තේ; ඊට මුහුණ දෙන ආකාරය හා එයින් ආරක්ෂා වන ආකාරය සොයා බැලීමට ය. එහි දී තොරතුරු දැන ගැනීම ඉතා වැදගත් ය. ජපානය වැනි රටවල් තොරතුරු සන්නිවේදනයට අමතරව ආරක්ෂා වීම පිළිබඳ පෙර පුහුණුවීම් ද සිදු කරයි. ශ්‍රී ලංකාවේ ද සුනාමි අනතුර පිළිබඳ පෙර පුහුණුවීම් සිදුකර තිබේ. එහි අර්ථය වන්නේ සුනාමි අනතුරක දී හානිය අවම වන ලෙස ක්‍රියා කිරීම ය. මේවා ආරම්භ වූයේ ආපදා කළමනාකරණය සඳහා වෙන ම අමාත්‍යංශයක් හා ආයතන පිහිටුවීමෙන් පසුව ය.

සතියක පමණ කාලයක සිට දිවයින පුරා වැසි සහිත කාලගුණයක් පැවැතිණි. එය කෙමෙන් වර්ධනය වූ අතර තද සුළං හමා යන්නට පටන් ගත්තේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමට බෙංගාල ‍බොක්ක ආශ්‍රිත ව ගොඩනැඟුනු අව පීඩන තත්ත්වයක් මීට හේතුවී තිබේ. අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙන අන්දමට සුළං හැමීම අතින් බලපෑම් දෙකක් ශ්‍රී ලංකාව දෙසට කඩා වැදී ඇත. එක බලපෑමක් බෙංගාල බොක්ක දෙසින් ය. අනෙක් බලපෑම මැලේසියා මුහුද දෙසින් ය. එහෙත් මේ වන විට බලපෑම් දෙක ම ශ්‍රී ලංකාවේ මුහු දු සීමාවෙන් ඔබ්බට ගමන් කර තිබේ. එය වාසනාවක් සේ සලකන්නට පුළුවන.

දැනට වාර්තා වී ඇති අන්දමට අයහපත් කාලගුණික තත්ත්වය නිසා සැලැකිය යුතු හානියක් සිදු වී ඇත. ජීවිත විනාශ කිහිපයක් ද වාර්තා වී ඇත. නාය යෑමේ තර්ජනයක්ද රත්නපුර දිස්ත්‍රික්කයට තිබේ. විශේෂයෙන් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවදානම් කලාපයකින් ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මධ්‍යම කඳුකරයට නොකඩවා ඇදහැලෙන වර්ෂාව නිසා; නායයෑමේ තර්ජනය මෙන් ම ගංවතුර තර්ජනයක් ද මතු විය හැකි ය. සුළං තත්ත්වය කෙමෙන් අඩු වී ඇතත්; වර්ෂාව දිගට ම පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, කොළඹ, රත්නපුරය යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණය නිසා වැඩි හානියක් සිදු වී ඇති බව ද දැනගන්නට ලැ‍බේ. ‍

මේ අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉතා වැදගත් තීරණයක් ගෙන තිබේ. එනම්; ඌව, දකුණ, බස්නාහිර හා මධ්‍යම පළාත්වල සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට තීන්දු කිරීම ය. මේ පළාත් හතරම අයහපත් කාලගුණයට ගොදුරු වී ඇත. ඇතැම් ප්‍රදේශවල පාසල්වලට ද යම් පමණක හානි සිදුවී ඇත. ඒ හැරත් පාසල් දරුවන් අනතුරුවලින් වළක්වා ගැනීම සඳහා ‍මේ පියවර ඉතා වැදගත් ය. සිසුන්ගේ වාර විභාග කල් දමන හැටියට උපදේශනයක් ද ලබා දී ඇත. පළමුව දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගත යුතු ය. දෙවනුව ඔවුන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යා යුතුය. ඒ දෙක ම ගැන සලකා ඉහත තීන්දුව ‍ගෙන තිබේ.

