ජනතාව පැතූ දේශපාලන සංස්කෘතිය යථාර්ථයක් කළා | දිනමිණ

ජනතාව පැතූ දේශපාලන සංස්කෘතිය යථාර්ථයක් කළා

සන්ධ්‍යා කරුණාරත්න

අගමැතිට ශ්‍රීලනිපයේ ස්තුතිය

බැඳුම්කර කොමිසම ඉදිරියට ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීම මඟින් මෙරට ජනතාව බලාපොරොත්තු වූ දේශපාලනමය සංස්කෘතික වෙනස ඇති වී තිබෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදි ඊයේ (21) පැවැසුවේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් බැඳුම්කර කොමිසම ඉදිරියට නොගොස් දිවුරුම් ප්‍රකාශයකින් සාක්ෂි ඉදිරිපත් කරන්නට හැකියාව තිබූ බවත් නමුත් ඒ මහතා කොමිසම ඉදිරියට ගොස් සාක්ෂි ලබාදීම රටටම ආදර්ශයක් බවත් ඇමැතිවරයා පැවැසුවේය.

මේ සිදුවීම ඓතිහාසික අවස්ථාවක් බවත් ජනතාව අපේක්ෂා කළ දේශපාලනමය සංස්කෘතික වෙනස යථාර්ථයක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්තුතිය අගමැතිවරයාට හිමි වන බවත් ඇමැතිවරයා කීය. රටේ ජනතාව දේශපාලනමය වශයෙන් වෙනස් සංස්කෘතියක් බලාපොරොත්තු වූවා නම් බැඳුම්කර කොමිසම ඔස්සේ එම වෙනස දැක ගන්නට හැකි වී ඇති බවත් අගමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් පවා කොමිසමක් ඉදිරියට ගොස් සාක්ෂි දෙන පරිසරයක් නිර්මාණය වීම ජනතා ජයග්‍රහණයක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බැඳුම්කර කොමිසමට අවසන් සාක්ෂිය ලෙස අගමැතිවරයා ගොස් පෙරේදා (20) සාක්ෂි ලබා දුන් අතර මෙම ගනුදෙනුවේ වැරදිකරුවන්ට නීත්‍යානුකූලව අවසන් වශයෙන් දඬුවම් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බවත් මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව ජනතාව විමසිල්ලෙන් සිටින බවත් ඇමැතිවරයා පැවැසුවේය.

මෙරට සිදුවූ විශාලම මුදල් වංචාව බැඳුම්කර ගනුදෙනුව කියන ස්ථාවරයේ සිටිමින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයක් අනුව නවදෙනකුගෙන් යුක්ත කමිටුවක් මඟින් කොමිසම් සභාව පත් කළ බවත් කොමිසම ඉදිරියට අගමැතිවරයකු ගොස් සාක්ෂි ලබාදීම ඉතිහාසගත වන බවත් ඇමැතිවරයා කීය. 

නව අදහස දක්වන්න