කටුගෙයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය (අවසන් කොටස) | දිනමිණ

කටුගෙයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය (අවසන් කොටස)

රහස් පරීක්ෂණ නිමාව දකී

සොරාගත් කඩු කස්තාන බෑගයට වඩා දිග බැවින් කංගැට්ටාට නිසි ලෙස අසුරාගැනීමට නොහැකිවිය. ඒ නිසාම පැරණි කඩු තල නවා හෝ කඩා අසුරාගත් බවත්, කඩු කස්තාන 9ක් ගත් නමුත් එක් කඩු කස්තානයක් පමණක් නැවීමට හෝ කැඩීමට නොහැකිව ශක්ති සම්පන්නව පැවති නිසා ආරක්ෂාව සඳහා මිට එළියට පෙනෙනසේම එය රඳවා ගත් බවත් ඔහු සඳහන් කර ඇත. එලෙස හොඳ තත්ත්වයේ පැවති කඩුව නුගවෙල අදිකාරම් භාවිතා කළ කඩුව බැව් පසුව අනාවරණය විය.

“මං ඒක ගත්තෙ කවුරු හරි මුරකාරයෙක්, සිකුරුටිකාරයෙක් පැන්නොත් ඌට ඒකෙන් ඇනලා මාරුවෙන්න මිසක් වෙනදේකට නෙවෙයි“

කංගැට්ටාට කඩුව සම්බන්ධයෙන් පැවතියේ එවන් අදහසකි.

මේ අයුරින් බෑගයේ අසුරාගනු ලැබූ කෞතුක භාණ්ඩද සමග කංගැට්ටා ලී දොරවල්වල කොණ්ඩිපට්ටම් ගලවා පිටවෙන්නට උත්සාහ දැරුවද, අතරමැද ශක්තිමත් යකඩ දොරක්ද තිබිණි. කුමක් හෝ හේතුවකට මීට පෙරාතුව පැමිණි කිසිදු අවස්ථාවක එවැන්නක් ඔහුගේ අවධානයට ලක්ව නොතිබිණි. දැන් කෙසේ හෝ පිටව යා යුතුය. එහෙත් එය කඩා බිඳ දමන්නට තබා හිතන්නටවත් නොහැකිය. යකඩ දොර උළුවස්සට සවිකොට පැවති ශක්තිමත් සරනේරු අතර අලුතින් සවිකරන ලද තහඩු සරනේරුවක්ද ඇති බව කංගැට්ටාගේ නිරීක්ෂණයට ලක්විය. පැරණි ඒවා තරමටම එය ශක්තිමත්ව පැවතිය නොහැකි බව අනුමාන කළ ඔහු ඉස්කුරුප්පු නියනෙන් ඊට තට්ටු කර බැලුවේය. ඔහුගේ අනුමානය නිවරදි විය. තරමක් වෙර යොදා ඇල්ලිමෙන් සරනේරුව බුරුල් කර ගැනීමට ඔහුට හැකිවිය. ඉක්බිතිව දොර සහ සරනේරුව අසළින් තමාට රිංගිය හැකි තරමට ඈත් කොට එළියේ කුටියට පිවිසි ඔහු රැගෙන ආ බෙඩ් ෂීට් එක කෑලි 8ට ඉරා එකට ඇඹරුවේය. අනතුරුව කෞතුකාගාරයෙන්ම ගලවා ගත් කම්බිය සහිත වයරයක් සමග බෙඩ් ෂීට් තීරුව එකට අමුණා ශක්තිමත්ව සෑදූ රැහැනින් පළමුව බෑගය බිමට බෑවේය. දෙවනුව තමන් බහින්නට යාමෙන් වයරය කොතැනක හෝ විදුලි කාන්දුවක ගෑවි ඔහුට විදුලි සැර වැදුණි. ඒ නිසාම ක්‍රමානුකූලව බැසීමට නොහැකිව ඔහු වීසිවී ගොස් බිම වැටුණි.