මේ අතර කටකතා නිසා ද, සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කර හරින ලද ප්‍රබන්ධ නිසා ද ජනතාව යම් තැතිගැනීමකට ලක් වූ බව පිළිගත යුතු කාරණයකි. එක ප්‍රබන්ධයකින් කියැවුණේ දකුණට; විශේෂයෙන් ගාල්ලට සුනාමියක් කඩා වදින බව ය. තවත් ප්‍රබන්ධයකින් කියැවුණේ රටට සුළි සුළඟක් කඩා වදින බව ය. එහෙත් මේ කිසිදු තොරතුරක් විද්‍යාත්මක ලෙස සනාථ කර තිබුණේ නැත. සුනාමි අනතුරු හඟවන සන්නිවේදන පද්ධතියක් අප සතුය. ඒ හැරෙන්නට ජාත්‍යන්තර සුනාමි අනතුරු සන්නිවේදන පද්ධතියක්ද ක්‍රියාත්මක ය. එම පද්ධති ඔස්සේ සුනාමි අනතුරක් වාර්තාවූයේ නැත. සුළි සුළඟක් වාර්තා වී තිබුණේ ද නැත. මෙහි දී අපට කිව හැක්කේ විශ්වාසවන්ත තොරතුරු ගැන පමණක් ජනතාවගේ අවධානය යොමු විය යුතු බව ය. ශාස්ත්‍රකාරයන්, පේනකාරයන් මෙන් ම ප්‍රබන්ධකාරයන් කෙරෙහි ද විශ්වාසය තැබීම අන්තරාදායක ය.

2004 සුනාමිය ශ්‍රී ලංකාවට බරපතළ හානියක් සිදු කළේ ද, අපට ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවූයේ ද ආපදා පිළිබඳ දැනුවත්භාවයක් නැතිකම නිසා යැයි සිතන්නට පුළුවන . එක අතෙකින් තොරතුරු සන්නිවේදනය දුර්වල විය. තව අතෙකින් අනතුරු හැඟවී‍ම් ගණන් නොගන්නා තත්ත්වයක් ද පැවැතිණි. සුනාමියේ පළමු පියවර නැරඹීමට ගිය බොහෝ පිරිසක් ද රළ පහරට ගොදුරු වූහ. අද වන විට මේ සියලු තත්ත්වයන් ‍වෙනස් ය. එක පැත්තකින් තොරතුරු සන්නිවේදනය දියුණු ය. තව පැත්තකින් ආපදා කළමනාකරණය දියුණු ය. තවත් පැත්තකින් රටේ දැනුම්වත්භාවය ද හොඳ තැනක තිබේ. මේ පසුබිම යටතේ ආපදා සඳහා අනියත බියක් ඇතිකරගත යුතු නොවේ. බිය ගැන්වීම්වලට හා බොරු ප්‍රචාරවලට මුළාවිය යුතු ද නොවේ.

අයහපත් කාලගුණික තත්ත්වය යටතේ වැඩිම හානියක් සිදු වී ඇත්තේ මහා මාර්ගවලට යැයි කියන්නට පුළුවන. ගස් කඩා වැටීම හා පස් කඩාවැටීම ඒ අතරින් ප්‍රධාන වෙයි. කොළඹ නගරයේ ප්‍රධාන වීථිවලට පවා ගස් කඩා වැටී තිබිණි. මේ සමඟ ඇතිවන අනෙක් අර්බුදය වන්නේ විදුලිය සැපයීම ඇන හිටීමය. කොළඹ ආදී ප්‍රධාන නගරවල විදුලිය සැපයීම යථා තත්ත්වයට පත් කර ඇතත්; ඌව පළාතේ ප්‍රදේශ ගණනාවක විදුලිය සැපයීම යථා තත්ත්වයට පත් වී නැත. ගමන් දුෂ්කරතාව හා අධික වර්ෂාව ඊට බලපා ඇති බව කියති. කුමක් වුව සෑම කාර්ය මණ්ඩලයක් ම යුහුසුළු ව කටයුතු කරන බවක් දකින්නට ලැබේ. පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, පොදු පහසුකම් සපයන රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්ෂමව තම සේවා ඉටු කරලන බව පෙනෙයි.

මෙබඳු ආපදා තත්ත්ව අපේක්ෂා කළ යුතු ය. ලෝකයේ දියුණුම රාජ්‍යයන්ට පවා ස්වාභාවික විපත් වළක්වාගැනීමේ හැකියාවක් නැත. අමෙරිකාව චණ්ඩ මාරුත ගණනාවකට මුහුණ දුන්නේ ය. චීනය හා ඉන්දියාව ගංවතුරට මුහුණ දුන්නෝ ය. වැදගත් වන්නේ වටිනා ජීවිත ආරක්ෂා කර ගැනීම හා දේපොළ හානිය අවම කර ගැනීම ය. අවදියකින් සිටින්නේ නම්; ආපදාවකට සාර්ථකව මුහුණ දීමේ හැකියාව අපට තිබේ. ඒ සඳහා පිළිගත් ආයතනවල උපදේශන පිළිපැදිය යුතුය. මුහුදු යෑම අනතුරුදායක යැයි නිවේදනයක් නිකුත් කළහොත් එය පිළිගැනීමට අපේ ජනතාව හිතට ගත යුතු ය . 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...