මනෝ වෛද්‍ය බ්‍රසල් රහස් පොලිස් වැඩට‘දන්නවද? ’ | දිනමිණ

මනෝ වෛද්‍ය බ්‍රසල් රහස් පොලිස් වැඩට‘දන්නවද? ’

පොලිස් නිලධාරියා හිතන මහත්තයාගෙන් විමසීය.

‘ඔබතුමා කාර් එක නතර කරල තියෙන්නෙ දෙමංතීරු කලාපෙ’

තමන්ට ඇති වූ නිම්හිම් නැති සහනශීලී සතුට සඟවා ගැනීමට උත්සහ ගනිමින්; හිතන මහත්තයා පිළිතුරු දුන්නා.

‘ආ... ඔව් ඔව් මං දැන් දැක්කෙ’ වරද පිළිගත් ස්වරයෙන් බොරුවක් එකතු කළේය.

‘මං මේ සිතියම කියව ගන්න පොඩ්ඩකට නතර උනා.’

පොලිස් නිලධාරියා මිත්‍රශීලීව හිස සොලවමින් ඉවතට ඇදුණි.

ඉන්පසු හිතන මහත්තයා කාරය නතර කළේ නැවතීමේ තහනම් නියෝග නැති ජනයා පදිංචි ප්‍රදේශයක ය. ඔහු මග දෙපස මෙන්ම ඉදිරිය හා පසුපසටද විමසුම් බැලුම් හෙළුවා. බ්‍රවුන් පේපර් මල්ල තුළ ගොතන ලද දුඹුරු අත්වැසුම් දෙකක් ඇතුළත රුවා තිබූ බෝම්බ දෙක එළියට ගත්තේ ය. ඒවායේ එක් කොනක ප්ලග් බුරුල්කොට ෆියුස් ඔර්ලෝසුව පණ ගැන්නුවේ තමා ගැන ආඩම්බරයකින් හා ආත්ම විශ්වාසයකිනි. තත්පර කිහිපයක් ටික්...ටික් හඬට කන් දුන්නා. ඔහුට හඬට සවන් දීමට අවශ්‍ය වුණේ එය නියමාකාරයෙන් වැඩ කරන්නේදැයි දැන ගැනීමටය. මන්ද 1954 රේඩියෝ සිටි සංගීත ශාලාවේදී ටික් හ‍ඬේ ‍දෝෂයක් නිසා තමාටද හදියක් වූ බව හිතන මහත්තයාගේ මතකයේ තිබුණි.

බෝම්බය ඇතුළත සවිකර ඇති ලාභ ඔර්ලෝසුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ හිතන මහත්තයාගේ සිද්ධාන්තය මෙසේයි. පැයේ කටුව විනාඩියක් දිවූ විට, ඒ සඳහා සැබෑ කාලයෙන් විනාඩියක් ගතවෙනවා. ඔර්ලෝසුවේ ටික් හඬින් ඔහු තෘප්තිමත් වූ නිසා, පුපුරායෑමට අපේක්ෂිත කාලයෙන් පැය එකොළහකට මෙපිටින් පැය කටුව රැඳවීය. ඇත්තෙන්ම කියතොත්, මෙය තාවකාලික රැඳවීමකි. මන්ද ඔහුට උපරිම කාලයක් හා උපරිම ආරක්ෂාවක් නිශ්චිත කරගැනීම අවශ්‍ය වූ බැවිනි. බෝම්බය ර‍හසේ තැබීමට මොහොතකට පෙර, ඔහු පැය කටුව නැවත සැකසිය යුතුය.

බෝම්බයෙන් සන්නද්ධවීමේ අවසන් අදියර වුණේ කම්බි තොංගල් දෙක එකට යා කිරීම. එයින් විදුලි ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වෙනවා. මේ සියල්ලම හැර, බෝම්බකරුට කඩඉමක් ලැබෙන්නේ පැය කටුව හා පුපුරායෑමේ තිත අතර නිමේෂයේ කූටප්‍රාප්ත මොහොතේ ඇති ඇබිති කාල ප්‍රාන්තරයේදී පමණි. බෝම්බ දෙකොනේ ප්ලග් දෙක ඔහු තද කළේය; දැන් සියල්ල සූදානම්ය.