“හොඳ වෙලාවට සර්, ඉස්සරලාම වැදුණේ කකුල් දෙකමයි. හිට්ටවෙලා තමයි ආයෙම වැටුණේ. ඒ නිසා හානියක් වුණේ නෑ. පොඩ්ඩක් සීරුණා එච්චරයි.“

“තමුන් ඔය කියන විදිහට වැටිලා තියෙන්නෙ මුර කුටියක් ළඟට නේද?

“ඔව් සර්. හරියටම චෙක්පොයින්ට් එක ඉස්සරහට. ඒත් කවුරුවත් පේන්න හිටියෙ නෑ. වැටුණු ගමන්ම මං නැගිට්ටෙ නෑ. ඒ සද්දෙට නිදාගෙන හිටපු මුරකාරයෙක් හරි නැගිටියිද කියලා ටිකක් අවධානයෙන් හිටියා. ඒත් එහෙම වුණේ නෑ. ඒ හින්දා හීන් සැරේ රූටලා බෑගය ළඟට ගිහින් ඒකත් අරන් මං අර ඉස්කෝලෙ ළඟ තාප්පෙන් පැනලා පාරට ආවා. පාරෙ ඇවිදගෙන දිගටම ආවා“

කංගැට්ටාගේ බෑගයේ නුගවෙල අදිකාරම්ගේ කඩුවේ මිට ඔහුගේ හිස දක්වාම ඉලිප්පී තිබුණි. වුවමනාවෙන් බලන ඕනෑම කෙනෙකුට ඔහුගේ ගමනේ හා මේ බෑගයේ අමුත්තක් තිබුණි. නෙළුම්පොකුණ රඟහල ආසන්නයට පැමිණෙනවිට 119 රාත්‍රී මුර සංචාර පොලිස් ජීප් රථයක් නවත්වා තිබුණි. එහෙත් කංගැට්ටාට තම ගමනට එයින් කිසිදු බාධාවක් එල්ල නොවුණි.

“ඩ්‍රයිවර් සීට් එකේ හිටපු පොලිසියෙ මහත්තයා සුක්කානමට ඔළුව තියාගෙන නිදාගෙන හිටියා. තවත් එක්කෙනෙක් ඉස්සරහ සීට් එකේ ඇළවෙලා හිටියා. එස්.අයි මහත්තයෙක් විතරක් ජීප් එකට හේත්තුව දාගෙන ඈත බලාගෙන හිටියා. මං සද්ද නැතුව එතනින්ම එන්න ආවා“

“එතනදි බයක් හිතුනෙ නැද්ද?“

“නෑ සර්. එස්.අයි මහත්තයා මාව දැකලා හිනාවුණා. ඉතිං මමත් හිනාවෙලා එන්න ආවා“

“සමහරවිට ඒ අය කුරුදුවත්ත පොලීසියේ වෙන්න ඇති. මං කටුගෙයි ඉස්සරහ ගෙදර වැඩ කරද්දි මහරෑටත් පාරෙ ඉඳගෙන ඉන්නවනේ. ඒ හින්දා මාව දැකල පුරුදු කෙනෙක් හින්දා සැකකෙරුවෙ නැද්ද දන්නෙ නෑ“ කංගැට්ටා කියයි.

“බැරි වෙලාවත් තමුන්ට එන්න කියලා බෑග් එක චෙක් කරානම්“

“එහෙම වුණානම් මේ ආයුධවලින් මූණටම දමා ගහලා මං දුවනවා. මං ඒ ටිකේ පාරවල් හොඳට දන්නවා. පොලිස් මහත්තුරු ඇහැරලා ඇස් පිහදාලා බලද්දි මට මාරුවෙන්න පුළුවන්. ඒ හින්දා මට බයක් දැනුණේම නෑ“

පොලිස් ඇසටද, ලක්නොවී ඔහු නගරශාලාව ඉදිරිපස පාරෙන් අනෙක්පස පවත්නා ප්‍රසිද්ධ රාත්‍රී හෝටලයට වැදී හොඳහැටි කෑවේය. තේ එකක්ද ගෙන්වාගෙන බීවේය. එහි බිල ගෙවා නිවී සැනසිල්ලේ හෝටලයෙන් එළියට බසින ලද කංගැට්ටා තරමක් දුරින් නවතා තිබුණු ත්‍රී රෝද රථයට අත වනා ළඟට ගෙන්වා ගත්තේය.

