“මිස්ටර් ක්ලීන්!” | දිනමිණ

“මිස්ටර් ක්ලීන්!”

රටක මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය ගැනත් එහි කළමනාකරණය ගැනත් නිසි වැටහීමක් සාමාන්‍ය ජනතාවට නැත. ඒවා සකස් කළ යුත්තේ බුද්ධිමත් පාලකයන් හා මූල්‍ය කටයුතු පිළිබඳ විශේෂඥයන් බව සිහි තබා ගත යුතුය. ලෝකයේ පුවත් මවන රාජ්‍යයක් බවට පත් වී ඇති සිම්බාබ්වේ රට අධි උද්ධමනයක් සහිත දේශයක් ලෙස සලකයි. 2009 දී ඩොලර් බිලියන දහයක නෝට්ටුවක් එරට මහ බැංකුව හඳුන්වා දුන්නේ ය. එහෙත් එයින් මිල දී ගත හැකිව තිබුණේ පාන් ගෙඩි විස්සක් පමණි. ඒ අනුව ඩොලර් බිලියන 100ක නෝට්ටුවක් මුද්‍රණය කිරීමට එරට මහ බැංකුව නැවත තීන්දු කළේ ය. පාලකයන්ගේ මුල්‍ය කළමනාකරණයඉන් පැහැදිලි වේ.

අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති හා මහ බැංකු ක්‍රියාවලිය පිළිබඳ සංවාදයක් පවතින යුගයක් ආරම්භ වී තිබේ. එය නරක නැත. මෙය එළියට එන්නේ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නකාරී තත්ත්වය යටතේ ය. මේ තත්ත්වයට විසැඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා විමර්ශන කොමිසමක් ආරම්භ කළේ ය. දැන් එය ක්‍රියාත්මක අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද කොමිසම හමුවේ සාක්ෂි දී අවසන් ය. ඒ සමඟ ම අමතක නොකළ යුතු කාරණයක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා හා එහි මහලේකම්වරයා ද මේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ය. ආණ්ඩුව විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බව එයින් පැහැදිලි වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවට පැමිණීම ද, වාචික සාක්ෂි ලබාදීම ද අනිවාර්ය කාරණයක් නොවන බව කොමිසමේ සභාපතිවරයා ම ප්‍රකාශ කර තිබේ. මීට පෙර ආණ්ඩුවලදී අප දුටුවේ රජයට සම්බන්ධ දේශපාලකයන් පොලිසියට හෝ නොයන තත්ත්වයකි. ගිය ආණ්ඩුවේ දූෂිත පුද්ගලයන් සම්බන්ධයෙන් පැවැත් වූ නඩු විභාගවලදී සිතාසි භාරදීමට බැරි තත්ත්වයක් පැවැතිණි. එලෙස ම අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් කෙළින් ම රෝහල්ගත වන තත්ත්වයක් ද දක්නට ලැබිණි. මෙහි අර්ථය වන්නේ නඩු මඟහැර යෑම ය. නැතහොත් නීතිය නොසලකා හැරීම ය. අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ නීතියට පාලකයා ද යටත්ය යන ආදර්ශයයි. කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ මට සැඟවීමට කිසිදු දෙයක් නැති බවය.

කොමිසමේ විමර්ශනවලදී අගමැතිවරයා වෙත ප්‍රශ්න 48ක් ඉදිරිපත් කර ඇත. ඒ සෑම ප්‍රශ්නයකටම පැහැදිලි හා නිරවුල් පිළිතුරු ලබා දී ඇති බව ප්‍රකාශ වී තිබේ. මේ සමඟ ම තවත් වැදගත් සාධක තුනක් අගමැතිවරයා විසින් කොමිසම හමුවේ පැහැදිලි කරන ලදි. එක; වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට රටේ පැවැති ඇත්ත මූල්‍ය තත්ත්වය හෙළිදරව් කිරීම ය. දෙක; අමෙරිකාවේ භාණ්ඩාගාර විශේෂඥයන් රටක මූල්‍ය කළමනාකරණ සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් ය. තුන; අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් දියුණු වෙමින් පවතින රටවලට ලබා දී ඇති මූල්‍ය උපදේශනයන් ය. අගමැතිවරයාගේ සමස්ත සාක්ෂි සටහන විමර්ශනය කරන කෙනකුට අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය ගැන යම් වැටහීමක් ලද හැකි බව පෙනී යයි.

