භාරතයේ අතදීම | දිනමිණ

භාරතයේ අතදීම

 කුමන විග්‍රහයකට අනුව ගෙන බැලුව ද; ඉන්දියාව අපගේ අසල්වැසියා ය . හිත මිත්‍රයා ය. ඥාතියා ය. ඉන්දියාව අපගේ අසල්වැසියා බවට පත්වන්නේ භූ - දේශපාලනය අනුව ය. නැතහොත් පිහිටීම අනුව ය. ඉන්දියාව අපගේ හිත මිත්‍රයා වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පවත්නා දේශපාලන සබඳතා අනුව ය. මේ දේශපාලන සබඳතා ඓතිහාසික බව ඉතිහාසය ගවේෂණය කරන්නකුට පැහැදිලි වනු ඇත. ඉන්දියාව අපගේ ඥාතියා බවට පත්වන්නේ සංස්කෘතිය හා භාෂා සිද්ධාන්තවලට අනුවය. අපේ සංගීතය, කලාව, භාෂාව ඉන්දියාව පදනම් කොට නිර්මාණය වී ඇත. ‍මේ බව වටහා ගැනීම ඉතා වැදගත්ය.

ඉන්දියාව සමඟ අපගේ සබඳතා කිසිකලෙක මුළුමනින් බිඳ වැටුණේ නැත. එහෙත් වරින් වර අපේ සබඳතාවල යම් වෙනස්කම් ඇතිවී ති‍බේ. එලෙස සබඳතාවල වෙනසක් සිදුවූ සෑම අවස්ථාවකම පාහේ අපට බලවත් පාඩු සිදුවී ඇත. නිදසුන් දෙකක් දැක්විය හැකිය. ජේ. ආර්. පාලන සමයේ අප ඉන්දියාව නොසලකා අමෙරිකාව දෙසට නැමියාවක් දැක් වූ බව රහසක් නො වේ. එහෙත් එයින් සිදුවූයේ බරපතළ දේශපාලන ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවීම ය. පළාත් සභා ක්‍රමය සුදු අලියකු නම්; ඊට වගකිවයුත්තේ ඉන්දියාව හා එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයෙහි නියුක්තවූවන් ය. එක අතෙකින් බලන විට ඉන්දියාවෙන් තොර ශ්‍රී ලංකාවක් ගැන කතා කිරීම පවා විහිළුවකි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ සංචාරයක නිරත විය. එම සංචාරයෙහි අරමුණ වූයේ නූතන ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ ඉන්දියාවේ නායකයන් දැනුම්වත් කිරීම ය. වැඩසටහන ඉතා හොඳින් නිමාවකට පත් විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර ‍මෝදි මහතා මෙහිලා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය උපදේශන, ආධාර හා ණය මුදල් වහාම ලබාදීමට නවදිල්ලි ආණ්ඩුව සූදානම් වන බවය. එය තවත් හොඳ ලක්ෂණයක් සේ ගත හැකි ය.

අගමැති මෝදි පෙන්වා දෙන අන්දමට 2020 වීමට පෙර ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර ඩිජිටල් තාක්ෂණය ප්‍රචලිත විය යුතුය. ඊට අදාළ ආයතන පොහොසත් විය යුතුය. එසේ නොවුණහොත් එක අතෙකින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වේගවත් වන්නේ නැත. තව අතෙකින් අපට ලෝකය සමඟ ඇති සබඳතා තවදුරටත් ව්‍යාප්ත වන්නේ නැත. අගමැති මෝදි පෙන්වා දෙන ලෙස ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර ඩිජිටල් තාක්ෂණය වේගයෙන් ප්‍රචලිත කළ යුතුය. ඒ සඳහා ඕනෑම සහයෝගයක් ලබා දීමට ඉන්දියාව සූදානම් බව ද අගමැතිවරයා පැහැදිලි කර දී තිබේ. අපගේ මතකයට නැ‍ඟෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට පවා මූලික සාධකයක් වූයේ සන්නිවේදන තාක්ෂණය බව ය. එදා සත්‍යය හෙළිදරව් කිරිමට සමාජ වෙබ් අඩවි ක්‍රියා කළේ ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය තුළ වැඩියෙන් ම කතා බහට ලක් වූ තවත් වැදගත් ක්ෂේත්‍ර තුනක් තිබේ. එක බලශක්තියයි. දෙක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැඩසටහනය. තුන; ඉන්දීය සාගර කලාපය සාම කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනය. ලෝක දේශපාලනය දෙස බලන විට ද, කලාපීය දේශපාලනය දෙස බලන විට ද ඉහත කී සාධක තුන ඉතා වැදගත් ය . බලශක්තිය අප කාගේත් අර්බුදයකි. එහෙත් දකුණු ආසියාව සාමුහික වැඩසටහනක් ගෙන යන්නේ නම්; බලශක්ති අර්බුදය විසඳාගත හැකි ය.

ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් සංකල්පයකි. මෙය ඈත අතීතයේ ද රාජ්‍ය පාලනයේ වැදගත් සංකල්පයක් ලෙස පැවැතිණි. ස්වභාවික විපත් නිසා ආහාර නිෂ්පාදනය විශාල වශයෙන් විනාශමුඛයට යන අවස්ථා තිබේ. විවිධ ආර්ථික අවපාත නිසා ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමේ අපහසුතා ඇතිවන අවස්ථා තිබේ. ලෝක ආර්ථිකයේ විවිධ වෙනස්වීම්වලට අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය ඇනහිටින අවස්ථා තිබේ. මේවාට මුහුණ දිය හැකි තත්ත්වයක් සෑම රාජ්‍යයක් ම ඇතිකර ගත යුතුය. එය කලාපීය වශයෙන් ශක්තිමත් වන්නේ නම්; වඩාත් වැදගත් ය. ඉන්දියාව වැනි කෘෂිකාර්මික අතින් දියුණු රටක් සමඟ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැඩසටහන් පවත්වා ගැනීම හැම අතකින්ම වැදගත්ත ය.

ලෝක ආර්ථිකය අතින් ගතහොත් ඉන්දියාවට ඇති බලය හා ශක්‍යතාව ආසියාවේ දෙවෙනි වන්නේ චීනයට පමණි. එහෙත් ආර්ථික පුරෝකථනවල ට අනුව තවත් වසර කිහිපයක් යෑමට පෙර චීනයට වඩා වැඩි වාර්ෂික ආර්ථික වෘද්ධියක් ඉන්දියාව සටහන් කර ගනී. එලෙස ම චීනයට වඩා වැඩි ජනගහන වර්ධන වේගයක් ද ඉන්දියාව සටහන් කර ගනී. මෙහි අර්ථය වන්නේ චීනයට වඩා ඉන්දියාව බලවත් වන බව නොවේ. චිනයට, අමෙරිකාවට, ජපානයට සමගාමී ව ඉන්දියාව ද ලෝක සිතියමෙහි තම බලය හා ස්ථාවරභාවය ගොඩනඟා ගන්නා බවය. ඒ අනුව ඉන්දියාවට සමීපවීම පමණක් නොව ඉන්දියාව මුල්තැන ලා කටයුතු කිරීම ද වරදක් නොවේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලවත් සහයෝගයක් බව කිව යුතුය . නරේන්ද්‍ර මෝදි මහතා මේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ගැන මහත් උනන්දුවකින් කතා කර තිබේ. තරුණ පරපුර මේ සංවර්ධන ව්‍යාපෘති සඳහා බහුල ලෙසින් සහභාගී කරගත යුතු බව ද ඔවුනට වැඩි වශයෙන් රැකියා ලබාදිය යුතු බවද මෝදි මහතාගේ උපදේශනය වී තිබේ. මේ සිදුවීම් ආශ්‍රයෙන් උපකල්පනය කළ හැකි තවත් සාධකයක් තිබේ. එනම්; ශ්‍රී ලංකාවේ ඊළඟ නිදහස් දින සමරුවට මෝදි මහතා ද පැමිණීමට ඉඩ ඇති බව ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...