“මල්ලි, කොටුව බස්ටෑන්ඩ් එකට කීයද?

“මේ වෙලාවෙ නම් සර් පන්සීයක්වත් ඕනෑ‘ මැදියම් රැයද, නික්ම ගොස් පැවති නිසා හසුවූ ගනුදෙනුකරුගෙන් ගාණ කඩා ගැනීමේ කුලී රථ සේවයේ සුපුරුදු ක්‍රියාදාමය ඔහු හොඳින් දැන සිටියේය.

“කමක් නෑ යන්“ ඔහු බෑගයද පටවාගෙන ත්‍රී රෝද රථයට ගොඩවිය.

පිටකොටුව බස්නැවතුම් පළ අසළට සමීප වන විට ඔහු වහාම අතින් තට්ටුවක් දමා රියදුරා නැවැත්වීය.

“බස්ටෑන්ඩ් එකටම ඕන නෑ මල්ලි. ඔන්න ඔය කළුවර දිහායින් බස්සන්න“ ත්‍රී රෝද රථය පාරේ අයිනකට කර නැවැත්වීමෙන් පසු ඉල්ලූ පන්සීය වෙනුවට දාහේ කොළයක් ඔහු රියදුරා අත තැබීය. ‘පිස්සු පොරක්‘යයි සිතූ ත්‍රි රෝද රථ රියදුරා දහසේ නෝට්ටුව සාක්කුවට දාගෙන ත්‍රී රෝද රිය නැවත හරවා ගත්තේය. එම දහසේ නෝට්ටුව ‘ස්පෙසිමන්ට්‘ ලෙස සටහනක් තබන ලද කෞතුකාගාරයෙන් සොරාගත් නෝට්ටුවක් බැව් ත්‍රී රෝද රථ රියදුරා දැනගන්නේ පසුවදාය. පසු කලෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම මුදල් නෝට්ටුවද, නැවත සොයාගැනීමට සමත්විය.

