වාද්දුව මාදැල් කර්මාන්තයේ හිල් | දිනමිණ

වාද්දුව මාදැල් කර්මාන්තයේ හිල්

අ‍පේ රටේ ආර්ථිකයේ ධීවර කර්මාන්තයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. රට වටා ඇති මහ මුහුද මේ කර්මාන්තයේ පෝෂණයට ලැබුණු මහඟු සම්පතකි. උතුරු, දකුණු, නැගෙනහිර බස්නාහිර, වශයෙන් රට වටා විශාල පිරිසක් ධීවර කර්මාන්තයේ නියැළෙමින් දිවි සරු කර ගනිති; රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකත්වයක් සපයති.

මේ අතර ධීවර කර්මාන්තයට සම්බන්ධ වන්නා වූ තවත් කුඩා කුඩා කර්මාන්තද පවතී. ඒවා ජීවනෝපාය කර ගන්නා පිරිසක් ද සිටිති. මා දැල් කර්මාන්තය මේ අතරින් විශේෂ වූවක් වන අතර විශාල පිරිසකගේ සහභාගීත්වයක් අවශ්‍ය සාමුහික කටයුත්තකි. සාර්ථක මාදැල් කර්මාන්තය සඳහා එකිනෙකාගේ සහයෝගය අවශ්‍යම දෙයක් වේ.

දිවා රෑ නොබලා, අව්ව, වැස්ස නොබලා ඔවුන් මේ සඳහා කරන කැප කිරීම් අප්‍රමාණය. ඔවුන්ගේ මේ උත්සාහයේ අවසානයේ බලාපොරොත්තුව වන්නේ කරදරයක්, බාධාවකින් තොරව මාදැල එළා වැඩි මසුන් ප්‍රමාණයක් අල්ලා ගැනීමය. නමුත් කිසියම් හේතුවක් නිසා ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වන්නේ නම් එය ඛේදනීය තත්ත්වයකි. මෙවන් ගැටලුවකට මුහුණ දී සිටින පිරිසක් පිළිබඳව සොයා බලන්නට පසුගිය දිනක අපට අවස්ථාව ලැබිණි.

දිවයිනේ වෙරළබඩ ප්‍රදේශයන්හි කෙරෙන මාදැල් කර්මාන්ත අතර බස්නාහිර පළාතේ ඇති වාද්දුව මාදැල් කර්මාන්ත පුරය වෙත අප යන විටද සංචාරක වෙරළ තීරයට ආසන්නව පිහිටා තිබෙන වාද්දුව මාදැල් වැල්ල ඉතා කලබලකාරී ස්වරූපයක් ගෙන තිබුණි. ඒ වෙන කිසිවක් නිසා නොව එදින කණ්ඩායම් දෙකක් ‘මාදැල වටකොට තිබූ බැවිනි.

ධීවර සංස්ථාව යටතේ ලියාපදිංචිව තිබෙන ‘මාදැල්’ පහෙන් දෙකක් පමණක් එදින ක්‍රියාත්මකව තිබූ අතර ඉන් එක් කණ්ඩායමක හිමිකරු නිහාල් පෙරේරා මහතා ය. අනිත් කණ්ඩායමේ අයිතිය ඩී. ආරියදාස මහතාට හිමිවිය. ඔවුන්ගෙන් මෙම කර්මාන්තය පිළිබඳ තොරතුරු දැනගන්නට අප උත්සාහ කළෙමු.

මොවුන් දෙදෙනාගේම කණ්ඩායම් දෙකෙහිම එකසිය පනහකට ආසන්න පිරිසක් කර්මාන්තයේ නියැළී සිටිය බව දැකගත හැකිවිය. එහි හිමිකරුවන් මෙන්ම අනිකුත් පිරිස් දැඩි කාර්ය බහුල මොහොතක නිරත වුවද අප සමඟ කතාබස් කර අප ගිය කාර්යයට සහයෝගය දීමටද අමතක නොකළ හ. නිහාල් පෙරේරා මහතා මුලින්ම අප සමඟ කතාවට සම්බන්ධ විය.

“මම මේ රස්සාව පටන් ගත්තෙ 1984 අවුරුද්දෙ ඉඳලයි. ඊට කලින් මගේ තාත්තා මේ රස්සාව කළා. ඊටත් කලින් මගේ සීයා කළා. පරම්පරාවෙන් පැවත එන රස්සාවක් තමයි මේ. ‍මේ වන විට ම ගේ දැල සමඟ පනහකට අධික පිරිසක් සම්බන්ධ වෙලා රැකියාව කරනවා. පවුල් වශයෙන් ගත්තම හතළිහක් විතර ජීව ත් කරවන්නෙ මේ දැල් කර්මාන්තය. ඒත් දැන් අපට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.”