සූදානම් බෝම්බ දෙක සහිත මල්ල රැගෙන හිතන මහත්තයා උමං මාර්ගය ඔස්සේ මෑන් හැට්න් වෙත සේන්දු විය.

ඔහු ඔර්ලෝසු සේල්පොළට එනවිට සවස් වී තිබුණි. බලාපොරොත්තු වූ තරම් සෙනගක් එහි සිටියේ නැත. එහෙත් කවරෙකුගේ හෝ ඇස නොගැසෙන පරිදි බෝම්බය තැබීම පහසු ක්‍රියාවක් නොවේ. සාප්පුව තුළ වාතාවරණයද කෙසේවත් එයට සුදුසු නැත. පිරිමින් සාප්පුව පුරා ‘එහා මෙහො යනවා විනා මිලදී ගැනීමක් නොකරයි. සමහර විට මොවුන් රහස් පොලිස් නිලධාරීන්ද විය හැකිය. තමා අල්ලාගෙන සිටි බ්‍රවුන් පේපර් මල්ල සමගම හිතන මහත්තයා ශාලාවෙන් පිටතට පැමිණියේය.

දොරටුව ඉදිරිපිටම, පසෙකින් වූ ආපන ශාලාවට ගොඩ වූ හිතන මහත්තයා ඉතා ප්‍රවේසමෙන්, ගමන්මලු රාක්කයේ තට්ට­ුවක් මත කඩදාසි බෑගය තැබුවේය. ඉන් අනතුරුව, සැහැල්ලුවෙන් කෝපි කෝප්පයක් පානය කිරීම පිණිස ඇතුලට ගියේය.

මේ රාක්කය සුවිශේෂයෙන් නිර්මාණය කර තිබුණේ, ආපනශාලාවේ නිත්‍ය ගනුදෙනුකරුවන්ගේ ගමන් මලු හා වෙනත් අඩුම කුඩුම තැබීම සඳහාය. හිතන මහත්තයා බෝම්බ බෑගය තැබීමේ දෙවැනි තේරීම විදිහට මේ රාක්කය පාවිච්චි කළේ හේතුවක් ඇතිවය.

එනම් මේ රාක්කය හුරුපුරුදු, ආපනශාලා නිත්‍ය ගනුදෙනුකරුවන්ගෙන් ඇතමෙක්, අමතකවීමෙන් තම බඩු බාහිරාදිය මෙහි සති ගණන් දමා යයි. එහෙත් ඉතාමත් පහසුවෙන් මෙහි බෝම්බයක් ඇටවිය හැකිද? මොහුට නිතර සිදුවන සිද්ධියක් නම් අන් අය නිසා කෝප වීමය. එය ඔහුගේ පුරුද්දක් ගානට දක්නට ලැබෙන්නෙකි. මේ අවස්ථාවේ ඔහු කෝපි කෝප්පයක් සඳහා මේසයක වාඩි වී, තමන්ට අවධානය යොමු කෙරූ වේටර්වරිය බලාපොරොත්තුවෙන් නිහඬව හා ඉවසිල්ලෙන් සිටියේ ය. ඔහු හැම ආකාරයේ ගරුසරු ඇති විනීත මිනිසෙක් ලෙස වේටර්වරිය සැණින් එතැයි බලාපොරොත්තුව සිටී. නමුත් හිතන මහත්තයාට පසුව ආ මිනිසෙකු වෙත ඇගේ (පසු කලෙක ඔහු සිහිකළ අයුරින්, සීමාව ඉක්මවා මුහුණේ පාට තවරා සිටි තරුණ කාන්තාවක්) අවධානය යොමු විය. ඒත් සමගින් අතින් කටින් බඩු මලු පුරවාගත් මැදිවිය පැන්නූ පීප්පයක් තරම් මහත කතක් කඩි මුඩියේ මහ සද්දයක් දමමින් වේටර්වරිය කැඳවන්නට විය.

‘මැරෙන්න තිබහයි - අයියෝ කෝපි එකක් ගේනව!’

