තැළුණු පෙති මතින් යළි පිපුණු ඉරාකයේ සුවඳ මල නාදියා | දිනමිණ

තැළුණු පෙති මතින් යළි පිපුණු ඉරාකයේ සුවඳ මල නාදියා

ෆවුස් මොහොමඩ්

*උතුරු ඉරාකයේ කුර්දි ජාතික සුළු ජන කොටසක් වන යෂීදිවරුන් වෙසෙන කෝචෝ කෘෂි ගම්මානයේ සොයුරු සොයුරියන් රැසකගෙන් සමන්විත සිය පවුලේ සාමාජිකයන් සමග ඉතා සාමකාමී හා සැපවත් ජීවිතයක් ගෙවමින් සිටි එවකට 21 හැවිරිදි වියෙහි පසුවූ මේ අහිංසක යුවතිය නාදියා මුරාඩ්ගේ ජීවිතය එහෙම පිටින්ම උඩුයටිකුරු කරමින් අයි.එස්.ත්‍රස්තයන් ගම්මානයට කඩා වැදුණේ 2014 අගෝස්තු 3 වැනිදාය

ඇගේ කමීසය තුළට අත දැමූ ත්‍රස්තවාදියා පෙම්වතුන් විවාහවූවාට පසුව කරන දේවල් කරන්නට පටන්ගත්තේය. නිහඬව ඉඩදීම හෝ මරණය...ඇයට සිදුවූයේ ඉන් එකක් තෝරාගැනීමටය. ඒ බස් රථය තුළ ඇය මෙන් තවත් යුවතියන් රැසක් සිරවී සිටියහ. ඇයට මෙන්ම ඔවුන්ටත් ජීවත්වීමට ඇති ආශාව නිසාම අයි.එස්.ත්‍රස්තයන්ගේ මේ ලිංගික අඩත්තේට්ටම් ඉවසා විඳ දරා ගැනීමට සිදුවී තිබිණි.

උතුරු ඉරාකයේ කුර්දි ජාතික සුළු ජන කොටසක් වන යෂීදිවරුන් වෙසෙන කෝචෝ කෘෂි ගම්මානයේ සොයුරු සොයුරියන් රැසකගෙන් සමන්විත සිය පවුලේ සාමාජිකයන් සමග ඉතා සාමකාමී හා සැපවත් ජීවිතයක් ගෙවමින් සිටි එවකට 21 හැවිරිදි වියෙහි පසුවූ මේ අහිංසක යුවතිය නාදියා මුරාඩ්ගේ ජීවිතය එහෙම පිටින්ම උඩුයටිකුරු කරමින් අයි.එස්.ත්‍රස්තයන් ගම්මානයට කඩා වැදුණේ 2014 අගෝස්තු 3 වැනිදාය. රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසත්, ඉතිහාසය උගන්වන ගුරුවරියක ලෙසත් රැකියාවේ නිරතවීමට දහසක් බලාපොරොත්තු එක්රැස් කරමින් සිටි නාදියාට අන්තිමට සිදුවූයේ අයි.එස්.ත්‍රස්තයන්ගේ ග්‍රහණයට හසුවීමටය.

ලිංගික වහලියක් ලෙස අනේක විධ තාඩන පීඩන හමුවේ ගෙවූ වසර තුනකට පසුව අයි.එස්.ත්‍රස්තයන්ගෙන් බේරී පලා ආ මේ දිරිය යුවතිය නාදියා ඊයේ පෙරේදා සිය ජීවිතයේ අවාසනාවන්ත කාලපරිච්ඡේදය පොතකට පෙරළා ලෝකයා හමුවේ තැබුවාය. අයි.එස්.ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡත්වයේ තවත් පැතිකඩක් නිරාවරණය කරමින් ‘The Last Girl: My Story of Captivity, and My Fight Against the Islamic State‘ නමින් ලියැවුණු මේ කෘතිය දැන් දැන් ලොව පුරා ඉමහත් අවධානයකට ලක්වෙමින් තිබේ.

සිරියානු රජයේ හමුදාවේ දැඩි ප්‍රහාර මැද පසුගියදා සිය බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ රඛා නුවර අයි.එස්.ත්‍රස්තවාදීන්ට අහිමිවීමෙන් පසුව දැන් ඔවුන්ගේ අවසානය උදාවී තිබේ. එහෙත් ඔවුන්ගේ ලිංගික ගොදුරක් බවට පත්ව ඉන් ලැබූ පන්නරයෙන් ජීවිතය ජයගත් නාදියා නම් අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහි සිය අරගලය ඇරැඹුවා පමණි.

