යළිත් ඡන්දයක් දුර්වල ආණ්ඩුවක්? | දිනමිණ

යළිත් ඡන්දයක් දුර්වල ආණ්ඩුවක්?

ධම්මික සෙනෙවිරත්න

ඇන්ජලා මර්කෙල් වැටඋඩ 

වසර 12ක් වන ඇන්ජලා මර්කෙල් චාන්සලර් පදවිය දැරූ කාලසීමාව තුළ ලොව බලවත් නායක නායිකාවන් අතර ඉදිරියටම පැමිණීමට තරම් සමත් වූවාය. මැතිවරණයෙන් පසු නිර්මාණය වූ අස්ථාවර ස්වභාවය යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනියට එල්ල කරන්නේ අනර්ථකාරී බලපෑමකි.

ජර්මන් ‍ෆෙඩරල් මැතිවරණයෙන් චාන්සලර් ඇන්ජලා මර්කෙල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගම් පක්ෂයට (CDU) තනිව බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට වරමක් නොලැබිණි. එබැවින් යළිත් වරක් සභාග ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර සංගමය, එහි සහෝදර පක්ෂය වන ක්‍රිස්තියානි සමාජ සංගමය (CSU), ව්‍යාපාර හිතවාදී FDP පක්ෂය හා හරිත පක්ෂය අතර සාකච්ඡා වට ගණනාවක් සිදුවිය. සංක්‍රමණික ප්‍රශ්නය හා බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වීමෙන් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සාකච්ඡා මේසයෙන් නැඟිට යාමත් සමඟ මීළඟ සභාග ආණ්ඩුව පිළිබඳ අපේක්ෂා බිඳවැටී තිබේ. ඒ සමඟ, තුන්වතාවක් චාන්සලර් පදවිය හෙබවූ ඇන්ජලා මර්කෙල්ට සිව්වන වතාවටද එම ධුරය දැරීමට නොහැකිවන තත්ත්වයක් නිර්මාණය වී පවතී. සාකච්ඡා මේසයෙන් ඉවත් වීමට කරුණු පැහැදිලි කරමින් FDP නායක ක්‍රිස්ටියන් ලින්ඩ්නර් කියා සිටියේ, ඊට එක්වූ සිව් පාර්ශවය අතර රට නවීකරණය කිරීම සම්බන්ධයෙන් පොදු දැක්මක් නොවූ බව සහ විශ්වාසය ගොඩනැඟීමක් ද සිදුනොවූ බවය. නරක අන්දමින් ආණ්ඩු කිරීමට වඩා ආණ්ඩු නොකිරීම යහපත් බව ඔහු අවධාරණය කර තිබිණි.

සභාගයේ ප්‍රශ්න

ජර්මනියේ මීළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා වෑයම්කළ මෙම සභාගය ප්‍රකට වූයේ ජැමෙයිකා සන්ධානය වශයෙනි. හේතුව එම පක්ෂවල වර්ණ ජැමෙයිකා ජාතික ධජයේ වර්ණවලට සමානවීමය. ඉකුත් වසර 04 තුළ ජර්මනිය පාලනය කළ සභාගයේ පාර්ශ්වකරුවකු වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය (SPD) මෙවර මර්කෙල්ගේ පක්ෂය සමඟ සන්ධානගත වීමෙන් වැළැකී සිටියේය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක මාටින් ෂූල්ස් ප්‍රකාශ කරන්නේ, මෙවර මහා සභාගය ප්‍රතික්ෂේප කිරීමට ඡන්ද දායකයා කටයුතු කර ඇති බවය. ෂූල්ස්ගේ නායකත්වය යටතේ නව සභාගයක් බිහිකිරීම පිළිබඳ මේ දිනවල අවධානය යොමු වී තිබේ. යළිත් වරක් ප්‍රධාන දේශපාලන පක්ෂ 2 අතර සභාගයක් ගොඩනැඟිණි නම් අන්ත දක්ෂිණාංශික AFD පක්ෂය ෆෙඩරල් පාර්ලිමේන්තුවේ තුන්වැනි ප්‍රධානම පක්ෂය ලෙස විපක්ෂය නියෝජනය කිරීමට ඉඩ තිබිණි.

සංක්‍රමණික හා සරණාගත අර්බුදය ජර්මනියේ මතභේදාත්මක දේශපාලන ප්‍රශ්නයක් බවට පත්ව ඇති අයුරු මෙහිදී මනාව පැහැදිලි වේ. 2015 – 2016 වකවානුව තුළ පමණක් එරටට ඇතුල්කරගත් සංක්‍රමණිකයන් ගණන මිලියන 1.2කි. එලෙස ජර්මනියේ දේශසීමා විවෘත කිරීම වසර 50කට වැඩි ඉතිහාසයේ පළමු වරට මෙවර පාර්ල‍ිමේන්තුවට පිවිස තුන්වැනි බලවේගය බවට ද පත්ව සිටින අන්ත දක්ෂිණාංශික AFD පක්ෂයේ දැඩි විවේචනයට ලක්විය. දේශගුණික විපර්යාස පිළිබඳ මාතෘකාවේදී ද මීළඟ ආණ්ඩුව නිර්මාණය කිරීමට වෑයම් කළ ප්‍රධාන ධාරකාවේ පක්ෂවලට එකඟතාවකට එළැඹීමට නොහැකි විය.