වේටර්වරිය එසැණින් ඇයට සංග්‍රහ කරන්නට විය. මෙයින් හිතන මහත්තයගේ යකා තුන් මුදුනටම නැග්ගේ ය. ඒ ඔහුගේ වාරයයි; ස්ත්‍රියගේ වාරය නොවේ! පුංචි ලොකු හැම දෙයකටම ලෝකයා ඇයි ඔහු රවටන්නෙ? මිනිසුන් හැම විටම ඇයි ඔහු පස්සට තල්ලුකරමින්, නොතකාහරිමින් සවුත්තු විදිහට සංග්‍රහ කරන්නෙ?

තමාට ලෝකයෙන් උරුම - විය යුතු සැලකිල්ල තමා විසින්ම ලබාගත යුතු බව ඔහු තීරණයකොට බොහෝ කලක් ගෙවී තිබේ. මෙවර ඔහු අදහස් කළේ, විශේෂයෙන්ම මේ වේටර් ගෑනියටත්, මේ නොහික්මුණු තඩි ගෑනියටත් අමතක නොවන පාඩමක් ඉගැන්වීමටය. ඒ විතරක් නෙවෙයි, මෙයින් අඟවා සිටින්නේ මෙතෙක් තමාට නොසැලකූ හැම වේටර් ගැහැනුන්ටත්, නොහික්මුන සියලු ගැහැනු - පිරිමින්ටත්, විශේෂයෙන්ම කොන්සොලිඩෙඉටඩ් එඩිසන්හි හැම එකාටමත්ය.

අවසානයේ වේටර්වරිය පැමිණ ඔහුගේ කෝපි ඇණවුම බාර ගත්තාය. එය රැගෙන එනතෙක් හිතන මහත්තයා පිරිමින්ගේ පවිත්‍රතා කාමරයට ගොස්, තව පැය බාගයකින් බෝම්බය පුපුරා යන සේ ෆියුසය සම්බන්ධ කරන්නට පටන් ගත්තේය. අනතුරුව, බෝම්බය භාණ්ඩ කවුන්ටරයේ තට්ටුවක තබා පැමිණ නිවිහැනහිල්ලේ කෝපි තොල ගෑවේය. කෝපි කෝප්පය හිස් වූ කල ඔහු හෙමින් සීරුවේ බඩු තබන රාක්කය පසුකර ඉදිරි දොර දෙසට එමින් සිටියේ ය.

‘මහත්තයෝ...’

සාප්පු මලු රොත්තක් අතින් දරා සිටි ළමා සිනාවක් සහිත කාන්තාවක් හඬ නැගුවාය.

‘අයියෝ මහත්තය, මේ ඔයාගෙ පාර්සලය දාලා යනවනෙ?’

ඔහු ආපසු හැරුණේය. ඇය බෝම්බය බහාලූ බෑගය අතකින් දික්කර සිටියාය.

‘අනේ... ඒක මගෙ තමයි’ සිනා රැල්ලක් මවා ගනිමින් හිතන මහත්තයා කීවේය.

‘තව ඩිංගෙන්, මහත්තයට මේක අමතක වෙනව.’

‘ස්තූතියි, ඔබට බොහොම ස්තූතියි’ ඔහු මිමිනුවේය.

ඉක්මන් ගමනින් දුරකතන කුටියක් කරා ගිය හිතන මහත්තයා, තවත් පැය එකොළහකින් බෝම්බ ඔර්ලෝසුවේ පැය කටුව ඉදිරියට කරකැව්වේ ය. ඉන්පසු විදී ගණනක කලකිරීමෙන් යුතුව ඒ මේ අත ඇවිදින්නට විය. අවසානයේ උමං දුම්රියකට ගොඩ වී පෙරළා බෲක්ලින් බලා පිටත්විය. එහිදී කෙටි ආහාරයක් ගෙන අරමුණකින් තොරව මෙන් වීදි සැරුවේය. සැඳෑව වෙත කටුක සීතලක් එමින් තිබිණි. සිනමා ශාලාවක් ඔහු ඇස ගැසුණෙන්, එයට ඇතුළු විය.