“අපි අවුරුදු ගණනක් මේ වැල්ලෙ මාදැල් කර්මාන්තය කළ අය. ඒත් මහත්තයෝ මේ රස්සාවෙ ඉදිරිය ගැන නම් හරිම අවිනිශ්චිතයි.”

“ඇයි එහෙම කියන්නෙ. මොකක්ද ඉස්සරහට මේ රස්සාව කරගෙන යන්න තියෙන බාධාව?” මම විමසුවෙමි.

“අපේ වැල්ලට දැන් අවුරුදු දහතුනක දහහතරකට ඉස්සර බත්තලක් ගෙනල්ල දැම්මා. දැන් ඒක අපිට හරිම බාධාවක් වෙලා තියෙන්නෙ. නිදහසේ බයක් සැකක් නැතුව මාදැල් දාන්න බැහැ. ඒක කොහොමහරි මෙතනින් අයින් කර දෙනවනම් අපිට කරදරයක් නැතුව මේ රස්සාව කරගන්න පුළුවන්.”

මොකක්ද මේ ‘බත්තල’ මට ද මෙය ප්‍රහේළිකාවක් වුණා. ඒ නිසාම මම ඒ ගැන තොරතුරු සොයා බැලුවෙමි. දැනගන්නට ලැබුණ තොරුතුරු අනුව මීට වසර පහළොවකට ඉහතදී චීන වරාය තැනීම සඳහා කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිට කොළඹට විශාල කළුගල් ප්‍රවාහනය කළ විශාල යාත්‍රාව ‘බත්තල’ නමින් හඳුන්වයි. ගල් ප්‍රවාහනය අවසන් වූ පසු එම යාත්‍රාව යකඩ සඳහා විකිණීමට ටෙන්ඩර් දමා ඇති අතර ටෙන්ඩරය මඟින් එක් පුද්ගලයකු මෙය මිලට ගෙන තිබේ. ඔහු එම ‘බත්තල’ ඇදගෙනවිත් වාද්දුව මෙම වෙරළ තීරයේ නවනා යකඩ කැපී‍මේ කාර්ය සිදුකර ඇත. ඒ පිළිබඳ ඩී. ආරියදාස මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“වාද්දුව මාදැල් වැල්ලට තිබෙන ලොකුම බාධකය තමයි මේ බත්තල. 2003 සැප්තැම්බර් 19 වෙනිදා තමයි මේ බත්තල ගෙනත් දැම්මේ. ඒකාලෙ රුපියල් 50,000ක මුදලට තමයි මේක වෙන‍්දේසියෙන් අරන් තිබුණෙ යකඩ කපල විකුණන්න තමයි මේක ගෙනාවෙ. ඒ වුණාට ඒගොල්ලො හිතපු තරම් පහසු වුණේ නැහැ. බත්තලේ යට කොටස වැලි වලින් වැහුණා. ඒ නිසා උඩ කොටස යකඩවලට කපල ගන්නත් තවමත් විශාල ප්‍රමාණයක් ඉතිරිවෙලා ති‍බෙනවා.”

ඉතිරිව තිබෙන බත්තල මඟින් ඔවුන්ගේ කර්මාන්තයට සිදුවන බාධාව කුමක්දැයි මම ඔහුගෙන් ඇසීමි.

“මේ බත්තල තියෙන්නෙ හරි යටම අපි දැල් කර්මාන්තය කරන සීමාවෙ මැදමයි. දෙපැත්තෙන් මෙහා නැහැ. දැල් දැම්මත් මේ බත්තලේ පැටලිලා දැල් ඉරෙනවා. දැන් අපට වෙනද වගේ දැල් දමන්න බැහැ. පුංචි ඉඩ ප්‍රමාණයක් තමයි තියෙන්නෙ.”

ආරියදාස මහතා එසේ

පැවසූ විට

“මේ සම්බන්ධව වගකිව යුතු ආයතනවලට දැනුම් දීමක් කළේ නැද්ද?” යි මම ඔහුගෙන් ඇසුවෙමි.