පිටකොටුව බස්නැවතුම්පළේ රැඳී සිටින කංගැට්ටා එදින උදෑසනින්ම සියඹලාපේ බස් රථයක නැඟී නිවස බලා එයි. කෞතුකාගාරයෙන් සොරාගන්නා ලද රන් හා රිදී කාසි කිහිපයක් ස්වර්ණාභරණ සාප්පු කිහිපයකට විකුණන ඔහු සෙසු කඩු මිටවල් කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ට විකුණයි. පසු කලෙක මෙම සිද්ධියේ පරීක්ෂණ ආරම්භ කිරීමට මූල සාක්ෂියක් සැපයෙන පිළියන්දල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සොයාගනු ලබන කෞතුක භාණ්ඩද, මේ අයුරින්ම කංගැට්ටා විසින් අලෙවි කරන ලද භාණ්ඩ බැව් කිව යුතුය. මේ අයුරින් කෞතුක භාණ්ඩ අලෙවි කර ලැබූ මුදලින් මත් කුඩු මිලදී ගැනීමට මෙන්ම කරවල ව්‍යාපාරික කටයුතු සඳහාද යෙදවූ බවට ඔහු විසින් පසුව අනාවරණය කරන ලදී. තම සහෝදරයෙකු අනුරාධපුර ප්‍රදේශයේ කුඹුරක් සීසෑමේදී හමුවූ නිධානයකින් මෙම රන්, රිදී, මැණික් ආදිය හමුවූ බව පවසා කෞතුක භාණ්ඩ ඇතැමුන්ට අලෙවිකර ඇති අතර තවත් සමහරුන්ට වෙනත් බොරු පවසා මෙලෙස ගනුදෙනු කර ඇති බව හෙළිදරව් විය. ඒ අනුව ගල්ගමුව ප්‍රධාන වීදියේ ස්වර්ණාභරණ අලෙවිසැලකට රු.30,000ක මුදලකට කෞතුක භාණ්ඩ තොගයක් අලෙවි කර තිබුණි. එම ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුට මොහු පවසා ඇත්තේ තමා අනුරාධපුරයේ දේවාලයක කපු මහතෙකු ලඟ ආවතේවකරුවකු ලෙස සේවය කරමින් සිටියදී ආගමික වතාවත් ඉටුකිරීමට යොදාගත් කෞතුක භාණ්ඩ කිහිපයක් තමා සන්තකව පවතින බව හා කපු මහතා මියගොස් ඇති බැවින් එකී භාණ්ඩ තමා ළඟ තිබීමෙන් ප්‍රයෝජනයක් නොවන බැවින් ඒවා අලෙවි කරන බවයි. කෙසේ වෙතත් මෙම ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා ළඟ තිබී කස්තාන කඩුවක කොටස් 03ක්, කස්තාන කඩුවක මිටෙහි කොටස් කිහිපයක්, නුගවෙල අදිකාරම්ගේ බස්තම්වල යයි අනුමාන කළ හැකි කොටස්වලින් උණු කරන ලද රන් කැබැල්ලක් සහ රිදී කැබැල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. ඔහු විසින් තමාට කංගැට්ටාගෙන් ලැබුණු තවත් භාණ්ඩ කිහිපයක් අටළුගම, මීගහමුල පදිංචි ඔහුගේම මුස්ලිම් ජාතික මිත්‍රයෙකුට විකුණා තිබියදී සොයාගැනීමට හැකිවිය. ඒ අනුව එකී මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා ළඟ තිබී මොහොමදියන් කාසි 05ක්, පනම් කාසි 26න් යුතු මාලයක්, දකුණු ඉන්දීය පනම් කාසි 33ක්, කුඩා ගල් 07න් යුතු රන් මුදුවක්, කුඩාගල් 13න් යුතු රන් මුදුවක් සොයාගැනීමට හැකිවිය. මීට අමතරව කංගැට්ටාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව ගොස් අලව්ව, ඉන්ධන පිරවුම්හළකට දී තිබුණු රු.5000ක කාසියක්ද සොයාගැනීමට හැකිවිණි.

කෞතුකාගරයේ කෞතුක භාණ්ඩ සොරකම් කරන ලද්දේ 2012 වසරේ මාර්තු මස 17 දාය. සොරාගන්නා ලද කඩු කස්තානවල තල ජූනි මාසයේ 10 වන දින තමන් විසින් බියගම, ඩිමෝ හංදියේ කසළ බඳුනකට දැමූ බව කංගැට්ටාගේ ප්‍රකාශය මගින් තහවුරු විය. ඒ අනුව එකී කසළ එකතු කිරිමේ වගකීම පැවරී ඇත්තේ බියගම ප්‍රාදේශීය සභාවට බැව් දැනගැනීමෙන් පසු පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා, එකී ප්‍රාදේශීය සභා කාර්යාලයට ගොස් කසළ එකතු කිරීම සිදුවන ස්වරූපය පිළිබඳ මූලික අවබෝධයක් ලබාගන්නා ලදී. කසළ එකතු කරනු ලබන්නේ කුමන ට්‍රැක්ටර්වලින්ද, ඒවායේ එදින රාජකාරි කරන ලද්දේ කවුරුන්ද, එම කසළ එකතු කරනු ලබන්නේ වර්ගීකරණය කරමින්ද, ඒවා බැහැර කරනු ලබන්නේ කොහාටද? යන්න එහිදී අවධානයට ලක්විය. මෙහිදී බියගම ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සහය නොමඳව ලැබුණු බවද කිවයුතුය.