ඇතැම් විචාරකයන්ගේ අදහස වන්නේ මර්කෙල්ගේ නායකත්වය යටතේ නව සභාගය ගොඩනැඟීම අසාර්ථක වීම ඇයගේ පරාජයක් වන නමුත්, රටේ ජයග්‍රහණයක් බවය. එලෙස සන්ධානගත වීමට වෑයම් කළ පක්ෂ අතර ප්‍රධාන කාරණා සම්බන්ධයෙන්වත් පොදු එකඟතාවක් නොවීම රටට අහිතකර බව ඔවුහු පෙන්වා දෙති. ප්‍රතිපත්තිමය වශයෙන් ද එම පක්ෂ අතර විශාල පරස්පරයක් පවතී. එවැනි සභාගයකින් රටට අත්වන සෙතක් නොමැති බව ඔවුන්ගේ අදහසය.

හරිත පක්ෂයේ පරිසරවේදීන් සහ FDP පක්ෂයේ වෙළෙඳ පොළවාදීන් එකම මේසයක සිට සාකච්ඡා කිරීම පවා පරස්පර සහගත බව පෙනෙන්නට තිබිණි. කෙසේවුවද එවැනි සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් එම පක්ෂවලට ජනවරමක් ද ලැබී නොමැති බව එම විචරකයන්ගේ අදහසය.

සුළුතර ආණ්ඩුවක්

උද්ගතව ඇති තත්ත්වය යටතේ ජර්මනියට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ඇත්තේ දෙකකි. එක්කෝ නැවතත් මැතිවරණයකට යා යුතුය. නැතහොත් සුළුතර ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ප්‍රධාන පක්ෂ අතර සභාගයක් බිහිකිරීමේ අපේක්ෂා බිඳවැටීමත් සමඟ ඇන්ජලා මර්කෙල් සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සලකාබලමින් සිටින බව ද ජර්මනියෙන් ලැබෙන වාර්තාවල සඳහන් ය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ජර්මනිය දේශපාලන මෙන්ම ආර්ථික ස්ථාවරත්වයක්ද ගොඩනඟාගනිමින් ලොව බලවත් රාජ්‍යයක් ලෙස පෙරට ඒමට සමත් විය. වසර 12ක් වන ඇන්ජලා මර්කෙල් චාන්සලර් පදවිය දැරූ කාලසීමාව තුළ ඇය ලොව බලවත් නායක නායිකාවන් අතර ඉදිරියටම පැමිණීමට තරම් සමත් වූවාය. මැතිවරණයෙන් පසු නිර්මාණය වූ මෙම අස්ථාවර ස්වභාවය යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනියට එල්ල කරන්නේ අනර්ථකාරී බලපෑමකි. නව සභාගය බිහිකිරීමේ ප්‍රයත්නය බිඳවැටීමත් සමඟ යූරෝවේ අගය පහත වැටිණි.

අර්බුදයෙන් ගොඩඒමට ‍නම් හිටපු යු‍රෝපා පාර්ලිමේන්තු ප්‍රධානියාද වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක මාටින් ෂූල්ස්, නැවතත් ඇන්ජලා මර්කෙල් සමඟ සන්ධානගත විය යුතු බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. මෙහිදී ෂූල්ස්ට පීඩනයක් එල්ලවන බව පැහැදිලි කාරණයකි. කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ ඔහු සහ ජනාධිපති ස්ටෙයින්මෙයර් අතර ද සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. මෙහිදී ෂූල්ස්ට තීරණය කිරීමට සිදුවනු ඇත්තේ තමාගේ නායකත්වයෙන් නව සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රයත්නය පෙරට ගෙනයනවා ද නැතිනම් පෙර පරිදි මර්කෙල්ගේ සභාගයට එක්වනවාද යන්නය.

ජනපතිගේ ඉල්ලිම

මැතිවරණයේදී පසුබෑමට ලක්වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගැනීමට ෂූල්ස් ගත් තීරණයට ඔහුගේ පක්ෂ‍යේම මන්ත්‍රීවරු 30 දෙනකු පමණ එරෙහි විය. එම මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මෙහිදී සිය නායකයා නම්‍යශීලී විය යුතු බවයි. කෙසේ වුවද ෂූල්ස් අවධානය කරන්නේ රටේ නිර්මාණයවී ඇති වත්මන් අර්බුදකාරී වාතාවරණයට තම පක්ෂය වගකිවයුතු නැති බවය. ඉදිරි සති කිහිපය තුළ රට වෙනුවෙන් ගත හැකි හොඳම විසැඳුමක් සොයාගැනීමට හැකිවන බව තමාට හොඳටම විශ්වාස යැයි ඔහු කියා සිටී.

ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මෙයර්, යළි සාකච්ඡා අරඹන ලෙස ජැමෙයිකා සන්ධානයේ නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. මේ පිළිබඳ එම පක්ෂ නායකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වමින් සිටින බව ද සඳහන් වේ. ‍තම ස්ථාවරයන් පිළිබඳ යළි සමාලෝචනය කරන ලෙස හා ආණ්ඩුවක් බිහිකිරීම ගැන කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා ඇත. ජර්මනියේ හිටපු මුදල් අමාත්‍ය වුල්ෆ්ගැන්ග් ස්තෝබල් ද සියලු පක්ෂවලින් ඉල්ලා සිටින්නේ, මෙම අර්බුදකාරී අවස්ථාවේ ධනාත්මක භූමිකාවක් ඉටුකරන ලෙසය. යුරෝපය සහ සෙසු ලෝකය මෙහිදී ජර්මනිය දෙස බලා සිටින බව අමතක නොකළ යුතු යැයි ඔහු පවසා තිබිණි. ස්තෝබල් ජර්මන් පාර්ලිමේන්තුවේ ද ප්‍රධානියාය.

වසර 2005 පටන් ජර්මනියේ බිහිවූ සභාග ආණ්ඩු තුනටම නායකත්වය දුන්නේ චාන්සලර් ඇන්ජලා මර්කෙල්ය. මේ වනවිට ජර්මනිය සිතාබලමින් සිටින්නේ සිව්වැනි සභාගය ද ඇයගේ නායකත්වයෙන් ගොඩනඟනවා ද යන කාරණයයි.

දේශපාලන පිටියේ ප්‍රපාතයක් හරහා කඹයක් මනින් ගමන් කිරීමට සිදුව ඇති ඇන්ජලා මර්කෙල්ට මෙහිදී විකල්ප කිහිපයක් අනුගමනය කිරීමට හැකියාව පවතී. එහෙත් ඒ කිසිවක් ප්‍රශස්ත ඒවා යැයි කිව නොහැකිය. කෙසේ වුවද, එම විකල්ප අතර එකක් නම් සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමය. එහෙත්; ඇය පවසා ඇත්තේ වඩා සුදුසු විකල්පය වනු ඇත්තේ නැවත මැතිවරණයකට යාම බවය.

මැතිවරණය පැවැත්වුණේ සැප්තැම්බර් 24 වැනිදාය. නැවත මැතිවරණයකට යාම ගැන ඉන් මාස 3ක් ගතවීමටත් පෙර සලකා බැලීමට සිදුව ඇත. මර්කෙල් හමුවේ ඇති තවත් විකල්පයක් තමා ප්‍රධාන පක්ෂ හවුල්කරගනිමින් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට තවදුරටත් වෑයම් කිරීමය.

අැන්ජලාගේ ජනප්‍රියත්වය

ජනර්මන් ව්‍යවස්ථාවට අනුව චාන්සලර් පදවිය සුදුස්සකු සඳහා පත් කිරීමේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ (බුස්ඩෙස්ටාග්) අනුමැතිය අවශ්‍යය. එහිදී ඡන්ද විමසීමක් වට 3ක් දක්වා පැවැත්වීමට හැකියාව තිබේ. ඉන් පසුව ද ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැඟීමට යම් පාර්ශ්වයක් අසමත්වන්නේ නම් නැවත මැතිවරණයකට යා යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කරනු ඇත. ඉදිරි සති කිහිපය තුළ මේ ක්‍රියාදාමය දැකගැනීමට බොහෝදුරට හැකිවනු ඇත.

ඇන්ජලා මර්කෙල්ගේ පාලනය සම්බන්ධයෙන් ජර්මනිය යම් සන්ධිස්ථානයකට එළැඹ සිටින බව පෙනෙන්නට තිබේ. ඇතැම් විචාරකයන්ගේ අදහස මර්කෙල් යුගය නිමාවන ලකුණු පහළවී ඇති බවය. එය සෙමෙන් වුවද සිදුවෙමින් ඇති බව ඔවුන්ගේ අදහසය. ඇන්ජලා මර්කෙල් තවමත් ජර්මනියේ ජනප්‍රිය ය. ජර්මනියේ පමණක් නොව ගෝලීය දේශපාලනයේද තවමත් ඇය බලපෑම් කළ හැකි චරිතයකි. එහෙත්; සිය සිව්වැනි ධුර කාලය ඇරැඹීමට ඇයට හැකිවේද යන්න නම් අවිනිශ්චිතය.

නව අදහස දක්වන්න