“එවකට තිබුණ රජයටත් දැනුම් දුන්නා. ධීවර සංස්ථාවටත් දැනුම් දුන්නා. වගකිවයුතු හැමටම දැනුම් දුන්නා. ඒත් වැඩක් වුණේ නැහැ මහත්තයෝ. මොකද බත්තල ගත්ත කෙනාට දේශපාලන රැකවරණය තිබුණා. ඒ නිසා මේ බත්තල මෙතනින් ඉවත් කරන්න අදාළ නිලධාරීන්ට වුවමනාව තිබුණත් ක්‍රියාත්මකවීම යටපත් වුණා. අන්තිමට ඒ හැම දේකින්ම අසරණ වුණේ මේ මාදැල් රස්සාව කරන අපියි.”

ආරියදාස මහතා ඉතා කනස්සල්ලෙන් ප්‍රකාශ කරද්දී මාදැල් කර්මාන්තයේ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ‘මණ්ඩාඩි’ ලෙස ක්‍රියා කරන පුද්ගලයන් දෙදෙනෙකු අපට හමු විය. ඉන් එක් අයෙක් මෙරිල් ප්‍රනාන්දු නම් වූ අතර අනික් පුද්ගලයා සුමතිපාල ප්‍රනාන්දු විය. මාදැල් කර්මාන්තයේ ඔවුන් සතු කාර්ය කුමක්දැයි මම විමසා බැලුවෙමි.

“අපේ රස්සාවේ අපි හඳුන්වන්නේ ‘මණ්ඩඩි’ කියල. එක දැල් කණ්ඩායමකට එක් මණ්ඩඩියෙක් ඉන්නව. මණ්ඩාඩියගෙ රැකියාව තමයි දැල් කණ්ඩායම මෙහෙයවීම. ඒකට හොඳ පලපුරුද්දක් තියෙන්න ඕන. ඒ වගේම කණ්ඩායමෙත් දැල් ආම්පන්නවලත් වගකීම භාර ගන්නත් ඕන.”

ඔවුන් පවසන පරිදි දැල වට කරනවද? ඒ සඳහා මුහුදේ තත්ත්වය හොඳයිද? ප්‍රමාණවත් පරිදි මසුන් ඉන්නවද? යන කරුණුවලට අමතරව මුහුදේ දියවැල් ගම න් කරන ආකාරය හා දිශාව ගැනත් හුළං හමන දිශාව ගැනත් කොපමණ දුරකින් දැල දැමිය යුතුද යන්නත් එම ප්‍රදේශයේ ගැඹුර ගැනත් සහභාගීවන පිරිස හා ඔවුන්ගේ හැකියාව ගැනත් ‘මණ්ඩඩි’ රස්සාවට අයත් අතර මාදැල් වැල්ල පුරා ඔවුන්ගේ අණසක පැතිරෙනු ඇත.

මාදැල්වැල්ලේ වැඩිපුර අද්දැකීම් ලබන පිරිස් අතර මණ්ඩඩි භූමිකාවක විශේෂිත බැවින් ඔවුන්ගෙන් තවත් තොරතුරු දැන ගැනීමට මට රිසිවිය.

“අපේ මාදැල් ජීවිතේ ගෙවීයන දුක්ඛිතම කාල සීමා තමයි මහත්තයෝ මේ කාළ සීමාව, බත්තල මේ වෙරළට ගෙනත් දාපු දවසේ ඉඳල අපට නිදහසේ රස්සාව කරගන්න බැහැ. මේ අවුරුදු ගානට අපේ දැල් කොච්චර කැඩිල ගියාද? අපට මොන තරම් පාඩු වුණාද? මූදේ මාළු ඉන්නවා. ඒත් වටකරන්න බැහැ. දැල් බත්තලේ පැටලිලා කැඩිල යනවා. ඒකෙන් මාළු පිටවෙනවා. මේ නිසා අපි ලොකු අර්බුදයක ඉන්නෙ. කොහොමහරි මේ බත්තල මෙතනින් අයින් කරල දෙන්න කියල තමයි අපි බලධාරීන්ට කියන්නෙ.”

