සෙල්ෆි මාරයා! | දිනමිණ

සෙල්ෆි මාරයා!

සෙල්ෆි මරණ යනුවෙන් යෙදුමක් සමාජගත වී ඇත. හෙට - අනිද්දා වන විට අපේ ශබ්ද‍කෝෂ කාර්යාලයට ද මේ සම්බන්ධයෙන් නිර්වචනයක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. ශබ්දකෝෂ කාර්යාලයේ ශාස්ත්‍රීය විග්‍රහය එන තුරු; අපි මේ යෙදුම පැහැදිලි කරගන්නට වෑයම් කරමු. එක අතෙකින් උක්ත යෙදුමෙහි අර්ථය වන්නේ නූතන සන්නිවේදන තාක්ෂණය මිනිසාට මරණය ළඟාකර ඇති බව ය. තව අතෙකින් මෙය ස්වාභාවික මරණයක් නොව; දිවි නසා ගැනීමක් හැටියට හැඳින්විය හැකි ය. තවත් අතෙකින් මේ සිද්ධිවලින් පෙනීයන්නේ විද්‍යාවේ ජයග්‍රහණ ලබා ගත්තේ වුව මිනිසා තව ම හැඟුම්බර බව ය. වෙනත් වචනයකින් කිවහොත් අඥාන බව ය.

මිනිස් වර්ගයාගේ පොදු ලක්ෂණ ගත් කල ; සෑම කෙනකුම පාහේ වීරයකු වීමට කැමැති ය. අවදානම් සහගත සිද්ධි පසුකොට වීරයකු සේ චරිත නිරූපණයක නියුතු වීමටත් කැමැතියි. අමෙරිකන් ලේඛක හෙමිං වේ දක්වන ලෙස මිනිසාගේ අභ්‍යන්තරික වීරයා සැඟව සිට එකවර එළියට පනී. මේ වීරයා සාධනීය පැත්තක් ස්පර්ශ කළහොත් තත්ත්වය හොඳය. නිශේධනීය පැත්තක් ස්පර්ශ කළහොත් තත්ත්වය භයානක ය. පළමු විග්‍රහය ඉදිරිපත් කළ අර්නස්ට් හෙමිංවේ. ඩබල් බැරල් තුවක්කුවකින් වෙඩි තබාගෙන මළේ ය. ඊට පෙරත් ඔහු දිවිනසා ගැනීමට වෑයම් කළේ ය. වීරයා සංකල්පයේ තරම එයින් වටහාගත හැකි ය.

අප මේ කියන්නට වෑයම් කරන්නේ සෙල්ෆි ගහන්නට ගොස් අපේම තරුණ පරපුර මුහුණ දෙන භයානක අනතුර ගැන ය. මේ සෙල්ෆි ගැහීම යනු තමන්ගේ ම දුරකථනයෙන්; එනම් ජංගම දුරකථනයෙන් තමාගේ ද රුව සහිතව අවදානම් සහගත සිද්ධි වාර්තා කිරීම ය. නැතහොත් වීඩියෝ ගත කිරීම ය. අවදානම් සහගත සෙල්ෆි පින්තූර ගැනීම මෝස්තරයක් බවට පත්ව තිබේ. මේ මෝස්තරය නිසා අනතුරට ලක්වන පිරිස දිනෙන් දින ඉහළ යති. මරණයට පත්වන පිරිස ද ඉහළ යති. කුමන උපදේශන ලබා දුන්න ද එය නවතින බවක් පෙනෙන්නට නැත. සෙල්ෆි ගැනීම යම් - ස්ථානයක තහනම් කරනු ලැබූව ද; එය නැවැත්විය නො හැකි බව පෙනී ගොස් තිබේ.

දුම්රිය මාර්ගයේ අවදානම් ලෙස සෙල්ෆි ගැසීමට ගිය විසිහතර දෙනකු අනතුරට ලක්ව මියගොස් ඇතැ’යි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කියා සිටී. එම සංඛ්‍යා ලේඛන අයත්වන්නේ 2016 වසරට ය. 2017 වසර අවසන් වන විට ඊට වඩා ඉහළ ගිය සංඛ්‍යා ලේඛනයක් දැක ගත හැකි ය. දුම්රිය මාර්ගයේ ගමන් කිරීම ඉඳුරා තහනම් ය. දුම්රිය මාර්ගයේ ගමන් කරන අය අල්ලා දඬුවම් ලබා දුන් කාලයක් ද තිබිණි. අද වන විට දුම්රිය මාර්ගය මහා මාර්ගවල පදිකයන්ගේ තීරුවට සමාන ය. මේ අතර සෙල්ෆි ගහන්නටත් ගිය විට තත්ත්වය තවත් අවුල්වෙයි. කෝච්චිය ඔන්න - මෙන්න තියා දුම්රිය මාර්ගයට පැන සෙල්ෆි ගහන තරුණයෝද සිටිති.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙන අන්දමට අපේ ජනතාව දුම්රිය හා දුම්රිය මාර්ගය බුද්ධිමත් ලෙසින් භාවිත කිරීමට නො දනිති. 2016 දී දුම්රිය අනතුරු 1102 ක් සිදු වී ඇත. ඒවායින් 180 දෙනකු මිය ගොස්; 256 දෙනකු තුවාල ලබා ඇති බව සටහන් වී ඇත. දුම්රියෙන් ඇද වැටීම් පමණක් 76 ක් සිදු වී ඇත. දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට යෑම නිසා තවත් අනතුරු 436ක් සිදු වී තිබේ. හරස් මාර්ගවල දී වෙනත් වාහන දුම්රියේ ගැටී අනතුරු 84ක් ද සිදු වී තිබේ. සියල්ල සමාලෝචන ය කරන විට දකින්නට ලැබෙන්නේ ඉතා නරක තත්ත්වයකි. දියුණු රටවල දුම්රිය අනතුරක් සිදුවන්නේ ඉතා කලාතුරෙකින් ය. අපේ දුම්රිය අනතුරු ගැන විධිමත් සොයා බැලීමක් කළ යුතුව තිබේ.