තමා අයත් යෂීදි ජනතාවට අයි.එස්.ත්‍රස්තයන්ගෙන් සිදුවූ යුද අපරාධවලටත්, තාඩන පීඩනවලටත් එරෙහිව ඇය දැන් පෙරමුණ ගෙන සිටින්නීය. මානව හිමිකම් පිළිබඳ සුප්‍රකට නීතිඥවරියක වන අමාල් ක්ලූනිගේ සහය ඇතිව නාදියා විසින් ආරම්භ කරනු ලැබූ මේ උත්සාහය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආශිර්වාදය මැද කෙරෙන්නකි.

‘මේක මම තෝරාගත්තු දෙයක් නෙවෙයි.‘ දැන් 24 වියෙහි පසුවන නාදියා ලන්ඩනයේ සැප පහසු හෝටලයක සෝපාවේ හාන්සිවෙමින් වොෂින්ටන් පෝස්ට් සඟරාවේ ලේඛිකාවට එසේ කීවාය.

‘ඒත් කාටහරි ඉස්සරහට ඇවිත් මේ කතාව කියන්න වෙනවා. ඒක එච්චර ලෙහෙසි එකක් වුණේ නෑ.‘

කෝචෝ ගම්මානයට කඩා වැදුණු අවිගත් අයි.එස්. ත්‍රස්තවාදීන් ගමේ පිරිමින් අමු අමුවේ ඝාතනය කරන්නට පටන් ගත්තේ සිය සුපුරුදු ම්ලේඡච්ත්වය පෙන්වමිනි. සොයුරන් 9ක්ම සිටි නාදියාගේ පවුලේ සයදෙනකුම ඝාතනයට ලක්විය. නාදියාත්, ඇගේ සොයුරියන් දෙදෙනාත්, ගම්මානයේ සිටි තවත් ගැහැනුන් සිය ගණනක් බස්රථවල පටවාගෙන අයි.එස්. ත්‍රස්තයන් ඒ වනවිටත් ඔවුන්ගේ ග්‍රහණයට නතුවී තිබූ මොසූල් නගරයට ගෙන ගියහ. මේ අසරණ යුවතිය ආරම්භයේ දී සඳහන් කළ අයි.එස්.ත්‍රස්තවාදියාගේ ලිංගික අඩත්තේට්ටම්වලට ගොදුරුවූයේ බස්රථයේදීය.

මොසූල් නගරයේදී ඔවුන් බෙදා වෙන් කළහ. තරුණ ගැහැනුන් හා යුවතියන් ඉතිරි කළ අයි.එස්.ත්‍රස්තයෝ වැඩිහිටි මහලු ගැහැනුන් ගිනි තබා මරා දමන්නට වූහ. නාදියාගේ මවත් ඒ අතර විය.

පසුව අයි.එස්.ත්‍රස්තයන් විසින් නාදියා සහ සෙසු යුවතියන් එක්තරා ගොඩනැගිල්ලක් වෙත ගෙන යනු ලැබූහ. එය නාදියා මෙන්ම අයි.එස්.ත්‍රස්තයන්ගේ ග්‍රහණයට හසුවූ යුවතියන් ලිංගික වහල් සේවයේ යොදවන ස්ථානයයි.

හිත්පිත් නැති එක් මිනිසකු ඔහු උරමින් සිටි සිගරැට්ටුව නිවා දැමුවේ එය නාදියාගේ බඩට තබා තද කරමිනි. ඇයට කෑගැසිණි. එවැනි වේදනාවක් ඇය අත්වින්ඳේ පළමුවතාවටය.

පසුව නාදියා ඇතුළු අසරණ යුවතියන් වෙන්දේසිගත කෙරිණි. අමෙරිකානු ඩොලර්වලින් මුදල් ගෙවූ එක්තරා මිනිසකු ඇය සමග කෝචෝ ගම්මානයෙන් රැගෙන ආ යුවතියන් තිදෙනකුම එකවර මිළදී ගත්තේය. සිගරැට්ටුව බඩට තබා නිවාදැමූ වධකයා විසින්ම නාදියා මිළදී ගනු ලැබුවේය.

ඔහු නාදියාට වඩා වයසින් වැඩිමල් තරබාරු සිරුරකින් යුතු මිනිසෙකි. ඔහුගේ ශාරිරික වද හිංසා දරාගැනීම මේ අසරණ යුවතියට පහසුවූයේ නැත.

