A.D.B සහතිකය! | දිනමිණ

A.D.B සහතිකය!

විදේශ ණය හා ආධාර සම්බන්ධයෙන් විවිධ විවේචන හා ප්‍රවාද ගොඩනඟා ඇති’මුත් මේ ණය හා ආධාරවලින් ‍තොර ව ශ්‍රී ලංකාව වැනි රටකට සිය අනාගත අපේක්ෂා ඉටුකර ගැනීම අපහසු ය. එය ඉතා සරල අදහසකින් දැක්වුවහොත් ප්‍රාග්ධනයේ හිඟකම ලෙස අර්ථ දැක්විය හැකි ය. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන මීට දසක කිහිපයකට පෙර ආසියාවට හා අප්‍රිකාවට උප‍දේශන ලබා දුන්නේ වැඩියෙන් ණය ගන්න; වැඩියෙන් දියුණුවන්න යනුවෙන් ය. එදා ණය හා ආධාරවලට අද තරම් කොන්දේසි පැවැතියේ නැත. එහෙත් අප්‍රිකාවේ හා ආසියාවේ බොහොමයක් රටවල් ලබාගත් ණයවලින් නිසි ප්‍රයෝජන ලබාගත්තේ නැත. කොන්දේසි හා සීමා කිරීම් පැනවූයේ ඊට පසුව ය.

1960 ගණන්වල දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂා’වධානය ආසියාව දෙසට යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ සංවර්ධනයට සහයෝගය දැක්වීම සඳහා සංවර්ධන බැංකුවක් පිහිටුවීමේ අවශ්‍යතාව අවධාරණය කැරිණි. පිලිපීනයේ මැනිලා නුවර පැවැති සාකච්ඡාවලින් පසුව 1966 දී ආසියානු සංවර්ධන බැංකුව පිහිටුවන ලදී. ආසියානු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ද, ඔවුන්ගේ නව නිෂ්පාදන ලෝක වෙළෙඳ පොළ ගනුදෙනු සමඟ යා කිරීම ද මේ බැංකුවේ එක් පරමාර්ථයක් විය. ආසියානු සංවර්ධන බැංකුව ප්‍රධාන ක්ෂේත්‍ර අටක් ඔස්සේ මේ රටවල්වලට සහයෝගය දක්වයි. ශ්‍රී ලංකාව සමඟ ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගීතාවට වසර පනහක් සම්පූර්ණ වී තිබේ.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉන් කියැවෙන්නේ ඉදිරි පස් වසර සඳහා ශ්‍රී ලංකාව සැලැසුම් කර ඇති ආර්ථික සංවර්ධන සැලැසුම්වලට එකඟතාව හා සහයෝගය දක්වන බව ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ආර්ථික දර්ශනය හා සංවර්ධන සැලැසුම් ගැන සෑහීමකට පත් විය හැකි බවට සහතිකයක් ආසියානු සංවර්ධන බැංකුව ලබා දී තිබේ. මෙය ඉතා යහපත් තත්ත්වයක් බව පෙන්වා දිය හැකි ය. ජාත්‍යන්තර ණය දෙන ආයතන කිහිපයක් මීට පෙර ආණ්ඩුවේ ආර්ථික සැලැසුම් ප්‍රතික්ෂේප කර ඇත. ඇතැම්විට සැලැසුම්වලට සංශෝධන ඉදිරිපත් කර ඇත. එහෙත් ඉදිරි පස් වසර සඳහා ශ්‍රී ලංකාවට අ.ඩො.බි.04ක් හෝ 05ක් වෙන් කිරීමට බැංකුව තීරණය කර තිබේ.

ලෝක ආර්ථික විශේෂඥයන්ගේ පුරෝකථනවලට අනුව ඉදිරි වසර දහය තුළ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන කලාපය ලෙස ආසියාව හඳුනාගෙන තිබේ. චීනය හා ඉන්දියාව මේ වනවිටත් එය සනාථ කර ඇත. එහෙත් ආසියාවේ තවත් රටවල් ගණනාවක් ආර්ථික පසුබෑම්වලට ලක් වී එක තැන පල්වෙමින් තිබේ. මීට හේතු ලෙස දක්වා ඇත්තේ නව නිපැයුම් සිදු නොකිරීම, ලෝක වෙළෙඳ පොළ සමඟ ගනුදෙනු දුර්වල වීම, දුර්වල කළමනාකරණය ආදිය යි. මේ හැරෙන්නට ඇතැම් රටවල් දිගින් - දිගට ම ස්වාභාවික ව්‍යසනවලට හසු වේ. තවත් රටවල දේශපාලන අවුල් හා සිවිල් යුද්ධ පවතී. මේ සෑම රටක ම පාහේ දකින්නට ලැබෙන පොදු දුර්වලතාවක් වන්නේ දූෂණ හා අක්‍රමිකතා ඉහවහා ගොස් තිබීම ය. ඇතැම් විට සංවර්ධනයේ නාමයෙන් ගනු ලබන විදේශීය ණය පවා පාලකයන්ගේ සාක්කුවලට ගිය අවස්ථා තිබේ.