ඒ අනුව කසළ එකතු කිරිමේදී කාඩ්බෝඩ් හා කඩදාසි වෙන් වශයෙන්ද, ප්ලාස්ටික් හා පොලිතින් වෙන් වශයෙන්ද, යකඩ කැබලි වෙන්වද, සෙසු දිරාපත් වන දේ වෙන්වද එකතු කරන බැව් තහවුරු විය. එදින ඒ ඒ කසළ එකතු කරන කම්කරුවන් විසින් යකඩ කැබලි ආදිය හමුවුවහොත් ඒවා අලෙවි කරන ප්‍ර දේශයේම පැරණි යකඩ මිලදි ගන්නා කඩ දෙකක් පවත්නා බවද තහවුරු විය. ඔවුන් විසින් ඒවා කිරුම් බරට මිලදී ගෙන ගොඩට වීසි කර දමනු මිස ඒවා කොහෙන් ලබාගත්තේද, කවුරුන් විසින් ලබාගත්තේද යන්න විමසීමක් නොකරයි. සෙසු ඉඳුල් හා දිරාපත් කුණු කසළ මල්වාන කසළ අංගණයට බැහැර කරනු ලබයි. මෙම සිදුවීම් ජාලය සමීපව නිරීක්ෂණය කළ පොලිස් පරීක්ෂකවරයා 2012 ජූනි මස 10 වන දින රාජකාරියේ නිරතව සිටි කම්කරුවන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඔවුන්ගෙන් එක් අයෙකුට මෙසේ පැවසීය.

“මං හෙට උදේ එනවා. කඩු ටික ගෙනත් තියන්න“

පසුදින කාර්යාලයට පැමිණි පොලිස් පරීක්ෂකවරයාට බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

“ඉන්ස්පෙක්ටර් මහත්තයා අපේ එක්කෙනෙකුගෙන් කඩු වගයක් ඉල්ලුවද? අන්න එයා කඩු 3ක් ගෙනල්ලා..මිනිහා අහිංසකයා ඔය යකඩ කෑලි දැකලා දෑකැත්තක් හදන්න කියලා තියාගෙන“ සභාපතිවරයා දැනුම්දුන්නේය.

“මං තව ටිකකින් එන්නම්. ඒ ටික අරන් තියන්න“ පොලිස් පරීක්ෂකවරයා, එදින දහවලේ බියගම ප්‍රාදේශීය සභා කාර්යාලයට ගියේය. එකී කම්කරුවා, පොලිස් පරීක්ෂකවරයා ඉදිරියට පැමිණියේය.

“සර්ට කියන්න මං කඩු තල නවයක් ගත්තා. 7ක් යකඩ බඩුවලට වික්කා. දෙකක් දෑකැත්තක් හදන්න තියාගත්තා. අනිත් එක ගොඩක් ලස්සන හින්දා ලස්සනට තියා ගත්තා. “ඔහු කීවේය.

“මොකක්ද ලස්සනට තියාගත්තේ? පොලිස් පරීක්ෂකවරයා එකී කඩු තලය හොඳින් පරීක්ෂා කර බැලුවේය. එය නුගවෙල අදිකාරම්ගේ කස්තාන කඩුවේ තලයයි. කංගැට්ටා විසින් තම ආරක්ෂාව සඳහා පිටතට ගෙනා බව කියූ කඩුවේ තලයයි. මෙම කඩුතල සියල්ල පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අචාර්ය සෙනරත් දිසානායක මහතාට ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා කෞතුකාගාරය සන්තකයේ පැවති පෞරාණික කඩු කස්තානවල කොටස් බව ඔහු විසින් ලිඛිත ප්‍රකාශයක් මගින් තහවුරු කරන ලදී.

ප්‍රියන්ත මේදිස් නොහොත් කංගැට්ටාගේ ඇඟිලි සලකුණු, අතුල් සහ පතුල් සලකුණු සටහන් ලේඛකාධිකාරීවරයාට යොමුකොට තිබිණි. කෞතුකාගාර සොරකම සිදුවූ දිනයේ එම ස්ථානයෙන් ලබාගත් ඇඟිලි සලකුණු හා අතුල් පතුල් සලකුණු පරීක්ෂණ වාර්තාවන්ද, ලේඛකාධිකාරී වෙත යොමු කොට ඒවා සැසඳේදැයි පරීක්ෂා කරන ලදී. ඒ අනුව එකී සලකුණු සැසඳෙන බව ලේඛකාධිකාරීවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් තහවුරුකර තිබිණි. එදින කෞතුකාගාර භූමියෙන් හමුවූ සැකකරුගේ යයි සැක කළ භාණ්ඩ සියල්ල සැකකරු විසින් භාවිතා කළ භාණ්ඩ බැව් අධිකරණයේදී තහවුරු වූ අතර සැකකරු විසින් දමා ගොස් තිබුණු හිස් වැසුම සැකකරු භාවිතා කළ නමුත් වෙනත් අයෙකුට අයිති හිස් වැස්මක් බවද සොයාගන්නා ලදී. ඒ අනුව එකී හිස්වැසුමේ සැබෑ හිමිකරු වූයේ ගල්ගමුව, දිවුල්ගනේ ප්‍රදේශයේ පදිංචි ලලිත් අශෝක හේරත් නමැති අයෙකි.