හිතන මහත්තයා වාඩි වූයේ අන්තිම ආසන පේළියේ ය. ඔහු තුළ ප්‍රචණ්ඩ, බිහිසුණු, කුරිරු චණ්ඩ මාරුතයක් හමා යන්නට විය. කලිසම් සාක්කුවකට අත යැවූ ඔහු තම ගමන් සගයෙකු බඳු කුඩා තියුණු දුණු පිහිය අතට ගත්තේ ය. එය දිග හැරියේ තීරණාත්මක උමතු බවකිනි. ඔහුගේ එක් පසෙකින් වූ හිස් අසුනේ යටි පැත්තේ කුෂන් එක පිහි පහර වලින් පැලී ගියේ, ක්ෂණිකව හා තියුණුව ඇනගෙන ඇනගෙන ගිය බැවිනි. බෝම්බය පිපිරීම පැයකින් ප්‍රමාද වන සේ පැය කටුව සකසා, අසුනේ පැළුම් පාරවල් අතර එය රැ‍‍ඳෙව්වේය. සිනමා ශාලාවෙන් පිට වී තම ආදරණීය කාරය වෙත ඉතා ශාන්තව ඇවිද විත් නිවස කරා එය ධාවනය කරන්නට පටන් ගත්තේ ය.

හිතන මහත්තයගෙ ගරාජයේ යකඩ දොර ඇරෙන සද්දෙ ජෙනී මහත්මියට ඇසුණි. වෙනදා වගේම ඇය පුදුමෙනුත් පුදුමයෙන් කල්පනා කළා ය. ‘මේ මනුස්සය’ මෙච්චර වෙලා කොහෙද ගියේ?... මොනව කරන්නද ගියේ?’

1956 දෙසැම්බර් මස 2 වනදා, හරියටම සවස 7:55 ට උමතු බෝම්බයාගේ වඩාත් ප්‍රබලතම බෝම්බය බෲක්ලීන් හි පැරමවුන්ට් සිනමා ශාලාවේ අසුන් සිවිලිම දෙසට විසි කරමින් පුපුරා ගියේ ය. ඉන් හයදෙනෙකුට තුවාල සිදු වූ අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ විය.

මේ අඳුරු ආරංචිය කන වැටීමත් සමග, නිව්යෝර්ක් පොලිස් කොමසාරිස් ස්ටෙෆන් පී කෙනඩි තම දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර සිටියේ, උමතු බෝම්බයා අල්ලා කොටුකර ගැනීම පිණිස ‘අසාමාන්‍ය පරිශ්‍රමයක්’ දියත් කළ යුතු බවයි. එන්න එන්නම බෝම්බවල විශාලත්වය වැඩි වේ. නුදුරු අනාගතයේ ම කවරෙකු හෝ මරා දැමෙයි. දැනටමත් එවැනි අභාග්‍යයක් එලඹ නැත්තේ හුදු වාසනාවකට පමණි. එහෙත්, මේ වන විටත් මිනිසුන් කීප දෙනෙක් අංගවිකලකර ඇත. තවත් බොහෝ අයගේ පරාණ බිය තහවුරු කර හමාරය. අඩුම තරමින් එක්කෙනෙකු හෝ එක්තැන් කර ඇත. බොහෝ දෙනෙක් රෝහල් අසාධ්‍ය ලේඛනවලට ඇතුළත් කර හමාරය.

‘මේ වැඩේ කරන්න කීයක් වැය වෙනවද, අපට කරන්න සිද්ධ වෙන්නෙ මොනවද කියන කාරණා මට වැඩක් නෑ’ පොලිස් කොමසාරිස් කෙනඩි ගෝරනාඩු කළේ ය.

‘මොන විදිහෙන් හරි මේ මිනිහ නතර කරන්න ඕන’

මෙයින් පොඩි වෙලාවකට පසු ඉන්ස්පෙක්ටර් ෆිනී මා මුණගැහීමට පැමි‍ණියේ ය.