අගමැතිවරයා ජනාධිපති කොමිසමක් හමුවේ සාක්ෂි ලබාදීම එක් අතෙකින් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වී ඇත. අප දන්නා හැටියට මෙවන් සිද්ධියක් අතීතයේ සිදු වී නැත. ජනතාව අගමැතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් ඉතා ඉහළ සාධනීය ප්‍රතිචාර දක්වා ඇති බව ද දැනගන්නට ලැබේ. රට පුරා පෝස්ටරයක් අලවා තිබූ අතර එහි සටහන්ව තිබුණේ භය නැති අගමැති යන්න ය. මේ හැරෙන්නට වෙබ් අඩවි අගමැතිවරයා උත්කර්ෂයට නංවමින් ඡායාරූප හා විස්තර පළකර තිබිණි. යහපාලන ආණ්ඩුවේ විනිවිදභාවය පෙන්වන ප්‍රධාන සිද්ධි දෙකක් හැටියට මේ කොමිසම පිහිටුවීමත්, අගමැතිවරයා කොමිසම හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත්වීමත් සඳහන් කළ හැකි ය. තවදුරටත් කරුණු සලකා බලන විට පෙනී යන්නේ ආණ්ඩුව හැබෑවට ම ජනතාවට ඇත්ත කියන්නට උත්සාහ කරන බව ය.

ගිය ආණ්ඩු සමයේ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, ඒවා ක්‍රියාත්මක කිරීම පමණක් නොව; මහ බැංකුවේ කටයුතු පවා සිදු වූයේ ඉතා රහසිගත අන්දමින් ය. නිදසුනක් ගතහොත් බැඳුම්කර නිකුතු පිළිබඳ කිසිදු තොරතුරක් මහජනයා දන්නේ නැත. ඒවා ප්‍රසිද්ධියට පත් කරන්නේ ද නැත. එහෙත් අද වන විට මහ බැංකුවේ බැඳුම්කර නිකුතු පිළිබඳ බොහෝ විස්තර මහජනයා දනිති. එය ආරම්භ වූයේ; බැඳුම්කර සිද්ධිය අලළා සංවාදයක් ඇති වූ බැවින් යැයි කිව හැකි ය. ඊට අදාළ ජනාධිපති කොමිසම මඟින් මේ තත්ත්වය තවත් විස්තාරණය කළේ ය. ආණ්ඩුවට අවශ්‍ය නම්; මේ සිද්ධිය යට ගැසීමට ඉඩ තිබිණි. එහෙත් එය සිදුවූයේ නැත. අවසන් ලෙස අගමැතිවරයා පවා කොමිසමට ලබාදෙන සහයෝගයක් ලෙස සාක්ෂි දීමට ඉදිරිපත් විය.

යහපාලන ආණ්ඩුවට එරෙහිව මතු වූ ප්‍රධාන චෝදනාව වූයේ බැඳුම්කර සිද්ධියයි. එය යට ගසනු ඇතැ’යි බොහෝ දෙනෙක් අපේක්ෂා කළහ. ඒ පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථා ද තිබිණි. කුමක් වුව ආණ්ඩුව සිද්ධිය යට ගැසුවේ නැත. ඒ වෙනුවට එය විමර්ශනය කරන තැනකට ආණ්ඩුව ගියේ ය. නිදහසින් පසු බිහි වූ කිසිදු ආණ්ඩුවක් මෙලෙස විනිවිදභාවයකින් කටයුතු කර නැතැ’යි පෙන්වා දෙන්නට පුළුවන. මීට පෙර සෑම ආණ්ඩුවක්ම පාහේ ක්‍රියා කර ඇත්තේ ආණ්ඩුවේ මූල්‍ය ගැටලු යට ගහන පසුබිමක් යටතේ ය. හෙල්පින් හම්බන්තොට සිද්ධිය ඊට හොඳම නිදසුනක් ලෙස දැක්විය හැකිය. ඊට අදාළ නිශ්චිත විසැඳුමක් අදටත් දැකගත නොහැකි ය. ගිය ආණ්ඩුවට සම්බන්ධ මෙබඳු සිදුවීම් අනූ ගණනක් පිළිබඳ පැමිණිලි තිබේ. එහෙත් විමර්ශනයට ගෙන ඇත්තේ ඉතා ස්වල්පයකි. ඊට අදාළ නඩු විභාග අවසන්වීමට තවත් වසර දහයක්වත් ගතවන බව පුරෝකථනය වී තිබේ. රටේ පවතින සාමාන්‍ය ස්වාභාවය එය යි.

කොමිසම හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අගමැතිවරයාට විශාල ප්‍රසාදයක් හිමි වී ඇත. කෙනකුගේ මතය වී තිබුණේ අගමැතිවරයා කොමිසම මඟ හරින බව ය. අද වනවිට ඒ සියල්ල වෙනස් වී තිබේ. දේශපාලන විවේචකයන් කෙබඳු ප්‍රවාද ගොඩනඟන්නේ වුව අගමැතිවරයා ගෙන ඇති පියවර ඉතා නිවැරැදි ය. එලෙසම නිර්භීත ය. එතුමා හඳුන්වන්නේ මිස්ටර් ක්ලීන් ලෙස ය. ක්ලීන් යනු පිරිසුදු - කෙළින් - ඍජු වැනි අර්ථයක් ධ්වනිත කරන්නකි. ක්ලීන් අය චෝදනාවලට භය වන්නේ නැත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...