ලංසාගේ ප්‍රියන්ත මේදිස් නොහොත් කංගැට්ටාගේ හැඳුනුම්පත ඔහු සන්තකයේ නොවීය. එය කොහේ ඇත්දැයි සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූයේ එකී හැඳුනුම්පත කොච්චිකඩේ ප්‍ර දේශයේ ඉන්ධන පිරවුම්හලක හිමිකරුවෙකු ළඟ ඇති බවයි. එය සොයාගෙන යනවිට දැක ගැනීමට හැකිවූයේ ‘සැකකරුගේ ඡායාරූපයක් සහිතව මොහු ගැන තොරතුරක් ලබාදෙන ලෙස ඉල්ලා‘ මුද්‍රණය කළ පෝස්ටර් ඇළවීමට ගිය ගමනේදී පෝස්ටර් ඇළවීමට ඉඩදිය නොහැකි බවට අපරාධ පරීක්ෂණ නිලධාරීන් සමග ගැටුමකට පැමිණියේ මෙම ඉන්ධන පිරවුම්හළේ හිමිකරු බවයි. කංගැට්ටා ටික දිනක් මෙම ඉන්ධන පිරවුම්හලේ සේවය කර ඇති අතර එම හිමිකරු නිසි වැටුපක් ලබා නොදුන් බැවින් පිරවුම් හලේ සීසීටීවී කැමරාව කොට්ටං අත්තක් නවා වසාදමා එතැනින් රු. ලක්ෂයක මුදලක් රැගෙන පලාගොස් ඇති බව සැලවිය. තමන් ළඟ සේවයට පැමිණෙන්න්ගේ හැඳුනුම්පත හිමිකරු බාරයේ තබාගෙන නිවාඩු ලබා යනවිට පමණක් එය හිමිකරුට ලබාදීම ඔහුගේ ක්‍රමවේදයයි. මේ අනුව කංගැට්ටා එතැනින් පලාගියද, ඔහුගේ හැඳුනුම්පත ඉන්ධන පිරවුම්හලේ හිමිකරු සන්තකයේ තිබිණි. තමාට කළ කෙනෙහිලිකමට පලිගැනීමේ චේතනාවෙන් සිටි හිමිකරු, පොලිස් නිලධාරීන් විසින් ඔහු අල්ලාගනු ලැබුවහොත් තමාට එකී අවස්ථාව අහිමිවන බැවින් පොලිස් නිලධාරීන්ට සහයදීමට මැලිවූ බව හෙතෙම පසුව ප්‍රකාශ කළේය.

ජාතික අපරාධයක් වන ජාතික කෞතුකාගාරයේ සොරකම සිදුකළ ලංසාගේ ප්‍රියන්ත මේදිස්, බලඔළුවා හෙවත් කංගැට්ටා යන අයත්, එම කෞතුක භාණ්ඩ සන්තකයේ තබා ගත් හා දැනුවත්ව හෝ නොදැනුවත්ව එයින් කිහිපයක් විනාශ කළ පුද්ගලයින් සියලුමදෙනා සම්බන්ධයෙන් මේවන විට නිසි ලෙස විමර්ශන පවත්වා අදාළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයාට යොමුකර තිබේ. එහෙත් නීතිපතිවරයා, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.

රංජිත් විජේබණ්ඩාර

නව අදහස දක්වන්න