සෑම සියලු නිව්යෝර්ක් පුරවැසියෙකු සේම මම ද උමතු බෝම්බයාගේ සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා පිටුපස හඹා ගියෙමි. මේ අමුතුම පුද්ගලයා පිළිබඳ කුතුහලයෙන් මම අවිස්සී සිටියෙමි. ඔහු කුමන මාදිලියේ මිනිසෙක් විය හැකිදැයි මම තුෂ්නිම්භූතව සිටියෙමි. තාවකාලික සිද්ධාන්ත මගේ මනස කැලඹුවත් ඒවා නිෂ්ප්‍රයෝජන විය. ඒ අතරම මගේ සහකාර කොමසාරිස් රැකියාව හා පෞද්ගලිකව ලෙඩුන් බැලීම යන කාරණා දෙකෙහි යුහුසුළුව සිටියෙමි. මට ගනුදෙනු කිරීමට සිදු වූයේ හැබෑ මිනිසුන් සමග මිස භූතයන් සමඟ නොවේ.

ඒ කොහොම වුණත් උමතු බෝම්බයා කියන්නේ ඇත්ත මිනිහෙකුට. ඔහු භූතයෙකු ලෙස පෙනුනත් මසින් ලෙයින් හැදුණු කෙනෙක්. ඔහු මවකට පියෙකුට දාව ඉපදී සිටින; කන, බොන, ඇවිදින, කතා කරන මිනිසෙක්. ඔහු කොහේ හෝ ජීවත් වෙනවා. කවරෙකු හෝ ඔහු හඳුනනව. ඔහුගේ මූණ දැකල තියෙනව. ඔහුගෙ කට හඬ ඇහිල තියෙනවා. මේ අය මොහු උමතු බෝම්බයා කියලා දන්නෙ නැති උනත් කවරෙක් විදිහට හෝඅඳුරනව. ඔහුට නමක් තියෙනව. නිව්යෝර්කයේ ඇතුළත හෝ පිටත කවරෙකු සමග හෝ පොඩි පොඩි සම්බන්ධකම් තිබිල තියෙනව. උමං දුම්රියේ හෝ බස් රථවල ඔහු අසලින් වාඩි වී ගිය අය ඉන්නව. පදික වේදිකාවෙදි ඔහු පසුකර ගිය අය ඉන්නව. කඩ පොළේ දී - සුපිරි වෙළද සලේදී වැලමිට ගෑවි ගෑවි අනෙක් පාරිභෝගිකයින් අතර ඉන්නව. සමහරවිට ඔහු රෑ වවුලෙක් වගේ හෙමින් සීරුවේ කල එළි බහිනව.

ඒ දෙසැම්බර් සඳෑවේ මා මගේ කාර්යාලයේ වාඩි වී සිටි අතර ඉන්ස්පෙක්ට ෆිනී හා ඔහුගේරහස් පොලිස් නිලධාරීන් දෙදෙනා මා තුළට කිඳා බසිමින් සිටියේ ය. මේසය මත වූ ලිපිවල ඡායා පිටපත් හා ඡායාරූප තුළ මගේ දෑස් කිමිදී තිබුණි. මේවා මට පවසන්නේ කුමක් ද?

‘මේක තාක්ෂණික කටයුත්තක්’ එක් ඡායාරූපයක් මගේ අතට ගිනිමින් පැවසුවෙමි. ‘මේවා ගැන ඔබේ අදහස් මොනවද? මම තාක්ෂණවේදියෙක් හෝ විදුලි කාර්මිකයෙක් නෙමෙයි. ඔබලාගේ බෝම්බ විශේෂඥයින් හිතන්නෙ මේ බෝම්බ හොඳ නිමාවෙන් තිබුන කියලද? එහෙම නැතිනම්, එහෙන් මෙහෙන් අටවලද?’

‘හොඳ නිමාවෙන් හදපුව’ ඉන්ස්පෙක්ටර් ෆිනී කීවේය. ‘උසස්ව නිමා කරපුව’ මේ මිනිහට හොඳ කාර්මික පුහුණුවක් තියෙනව වගේ.’