දුම්රිය හරස් ගේට්ටු ගතහොත්; ඒවා සෙල්ෆි ගහන ජනප්‍රිය ස්ථාන බවට පත්ව තිබේ. ඇතැම් ස්ථානයක ගේට්ටු කැඩී ඇත. තව ස්ථානයක විදුලිය සංඥා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත. ගේට්ටුකරුවන් ඇති තැන්වල තත්ත්වය වඩාත් භයානක ය. සමහර ගේට්ටුකරුවෝ දුම්රිය ගැන නොසලකා තම - තමන්ගේ පෞද්ගලික වැඩ කරමින් සිටිති. සමස්තයක් ලෙස ගත් කල දුම්රිය හරස් මාර්ගවලට ඇති ආරක්ෂාව හා අවධානය අඩු ය. ගේට්ටුකරුවන් තමන්ගේ රාජකාරිය වෙනත් අයට පවරන අවස්ථා ද දැක ගත හැකි ය. ගේට්ටුකරුවන්ගේ පැත්තෙන් බලන විට ඔවුන්ගේ වෘත්තීය සම්බන්ධයෙන් ගැටලු පවතින බව ද පෙනී යයි. මේ සියල්ලට අදාළ වන්දිය ගෙවිය යුත්තේ මහජනයා ද?

දුම්රිය සම්බන්ධ අනතුරු දෙස බලන විට පෙනී යන වැදගත් සාධකයක් වන්නේ ඒවායින් බොහොමයක් නොසැලකිල්ල නිසා සිදුවන බව ය. සෙල්ෆි ගැහීම ඒ අතරින් ප්‍රධාන යැයි කිව හැකි ය. තාවකාලික වින්දනයක් සඳහා ගනු ලබන මේ ඡායාරූප ජීවිතයට කිසිදු අර්ථයක් එකතු කරන්නේ නැත. එහි ඇත්තේ තනිකර මුළාවකි. අපේ තරුණ පරපුර මේ මුළාවෙන් ගළවා ගත යුතු ය. දුම්රියෙන් ඇදවැටීමට හේතුව ද තනිකර නොසැලකිල්ල යැයි කියන්නට පුළුවන. දුම්රිය මැදිරියක කෙතරම් ඉඩ පහසුකම් තිබුණ ද; පා පුවරුවේ ම යන අය සිටිති. දුම්රියෙන් ඇද වැටෙන්නෝ ද පා පුවරුවේ යන්නෝ ය. සමහරු පා - පුවරුවේ රැඳී සිටිමින් වෙනත් ක්‍රියාකාරකම්වල ද යෙදෙති. එය වීරකමක් නොව; මෝඩකමක් ලෙස හැඳින්විය යුතු ය.

කොයි අතින් බැලුව ද ශ්‍රී ලංකාව යනු දිවි නසා ගැනීමට ප්‍රකට රාජ්‍යයෙකි. මෙයින් පෙනී යන වැදගත් කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ අප ජීවිතයක ඇති වටිනාකම හරි හැටි වටහාගෙන නැති බව ය. ආගම් - දර්ශනය අනුව ගත්ත ද, වෙනත් විෂයයකට අනුව ගත්ත ද ජීවිතය හිතා - මතාම අවදානමකට ලක් කිරීම අනුමත කළ නො හැකි ක්‍රියාවකි. මෙලෙස ජීවිතය අවදානමට ලක් කරන ප්‍රධාන අවස්ථාවක් ලෙස අවදානම් සෙල්ෆි ගැනීම පෙන්වා දිය හැකි ය. තරුණයෝ ‍කෝච්චි පාර පමණක් නොව; වෙනත් භයානක ස්ථාන ද මේ සඳහා තෝරා ගනිති. ඔවුන් මරණය පෙනි - පෙනී මොහොතක වින්දනයක් ලබන බව පෙනී යයි. මෙය වීරත්වයක් ලෙස දකින්නෝ කවරහුද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...