සෙවිලි තහඩු සහ ඉදිකිරීම් කර්මාන්තවලට ක්‍රිසොටයිල් ඇස්බැස්ටස්වල ඇති වැදගත්කම | දිනමිණ

සෙවිලි තහඩු සහ ඉදිකිරීම් කර්මාන්තවලට ක්‍රිසොටයිල් ඇස්බැස්ටස්වල ඇති වැදගත්කම

2017 නොවැම්බර් 16, කොළඹ ක්‍රිසොටයිල් සෙවිලි තහඩු සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ මොරටුව විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පුළුල් පරීක්ෂණ දෙකක ප්‍රතිඵල අද දින ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිසොටයිල් තොරතුරු මධ්‍යස්ථානය කටයුතු කළේය. ශ්‍රී ලංකාව තුළ මෙවැනි අධ්‍යයනයන් සිදුකරන ලද ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ සෙවිලි තහඩු නිෂ්පාදනවල ඇති ක්‍රිසොටයිල් ෆයිබර් නිසා ඇතිවන වායු දූෂණය සහ ‘ක්‍රිසොටයිල් ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩුවලට ඇති විකල්ප සම්බන්ධ සංසන්දනාත්මක අධ්‍යයනයක්’ යන මාතෘකා යටතේ ප්‍රකාශයට පත්කර ඇති මෙම පර්යේෂණ වාර්තා, කොළඹ රමාඩා හෝටලයේදී පැවති ජනමාධ්‍ය හමුවකදී නිල වශයෙන් එළිදක්වන ලදී.

මේ අතරින් ප්‍රථම අධ්‍යයනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් සිදුකර ඇති අතර, නිෂ්පාදන පරිසර තත්ත්වයන් මෙන්ම භාවිතා වන පරිසර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, නිෂ්පාදනය සිදුවන කර්මාන්තශාලා, නිවාස ඉදිකිරීම් හා කඩා ඉවත්කිරීම් සිදුවන ස්ථාන සහ ක්‍රිසොටයිල් සෙවිලි තහඩු භාවිතා වන නිවාස යන කාණ්ඩ 3 යටතේ මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

‘මෙම කාණ්ඩ තුනේදීම ක්‍රිසොටයිල් ෆයිබර්වලට නිරාවරණය වීමේ මට්ටම, ජාත්‍යන්තර OSHA (Occupational Safety and Health Administration) සීමාව මෙන්ම PEL (Standard of Permissible Exposure Limit) සීමාව වන ඝන සෙන්ටිමීටරයකට ෆයිබර් 0.1 මට්ටමට පහළින් පවතින බව පෙනී ගියා.” ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන සහ සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එච්. ඩී. එස්. ප්‍රේමසිරි මහතා පැවැසීය.

“ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන සමාගම් 4 ක් ක්‍රිසොටයිල් සෙවිලි තහඩු නිෂ්පාදනය කරනවා. ක්‍රිසොටයිල් ෆයිබර් වාතය හා මුසුවෙමින් සේවකයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම සමාගම් 4 ම ‘ක්‍රිසොටයිල් ෆයිබර් සුරක්ෂිත ලෙස භාවිතා කිරීම’ සම්බන්ධ ක්‍රමවේද භාවිතා කර තිබෙනවා. “ක්‍රිසොටයිල් තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුනිල් අමරවංශ මහතා පැවැසීය.

ක්‍රිසොටයිල් ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු සහ ඒවාට ඇති විකල්ප සම්බන්ධ සංසන්දනාත්මක අධ්‍යයනයක් වන දෙවන අධ්‍යයනය සිදුකරන ලද්දේ මොරටුව විශ්වවිද්‍යාලය මගිනි. මෙහිදී මෙම නිෂ්පාදනවල ශක්තිය හා කල්පැවැත්ම පරීක්ෂා කිරීමේ සම්මත පරීක්ෂණ ක්‍රම හා තාක්ෂණික පරීක්ෂණ ක්‍රම භාවිතා කරමින් මේවායෙහි ඉංජිනේරු විද්‍යාත්මක ලක්ෂණ, භාවිතාව සහ තාක්ෂණික අංග විශ්ලේෂණයට ලක්කරන ලදී.

සිමෙන්ති සහ කොන්ක්‍රීට් සම්බන්ධ විශේෂඥයකු මෙන්ම ක්‍රිසොටයිල් සෙවිලි තහඩුවලට විකල්ප නිර්මාණය කිරීම සම්බන්ධ බලධාරියකුද වන මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය අසෝක පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පර්යේෂණය සිදුකෙරිණි.

‘ක්‍රිසොටයිල් සෙවිලි සහ ඒවාට ඇති විකල්ප වල තත්ත්වයන්ගේ වෙනස්කම් හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වුණා. මෙහිදී අපට පෙනී ගියේ ඇස්බස්ටස් නොවන සෙවිලි තහඩුවල සවිමත් බව ක්‍රිසොටයිල් සෙවිලි තහඩුවලට වඩා දෙගුණයක් පමණ අඩු වන අතර ඒවා වඩාත් ඉක්මනින් මාරු කිරීමට හෝ අලුතින් සවිකිරීමට සිදුවන බවයි. එමෙන්ම ඒවායේ සමස්ත වියදම ක්‍රිසොටයිල් සෙවිලි තහඩුවලට වඩා වැඩියි. තවද ඒවා පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාව සඳහා වැදගත් වන ශක්තිය හා කල්පැවැත්ම අතින්ද පහළින් පවතින බැවින් ඒවා දැනට පවතින ක්‍රිසොටයිල් සෙවිලි තහඩුවලට විකල්පයක් ලෙස භාවිතා කළ නොහැකි බව අපට පෙනී ගියා.’ මහාචාර්ය අසෝක පෙරේරා පැවැසීය. 

නව අදහස දක්වන්න