ඔවුන් නඟන දුක් අ‍ඳෝනා කොතරම්ද? ඔවුන්ගේ පීඩිත හැඟීම් කොතරම්ද ඒ සියල්ල ඉවසා ජීවත් වීමට, තිබෙන කුඩා ඉඩෙහි මහ මුහුදත් සමඟ පොර බදති. ඔවුන් විඳින දුක අපට දැනුන නිසාම මා දැල් කර්මාන්තයට හැකි පරිදි උපකාර කරන වාද්දුව ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දයා පෙරේරා මහතා හමුවීමට ගියෙමි. ඔහු මේ කර්මාන්තය හා එහි නියැළෙන්නන් සමඟ බොහෝ සමීපව කටයුතු කරන්නකු නිසා දයා පෙරේරා මහතාගෙන් වාද්දුව මැදැල් කර්මාන්තයට අත්ව තිබෙන ඉරණම ගැන ප්‍රශ්න කළෙමි.

“මමත් මේ ප්‍රදේශයේ කෙනෙක් විදියට මේ මාදැල් කර්මාන්තය කරන පුද්ගලයන්ගේ ගැටලුව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නෙ. මේ මිනිස්සු ඉල්ලන්නෙ ඔය කියන බත්තල ඉවත් කරල දෙන්න කියලයි. මේ වෙරළ සීමාවෙ ලියාපදිංචි මාදැල් පහක් තිබෙනවා. ඊට අමතර තව පොඩි දැල් කණ්ඩායම් කීපයක්ම ඉන්නවා. මේ බත්තල නිසා මේ උදවිය ඉතා අසීරුතාවයකට පත්වෙලයි ඉන්නෙ.” දයා පෙරේරා මහතාද වාද්දුව මාදැල් කාර්මිකයෝ පත්ව තිබෙන අසීරුතාව ගැන පැහැදිලි කළේය. මේ පිළිබඳ ඔහුට යමක් කළ හැකි නේදැයි මා විමසුවෙමි.

මම උපරිම උත්සාහ ගත්තා මේ මාදැල් වරායේ ගැටලුව නිරාකරණය කරන්න. ඒත් ඒක එතරම් සාර්ථක වුණේ නැහැ. මේ වෙරළේ මාදැල් රස්සාව කරන සියලු දෙනාම මම පුද්ගලිකව හඳුනනවා. වසර ගණනක් මේ පවුල් ‍දෙතුන් සිය කළේ මේ රස්සාව. මේ අය ජීවත් වුණේ මේ රස්සාවෙන්. ඇත්තටම මේ බත්තල ප්‍රශ්නය නිසා මේ උදවිය ඉතාම අසීරු තත්ත්වයකට පත් වෙලයි ඉන්නෙ. මම ඒක ධීවර සංස්ථාවටත් දන්වලා තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ ගැටලුව විෂය භාර ඇමැතිතුමාටත් අවබෝධකර දීල වාද්දුව මාදැල් කර්මාන්තයේ නියැලී ඉන්න පිරිසට සහනයක් සලසන්න.”

බත්තල නිසා ඇතිවී තිබෙන ගැටලුව නිරාකරණය කිරීමට දයා පෙරේරා මහතා විශාල ප්‍රයත්නයක් දැරූ බව අප හා කතා බහ කළ මාදැල් ධීවරයෝ පැවසූහ . ධීවර සංස්ථාව මේ ප්‍රශ්නය ගැන අනුගමනය කරන්නේ අමුතුම පිළි‍වෙතකි. ධීවරයන් පවසන ආකාරයට ධීවර සංස්ථාව පවසන්නේ බත්තල වාද්දුව වෙරළෙන් ඉවත් කිරීමට ඔවුන්ට නොහැකි බවය. ඒ සඳහා ධීවර ඇමැතිතුමා හමුවී විසඳුමක් ලබාගන්නා ලෙසයි. ධීවර සංස්ථාව මේ ගැටලුව විසඳීම සඳහා කඹඇදිල්ලක නිරතවන බව මාදැල් ධීවරයෝ පවසති. වාද්දුව මාදැල් වෙරළට ගොඩබස්වා යකඩ කැපීමෙන් ඉතිරිව ඇති බත්තල මේ වන විට අඩක් වැලිවලින් වැසී ඇති අතර ඉතිරි කොටස් තවමත් ජලයෙන් යටවී පවති. තව නොබෝ දිනකින් මේ බත්තලේ කැබලි කැඩී ගොස් මුළු වෙරළ පුරාම විසිරී යනු ඇති බවත් එමගින් මාදැල් දමන ප්‍රදේශයම ඇහිරී යන බවත්, එවිට මේ ආකාරයෙන් හෝ මාදැල් වැටලීම සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බවත් එහි ධීවරයෝ ප්‍රකාශ කරති. මොවුන් සිතන දේ සත්‍යයක් බව අපටද වැටහුණි. තත්ත්වය එසේ වුවහොත් වාද්දුව මාදැල් ධීවර වරාය සම්පූර්ණයෙන්ම අක්‍රීය වනු ඇත. එවිට එයින් ජීවත්වන පවුල් 300ක් පමණ දැඩි අසරණභාවයට පත්වීම වැළැක්විය නොහැකිවේ.

