බෝලය ඇඟේ වැදුණැයි සිසුවාට පහරදී තුවාල කරලා | දිනමිණ

බෝලය ඇඟේ වැදුණැයි සිසුවාට පහරදී තුවාල කරලා

කොච්චිකඩේ විශේෂ - ඩී. මිහිදුකුල

පොදු සුසාන භූමියක නිදාගෙන සිටි අයකුගේ ඇඟට බෝලයක් වැටීම නිසා උරණ වී වයස අවුරුදු 15 ක පාසල් සිසුවකුට තුවාල ඇතිවන ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියකට චෝදනා ලැබූ අයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ආර්. ජී. ‍එන්. කේ. රන්කොත්ගේ මහත්මිය (20 දා) නියෝග කළාය.

මුදාහැරුණේ දුංගාල්පිටිය තලාහේන පදිංචි පුද්ගලයෙකි.

දුංගාල්පිටිය ජනාකීර්ණ ප්‍රදේශයක් නොවන අතර මහමාර්ගවල ද වාහන තදබදයක් නැත. මාර්ගය අසල පාසල් නිමවා පැමිණි ළමයි පාපන්දුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී බෝලයක් ඒ අසල කනත්තට වැටී ඇත. සැකකාර පුද්ගලයා විඩාව නැතිකර ගැනීමට හවස් යාමයේ කනත්තේ නිදාගැනීමට පුරුදුව ඇත. ළමයි පන්දුවට පහර දුන් විට එම බෝලය වැටී ඇත්තේ කනත්තේ නිදා සිටි පුද්ගලයාගේ ඇඟ උඩටය.

තරමක නිදිබර ගතියෙන් සිටි ‍එම තැනැත්තා තිගැස්සී නැගිට බෝලය ගැනීමට පැමිණි සිසුවාට අතැඟිලිවලට තුවාල සිදුවන ලෙස පහර දී ඇතැයි ‍පැමිණිල්ලේ සඳහන්ය.

දුංගාල්පිටිය පොලිසියේ පොලිස් කොස්තාපල් (55748) ආර්. එම්. ප්‍රභාකරන් මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කර පැමිණිල්ල මෙහෙයවීය. නැවත විභාගය 2018 පෙබරවාරි 19 ට කල් තැබුණි. 

නව අදහස දක්වන්න