ශ්‍රී ලංකාව එබඳු යුගයක් පසුකොට පසුව යහපාලන කාල පරිච්ඡේදයකට පැමිණ සිටී. යහපාලනයේ නායකයන් ලෝක පිළිගැනීමට ලක් වී ඇති අතර ඔවුන්ගේ දර්ශනය හා වැඩපිළිවෙළ ජාත්‍යන්තර ණය දෙන ආයතනවල පැසසුමට ලක් වී ඇත. මෙය රට ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලැකිය හැකි ය. ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයා පැවැත් වූ සාකච්ඡාවක දී සඳහන් කර ඇත්තේ රටේ දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති වැඩසටහනට රජය ප්‍රමුඛතාවක් ලබා දී ඇති බව ය. ආසියානු සංවර්ධන බැංකුව එය පිළිගන්නා අතර බැංකුවේ එක පරමාර්ථයක් වී ඇත්තේ ද ආසියාවේ දිළිඳුකම පිටුදැකීමට සහයෝගය දැක්වීම ය. ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා සංස්කෘතික කටයුතු නඟා සිටුවීම සඳහා ද ආසියානු සංවර්ධන බැංකුව සහයෝගය දක්වයි.

ජාත්‍යන්තර ආයතනවලට හා දියුණු රටවලට ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව ලබා දී ඇති සහතිකය කුමක් ද? එක අතෙකින් වංචා, දූෂණ, අක්‍රමිකතා හා නාස්තිය වළක්වා ඇතැ’යි සහතිකයක් ලබා දී ඇත. දැන් රට තුළ නීතියේ ආධිපත්‍යය පවතින අතර දූෂිතයන් නීතිය හමුවට කැඳවන ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි. තව අතෙකින් දේශපාලන ස්ථාවරත්වයක් පිළිබඳ සහතිකය ලබා දී ඇත. රටේ පවතින්නේ සම්මුතිවාදී ආණ්ඩුවකි. ප්‍රධාන පක්ෂ දෙක ඒකාබද්ධ වී රට පාලනය කරයි. ප්‍රජාතන්ත්‍රවාදයට හා ජාතීන් අතර සංහිඳියාවට මූලික තැනක් දී කටයුතු කරයි. ජාත්‍යන්තර ආයතන මෙන්ම දියුණු රටවල් ද මෙබඳු සුබවාදී දේශපාලන පසුබිමක් අපේක්ෂා කරයි. මානව හිමිකම් කොමිසම පවා ශ්‍රී ලංකාවේ පැරණි වැරදි අමතක කරන තැනකට ගොස් ඇත්තේ වර්තමාන තත්ත්වය සැලැකිල්ලට ගනිමින් ය.

ආසියානු සංවර්ධන බැංකුව සිය සාමාජික රටවල ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය ගැන නිතිපතා සොයා බලයි. වාර්ෂිකව ඔවුන් එළිදක්වන වාර්තාවල සෑම රටක් ගැන ම ආර්ථික පුරෝකථන ඉදිරිපත් කර තිබේ. 2013 දී ශ්‍රී ලංකාවේ උද්ධමනය ගැන ආසියානු සංවර්ධන බැංකුව විශේෂයෙන් කරුණු අධ්‍යයනයකොට උපදේශන ලබා දී ඇත. පසුගිය වසර දෙකකට වැඩි කාලය තුළ උද්ධමනය පාලනය කිරීමට ද, නව රැකියා සම්පාදනයට ද ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති පියවර ගැන සතුටු විය හැකි බව බැංකුවේ අදහස ය. විශේෂයෙන් ඉදිරි පස් වසර සඳහා යෝජිත සංවර්ධන වැඩසටහන් ගැන බැංකුවේ ප්‍රසාදය පළ වී ඇත. එය සාධනීය තත්ත්වයකි. ජාත්‍යන්තර ණය දෙන ආයතනයක් කිසිදු රටකට එකවර ණය අනුමත කරන්නේ නැත. ඒ පිළිබඳ විවිධ නිරීක්ෂණ මෙන් ම පසු විපරම් ද සිදු වේ. ඒවායින් සමත්වීම සංවර්ධනයේ ලක්ෂණයක් ලෙස සැලැකිය හැකි ය.

ආසියා - පැසිෆික් ආර්ථික සමාලෝචනවලදී වියට්නාමය හා ශ්‍රී ලංකාව ගැන විශේෂයෙන් සඳහන් කළ අවස්ථා තිබේ. ඒ මෑතක සිට ය. එහි අර්ථය වන්නේ මේ රටවල් දෙකම ලෝක ආර්ථිකය සමඟ බද්ධ වී ඉදිරි පිම්මක් පැනීමට සූදානම් වී සිටින බව ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...