මාදැල් නිෂ්පාදනයද සුළුපටු කාර්යයක් නොවන බව වැටහුනේ එම කර්තව්‍ය සිදුකරන සෝමදාස පෙරේරා මහතා සමඟ කතාබහ කිරීමෙනි. මේ ඔහුගේ අදහසය.

“මේ ප්‍රදේශයේ පවත්වාගෙන යන මාදැල් නිර්මාණය කරන්නෙ මමයි. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මම දන්නවා දැලක් හදන්න යන වියදම කොච්චරද කියල. ලක්ෂ 6ක් 7ක් විතර යනවා. ඒත් එච්චර වියදම් කරල හදන දැල් මේ බත්තල නිසා විනාශ වෙනවා. ඒක දරාගන්න අමාරුයි. දැලක් අලුත්වැඩියා කරන්නත් විශාල මුදලක් යනවා. අනිත් එක ඒකට ගතවන කාලයක් වැඩියි. දැල් වටකරන කාලෙදී දැලක් කැඩුණොත් ඒවාරෙටම ඒ දැලෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ. එහෙම වුණාම ඒ දැලත් එක්ක වැඩ කරන පනහක් හැටක් විතර පිරිසකට ආදායමක් ලබන්න බැරි වෙනවා.”

සෝමදාස මහතාද බත්තල මඟින් සිදුවන හානිය එලෙස ප්‍රකාශ කරද්දී මේ හානිය අවම කර ගැනීමට කිසියම් උපක්‍රමයක් කළේදැයි මා විමසුවෙමි.

“මීට වසර දහ හතරකට පෙර මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මාදැල් දිගින් කිලෝමීටර් එකහමාරක් දෙකක් පමණ තිබුණා. ඒ කාලෙ දැනට හසුවන මාළු ප්‍රමාණයත් වැඩියි. ඒත් දැන් හදන දැල් එතරම් දිග නැහැ. උපරිම කිලෝමීටරයක් විතර තමයි. එතරම් දිගින් අඩු කරලත් මේ බත්තලේ පැටලෙනවා. මීට වඩා දැල කෙටි කරන්නත් බැහැ. එහෙම වුණොත් වැඩක් නෑ. දැනටත් මාළු ඉතා අඩුවෙන් අහුවෙන්නෙ. මොකද මාළු ඉන්න ප්‍රදේශයට දැල එලුවොත් බත්තලේ පටලැවෙනවා. දැනට දැල එලන හරියෙ මාළු ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේ බත්තල ‍මෙතනින් අයින් කරල දෙනවනම් අපට සුපුරුදු විදියට වැඩකරන්න පුළුවන් වේවි.”

වාද්දුව මාදැල් වැල්ලේ සියලු දෙනාගේම ඉල්ලීම දිරාපත් වෙමින් වෙරළේ ගිලා බැස තිබෙන බත්තල ඉවත්කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙසයි. අවසානයේදී ඔවුන් මෙලෙසද ප්‍රකාශ කළහ.

“මහත්ත‍යෝ දිනමිණ පත්තරේවත් අපේ මේ ප්‍රශ්නය ලියන්න. ඒක දැකලවත් වගකිවයුතු අය අපට සහනයක් සළසාවිනේ...”

ජනපතිතුමනි! ධීවර අමාත්‍යතුමනි! ‍වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිවයුත්තනි, වාද්දුව වෙරළ තීරයේ අතහැර දමා තිබෙන අබලන් වූ බත්තල ඉවත් කරදී වසර 14ක් පුරා බ ත්තල නිසා බැට කන වාද්දුව අහිංසක ධීවර ජනතාවට පිහිට වන්න. එය ඔවුන්ට පමණක් නොව සිදුවෙමින් පවතින පරිසර හානියටද පිළියමකි.

වි‍ශේෂ ස්තුතිය

වාද්දුව තල්පිටිය- සැන්ඩා මහතාට

නිශාන් ‍මෙන්ඩිස්
ඡායාරූප එන්. එස්. කේ. ශ්‍රීකාන්ත 

නව අදහස දක්වන්න