ඉන් අනතුරුව ඇය දෛනිකව දූෂණයකට ලක්වූවාය. වරක් ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පලායාමට උත්සාහ කිරීම නිසා ඇයට එල්ල වන්නට වූ වධහිංසා බෙහෙවින් වැඩිවිය. ඇය සියල්ල ඉවසා විඳ දරා ගත්තාය. ජීවිතය අතහැර යාමේ සිතක් පහළ වූ අවස්ථා එමටය. එසේවුවත් ඇය කල්පනා කළේ පලා යාම පමණි. දෙතොල් පුපුරා ලේ ගලන්නට විය. ත්‍රස්තවාදින් රැසක් ඉතා දරුණු ලෙස දූෂණය කිරීම නිසා ඇගේ සියුමැලි සිරුර වේදනාවෙන් කකියන්නට පටන් ගත්තේය. වරින් වර එම ගොඩනැගිල්ලේ අවට කාමරතුලින් නැගෙන කාන්තාවන්ගේ විලාප හඬින් ඇගේ සිත රිදුම් දෙන්නට විය. පලායාම සහ මරණය අතර ඇගේ සිත දෝලනය වෙද්දී ඇයට සිය මවත්, සොයුරු සොයුරියනුත් සිහිපත්විය. ඒ වනවිටත් ඔවුන්ගෙන් අඩකට වඩා මරණයට ගොදුරුවී හමාරය. ඉතිරිවී සිටින සෙසු සොයුරන් සොයා ගොස් ඔවුන්ගේ උණුසුමේ විඩා හරින්නට ඇය සිහින මැව්වාය. ඒ දිනය උදාවනතුරුම සිහින මැව්වාය.

අවසානයේ ඒ දිනය උදාවිය.

එක්තරා දිනෙක රාත්‍රියේ ඇය ගොදුරු කරගත් එක් ත්‍රස්තවාදියකුට කාමරයේ දොර වසා අගුළුලන්නට අමතක වූ අවස්ථාවක් බලා ඇය ම්ලේච්ඡත්වයේ නවාතැනින් පලා ගියාය.

මොසූල් නගරයේ අඳුර අතරින් ඉක්මන් පියවර තබා ඇය හැකිතරම් වේගයෙන් පැන දිව්වාය. විශ්වාසයත්, අවිශ්වාසයත් අතර දෝලනය වූ සිතකින් යුතුව එක්තරා ස්ථානය පාලු නිවසක දොරට ඇය තඩිබෑවේ දෙගිඩියාවෙන් යුතුවය. ඇගේ වාසනාවට ඒ නිවසේ හිමිකරුවා සහ ඔහුගේ පවුලේ අය ඇයට පිහිටවීමට ඉදිරිපත්වූහ. ඔවුන් ඇය ඒ මොහොතේදීම නගරයෙන් පලායන සරණාගතයන් පිරිසකට බාර කළ අතර පසුදින වෙද්දී සරණාගත කඳවුරකට සේන්දුවීමට ඇයට අවස්ථාව උදාවීය. ඇය සැනසුම් සුසුම් හෙලුවේ ඉන් පසුවය.

සරණාගත කඳවුරේදී වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසුව ඇය ඒ කඳවුරේ බලධාරීන් විසින් ජර්මනියට පිටත් කිරීමට තීරණය කර තිබිණි. වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ඇයට ලැබුණේ ජර්මනියේදීය. පසුව සරණාගතයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නාදියා මෙන්ම අසරණවූ තවත් කාන්තාවක් රැසක් මානව හිමිකම් සංවිධානය වෙත යොමු කෙරිණි.

ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වූ කාන්තාවන් වෙනුවෙන් හා මිනිස් ජාවාරම්වලට එරෙහිව මානව හිමිකම් සංවිධානය ආරම්භ කළ ව්‍යාපෘතියේ පළමු තානාපතිනිය ඇයයි. ඇයට මේ තනතුරු ලැබුණේ පසුගිය වසරේදීය. එය ඇගේ සතුටට කාරණයක් වී ඇත්තේ මේ තනතුර තුලින් ඇය නියෝජනය කරන සුළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට සාධාරණත්වය ඉටු කිරීමට ඇයට කදිම අවස්ථාවක් ලැබී ඇති බැවිනි.

ඊයේ පෙරේදා ඇය සිය කතාව ප්‍රකාශයට පත් කරමින් තව පියවරක් ඉදිරියට තැබුවාය.

‘මේ පොතේ ඉලක්කය වෙන්නේ මට මුහුණපාන්නට සිදුවුණු මේ අප්‍රසන්න, වේදනාකාරී සිදුවීමට ගොදුරුවීමට තවත් කිසිවකුටත් ඉඩ නොතැබීමයි. ‘මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වී ඇති අතලොස්ස අතර ඉදිරියෙන් සිටින නාදියා දැන් කියන්නීය.

‘හැමෝම මං වගේ ඉස්සරහට ඇවිත් මේ විදිහට කතා කරන්නෙ නෑ. එයාලා හරිම අහිංසකයි. ඒ වගේම අසරණයි. මට ඕන කරන්නේ මේ වගේ දූෂණයට ලක්වුණු හැම කාන්තාවකටම සාධාරණය ඉෂ්ඨ කරන්නයි. ඒ ත්‍රස්තවාදීන්ට එරෙහිව ජාත්‍යන්තර නීතිය යටතේ දඬුවම් ලැබෙනවා දකින්නයි. ඒ වනතුරු මගේ සටන අත්හරින්නෙ නෑ.‘ නාදියා මුරාඩ් එසේ කියන්නේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුවය.

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...