මේ කාරණය පොලිස් සම්මේලනවලදී දිගින් දිගට සාකච්ඡා කළ කාරණයකි. ලෝහ වැඩ, පයිප්ප වැඩ,විදුලි කාර්මික වැඩ ගැන උමතු බෝම්බයාට දැනීමක් ඇත. ඔහු මේවා ඉගෙන ගන්නට ඇත්තේ තම රැකියාවෙන් හෝ රැකියාවලිනි. එහෙම නැත්නම් අතිරේක වේලාවලදී මේවා පිළිබඳව ඉගෙන ගන්නට ඇත. සමහරවිට ලෝහ මූර්තිකරණය හෝ විදුලි භාණ්ඩ අලුත් වැඩියාව විනෝදාංශයක් ලෙස කරන්නටද ඇත. හැම නාගරිකයෙකුටම පාහේ තම නිවසේ ජල - විදුලි සුළු ආපදාවකදී ඒවා පිළිසකර කර ගැනීමේ හැකියාවක් ඇතත් බර ලෝහයක් තලා හැඩ ගැන්වීමේ හැකියාවක් නැත. උමතු බෝම්බයාට එය තිබේ.

මුළු ඉතිහාසය පුරා බෝම්බ හැදුවේත් විසි කළේත් පිරිමින් නිසා මේ බෝම්බකරුද පිරි‍මියෙක් යැයි පොදු සිතීමය. නමුත් 1918 රුසියන් විප්ලවයේදී බෝම්බ හැදීමට මෙන්ම විසි කිරීමටත් ගැහැනුන් ඉදිරිපත් වූහ. ඊට පෙරත් ස්ත්‍රීන්, කෙනෙක් මැරීමට අවශ්‍ය නම් ඒ සඳහා උපකරණ පාවිච්චිකොට තිබේ. චාලට් කෝදේ මේ සඳහා පිහිය පාවිච්චිකොට ඇත. ලුක්රේෂියා බෝර්ජියා වස භාවිතාකොට තිබේ. ඒ කෙසේ වෙතත් මා තාවකාලිකව පැමිණි නිගමනය වූයේ උමතු බෝම්බයා පිරිමියකු බව යි. මෙය ඔප්පුකර ගැනීමට අවශ්‍ය කාරණාද පසුව මට හමුවිය.

මේ පිරිමියා ගැන මම තවදුරටත් කල්පනා කළෙමි. කොන් - එඩ් වෙතින් බරපතළ අසාධාරණයක් සිදු වී ඇතැයි මොහු සිතයි. ඇතැම් ලියවිල්ලක ‘කොන් ඩිඩිසන් හා තවත් එවුන්’ යනුවෙන් සඳහන්වී තිබුණ අවස්ථාද තිබේ. මීට අනුව කොන් - එඩ් සමග එකතුව මොහුට වින කෙරූ තවත් පිරිසක් සිටින බවද ඔහු කල්පනාකොට තිබේ. මේ ඔහුගේ ප්‍රමුඛ සිතුවිල්ලයි. ‘සියලු රැවටිලිකාරයින්ට හා බොරුකාරයින්ට’ යන යෙදුමද ඔහු නිතර පාවිච්චි‍කොට තිබේ. මෙයට අනුව සැලකිල්ලට ගත යුතු කරුණක් මෑත රඟදැක්වී ඇත. ඔහු, කොන් - එඩ් වෙනුවට, රංග හා සිනමා ශාලා, මහජන පුස්තකාලය, ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ගොඩනැගිල්ල යනාදියට ද ප්‍රහාර එල්ලකොට තිබිණි. මෙයින් සාමාන්‍යයෙන් පෙන්නුම් කරන්නේ, ලෝකය ඔහුට එරෙහිව සිටිනවාය යන සිතුවිල්ලක් ඔහුට ‍තිබෙන බවය.

ඔහු, අහේතුකව අනුන් විශ්වාස නොකිරීම හා සැක කිරීම කරයි. මේ තත්ත්වය මනෝවිද්‍යා පෙළපොත් භාෂාවෙන් හැඳින්වෙන්නේ පීඩනෝන්මාදය කියාය. මෙය පුද්ගලයෙකුගේ ඇතුළාන්තයෙන් වර්ධනය වන නිධන්ගත මානසික රෝගයකි. මේ රෝගයේ මූලික ලක්ෂණ හතරක් තිබේ. උමතු බෝම්බයාට අදාළව ඒවා පහත සඳහන් ආකාරයට තේරුම්ගත හැක.

සිංහල කළේ
සමුනි සමරකෝන්

හෙට : මනෝවෛද්‍යවරයා
කියූ අනාවැකිය


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...