සහල්-පරිප්පු-පොල් සහන මිලක් නියම කිරීමට තීරණය කළා | දිනමිණ

සහල්-පරිප්පු-පොල් සහන මිලක් නියම කිරීමට තීරණය කළා

අත්‍යවශ්‍ය භාණ්ඩ වන සහල්, පරිප්පු, පොල් සඳහා පාලන මිලක් නියම කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ලබන සතියේදි කැබිනට් මණ්ඩලයට එම තීරණය ඉදිරිපත් කරන බවත් මේ භාණ්ඩ තුනට පාලන මිලක් නියම කිරීමෙන් පසුව පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70 ක් ද, පරිප්පු කිලෝග්රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 130 ක් හෝ 140 ක් ද, සුදු කැකුළු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 65 ක් ද, නාඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 74 ක් ද, සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 78 ක් ද ලෙස නියම කරන බවත් ඇමැතිවරයා දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (23) පැවැසුවේය.

දේශීය සහල්වලට වැඩි ඉල්ලුමක් පැවැතීම හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කරන සහල්වලට මෙරට ලේබල් අලවා අලෙවි කිරීමේ කූඨ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ජීවන වියදම් කමිටුවට වෙත ලැබී ඇතැයි ද ඇමැතිවරයා හෙළි කළේය.

සහල් මෝල් හිමියන්ගෙන් වැඩි ඉල්ලුමක් ඉන්දියාවෙන් ගෙන්වන සහල්වලට පවතින බවට සහල් ආනයනකරුවන් ප්‍රකාශ කරන බවත් ආනයනය කරන සහල් අඩු මිලට මිලදී ගෙන දේශීයව ලේබල් කළ අසුරණයන්හි දමා වැඩි මිලට අලෙවි කරනුයේ දේශීය සහල් බව අඟවමින් බවත් ඇමැතිවරයා අනාවරණය කළේය.

පසුගිය වසරවලට සාපේක්ෂව පොල් අස්වැන්නෙහි අඩු වීමක් නොමැති බවට ජීවන වියදම් කමිටුවට අනාවරණය වී ඇති බවත් පොල් මිල වැඩි බවට පළ වන මාධ්‍ය වාර්තා නිසා පොල්වල මිල ඉහළ නැංවීමට වෙළෙඳුන් කටයුතු කරන අතර මාධ්‍ය වාර්තා පළ කිරීමේදි ප්‍රවේසම් වීම වඩාත් වැදගත් බවත් ඇමැතිවරයා කීය. 

සන්ධ්‍යා කරුණාරත්න සහ නිමාෂා සඳරුවනි

නව අදහස දක්වන්න