හදිසි ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන දෙන්න රු.මි. 38000ක් වියදම් කළා | දිනමිණ

හදිසි ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන දෙන්න රු.මි. 38000ක් වියදම් කළා

රටේ ඇතැම් ප්‍රදේශයන්හි දැඩි නියඟයක් පවතින අතර හදිසි ආපදාවන්ට ලක්වූ ජනතාවට සහනාධාර ලබාදීම සඳහා පමණක් රජය මේ වසරේදි රුපියල් මිලියන 38000 ක් වියදම් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මෙවැනි වියදම් සිදු කරමින් ආණ්ඩුව සාර්ථකව ඉදිරියට ගෙන යන බවත් පිරිසිදු රජයක් විදියට ඉදිරියට ගෙනයාමට ජනාධිපති මෛත්‍රීපාල මහතා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (23) ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක ලැයිස්තුවල සියයට 90 ක වැඩ කටයුතු අවසන්. එක් කොට්ඨාසයකට අපේක්ෂකයින් බොහොමයක් ඉදිරිපත්ව සිටිනවා. ඔවුන් තෝරා ගැනීම තමයි අපට ගැටලුවක්ව පවතින්නේ. එක් කොට්ඨාසයකට අටක් දහයක් ඉදිරිපත් වෙනවා. මමත් මැතිවරණ ගණනාවක් මෙහෙයවා තිබෙනවා. කවදාවත් නැති තරම් කලින්ම අපට අපේක්ෂකයින් උනන්දුවෙන් ඉදිරිපත් වීම මෙවර සිදුව තිබෙනවා. මැතිවරණය කොයි අවස්ථාවේ හෝ තබන බව දන්නා නිසා අපට පහසුවෙන්ම මැතිවරණයට සූදානම් වෙන්න හැකියාව ලැබී තිබෙනවා. පිරිසිදු පක්ෂයක් ලෙස ගොඩනැංවීම සඳහා ජනාධිපතිවරයා පියවර ගන්නවා. ජනතා පක්ෂයක් විදියට අපේ පක්ෂය පවතිනවා. පිරිසිදු රජයක් විදියට ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. බලයක් පවතින රජයක් කවදාවත් මේ වගේ පරීක්ෂණ පැවැත්වීම සිදු නොකර ඇති බව පක්ෂයේ සාමාජිකයින් නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනවා. එය ලෝකයටම ආදර්ශයක්. රජයේ වැරදි අඩුපාඩු සොයා බලමින් පිරිසිදු රජයක් ගොඩනැංවීමට අපි කටයුතු කරනවා.

ණය, සංවර්ධනය, බඩු මිල ගැන බොහෝදෙනා ප්‍රශ්න කරනවා. විශාල නියඟයකට අපි මේ වෙනකොටත් මුහුණ දෙනවා. වසර එක හමාරක් පුරා එය පවතිනවා. ඒ නිසා මෙරට සහල් නිෂ්පාදනය ඇතුළු ගොවි කටයුතු අඩාල වෙලා. හම්බන්තොට ජනතාවට මේ වන විට බොන්න ජලය නැහැ. ප්‍රමාණවත් තරම් වැසි නැහැ. ජලාශවල ධාරිතාව සියයට පනහක්වත් පිරී නැහැ. අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර ප්‍රදේශවල වගාකරුවන්ට ජලය ලබාදීමට ක්‍රමයක් නැහැ. මේ තත්ත්වය අමතක කරලා තමයි ගොඩක් අය කතා කරන්නේ. ජනාධිපති රජරටින්, සහල් පිටරටින් කියලා ඇතැමුන් චෝදනා කරනවා. හාල් පිටරටින් ගේන්නේ ඇයි කියලා මේ කියන අය දන්නේ නැහැ. රටේ සහල් නිෂ්පාදනය අඩකින් පහත වැටිලා. නියඟය ඊට හේතු වෙලා. රජය ආපදාවලට සහන ලබාදීම සිදු කරනවා. රුපියල් මිලියන 38,000 ක් සහන ලබාදීමට මේ වසරේදි රජය වියදම් කර තිබෙනවා. මං පසුගිය ආණ්ඩුවේ ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෙස වසර පහක් සිටියා. ඒ වසර පහේදි මේ මුදලින් හතරෙන් එකක්වත් සහනාධාර ලබාදීමට රජය වියදම් කෙළේ නැහැ. රටේ ආර්ථිකයට එකතු වීමට තිබෙන විශාල ආදායමක් මෙමඟින් අහිමි වෙනවා. මෙවැනි තත්ත්වයක් මධ්‍යයේ තමයි රට ඉදිරියට යන්නේ.

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය-

ශ්‍රීලනිපය විදියට අපි එළැඹෙන පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිසේත් සම්බන්ධයක් නැහැ. සීමානීර්ණය, මැතිවරණ ගැටලු තමයි මැතිවරණය කල් දැමීමට හේතු වී තිබෙන්නේ. ගමට හොඳ මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීමට මෙවර මැතිවරණ ක්‍රමයෙන් හැකිවෙනවා. පළාත් පාලන මැතිවරණයේදි මෙවර සියයට 25 ක් කාන්තා නියෝජනයට අවස්ථාව ලැබෙනවා. දක්ෂ කාන්තාවන් සිටිනවා. ඔවුන් ඉදිරිපත්ව සිටිනවා. ඉදිරියේදි දේශපාලනය තුළ ලොකු වෙනසක් මෙමඟින් සිදු වේවි. මෙවර මැතිවරණයෙන් කාන්තාවන් 1500 ක් 2000 ක් විතර පත්වේවි. ශ්‍රීලනිපයේ කාන්තා පෙරමුණ විදියට පත්වන මන්ත්‍රීවරියන් වෙත දේශපාලන පුහුණුවක් ලබාදෙනවා. යහපත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම එමඟින් අරමුණු කරනවා.

දේශපාලනය පිරිසිදු තැනකට ගෙන ඒමට කාන්තාවට විශාල කාර්යභාරයක් කළ හැකියි. අපේ පක්ෂය විදියට කාන්තාවන් 10000 ක් පමණ එක්රැස් කර කාන්තා සම්මේලනයක් ඉදිරියේදි පැවැත්විමට කටයුතු කරනවා. රට පුරා කාන්තා සංවිධාන මැතිවරණ කොට්ඨාස සියයට 75 ක පමණ මේ වන විට හැදිලා අවසන්. ඉතාම සාර්ථක කාන්තා සම්මේලනය අපි මේ වන විටත් පවත්වනවා. පක්ෂයේ ශක්තිය රැක ගැනීම ගැනත් අපි කාන්තාවන් දැනුවත් කරනවා. 

සන්ධ්‍යා කරුණාරත්න සහ නිමාෂා සඳරුවනි

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...