හිමින් ගමන ස්ථාවරයි | දිනමිණ

හිමින් ගමන ස්ථාවරයි

නිරුක්ෂාන් ඒකනායක

 මෙරට ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ජනතාව ඔහු ගැන කතා බහ කිරීම අරඹන්නේ 'අංකල් සෑම්' ටෙලිනාට්‍යය වෙතිනි. ඒ තැඹිලිකරුගේ භූමිකාව නිසාය. මෙය චතික පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. උදය ප්‍රියන්ත කංකානම්ගේ පිටපත් රචනයකි. 'අංකල් සෑම්' නිල්වලා ආයතනයේ නිෂ්පාදනයකි. මෙහි දෙවැනි සහාය අධ්‍යක්ෂවරයාගේ භූමිකාවද හේ නිරූපණය කළේය. ඔහු නිරුක්ෂාන් ඒකනායක වේ.

 

ඉන්දීය දමිළ ජාතික සිනමාවේදී චෙයියාර් රවීගේ 'ධර්ම යුද්ධය' තුළින් ඔහු සිනමා ප්‍රේක්ෂක ජනතාවගේ ආකර්ෂණයටද ලක්ව සිටියි. ඒ කාර්යාල සේවක පාලිතගේ භූමිකාව තුළිනි.

නිරුක්ෂාන් ඒකනායක මෙරට ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමට වාසනාවන්තව ඇත. එහෙත් ඔහු ගෙවා පැමිණි දුරු කතර රෝසමල් අතුරන ලද්දක් නොවේ. කටු කොහොළින් පිරි ගිරිදුර්ග සහිත මාවතකි. එහි දුක් කඳුළු, කළකිරීම්, බිඳවැටීම්, ඇද වැටීම්, බාධා කිරීම්, අධෛර්යමත් කිරීම් බොහෝ විය.

නිරුක්ෂාන් ඒකනායක පාසල් කීපයකින් අධ්‍යාපනය ලැබීමෙන් පසු හම්බන්තොට වීරකැටිය, මණ්ඩාඩුව මහ විද්‍යාලයට ඇතුළත් විය. ඒ හත්වැනි වසරටය. එහිදී හේ විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායමේ සාමාජිකත්වය ලැබීය. පාසල් සාහිත්‍ය රැස්වීම්වල දී මේ නාට්‍ය කණ්ඩායම විනාඩි විස්සේ කෙටි නාට්‍ය රඟ දක්වන ලදී. ජාතක කතා, ජන කතා, වර්තමාන සමාජයේ කතා මේ සඳහා මාතෘකා සැපයීය.

ඒවා ආදර්ශමත් කතාය. මේ කෙටි නාට්‍යවලට රංගනයෙන් අධ්‍යක්ෂණයෙන් නිරුක්ෂාන් ඒකනායක සහභාගී විය. සාහිත්‍ය රැස්වීම්වලට පමණක් සීමා නොවුණු ඔවුහු සමස්ත ලංකා නාට්‍ය තරගවලට පවා ඉදිරිපත් වූහ. ඒවායින් ජයග්‍රහණද ලැබූහ.

තම පියාගේ හදිසි වි‍යෝවත් සමඟ නිරුක්ෂාන් ඒකනායක‍ලාගේ නිවසේ පැවැති ආර්ථිකය බිඳවැටෙන්නට විය. දුක් කම්කටොළු හමුවේ ඔහු අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වේ. එහෙත් ඉන් එහා අධ්‍යාපනයක් පිළිබඳ සිතීම පවා සිහිනයකි. අකමැත්තෙන් හෝ නිරුක්ෂාන්ට සොඳුරු පාසල් ජීවිතයට ආයුබෝවන් කීමට සිදු වේ. හේ රැකියාවක් කිරීමට පෙළඹේ. කුමක් හෝ වෘත්තීයක නිරතවීමට තමාට සුදුසුකමක් නොමැති බව වටහාගත් ඔහු වෘත්තීය පුහුණු අධිකාරියට බැඳේ. එහිදී ජුකී මැෂින් පිළිබඳ වූ කාර්මික පාඨමාලාව හදාරන්නේය.

2005 වසරේදී නිරුක්ෂාන් ඒකනායක නම් තරුණයා කොළඹ නගරයට සේන්දු වේ. ඒ රැකියාවක් කිරීම සඳහායි. ඔහුට රථවාහන සේවා කිරීමේ ස්ථානයක සුළු රැකියාවක් ලැබේ. වසර දෙකක් පමණ එහි සේවය කරන හෙතෙම ඉන් ඉවත්ව බියගම පිහිටි ඇඟළුම් ආයතනයක සේවයට පැමිණෙයි. ඒ යන්ත්‍ර ක්‍රියාකරවන්නකු ලෙසටය.

මේ තරුණයා නවාතැන් ගන්නේ වඩුවේගම පිහිටි නවාතැන්පොළකය. එහි තවත් එක් තරුණයෙක් ‍නැවතී සිටී. ඔහු සතිපතා තරුණයා පුවත්පත මිලදී ගනියි. නිරුක්ෂාන් ඒකනායකට එක් දිනක් අහම්බෙන් තරුණයා පුවත්පතේ පළ වී තිබූ වෙළෙඳ දැන්වීමක් නෙත ගැටේ. එහි සඳහන් වන්නේ චිත්‍රපටයක් සඳහා නවක නළු නිළියන් බඳවා ගැනීමකි.

කොණ්ඩය සහ රැවුල වැවූ ශිල්පීන් සඳහා විශේෂත්වයක් දක්වන බවත් එහි සඳහන්ව තිබිණි.

පුවත්පතේ වූ කුඩා දැන්වීම නෙත ගැටීමෙන් එතෙක් තම සි‍තෙහි තෙරපාගෙන සිටි සිහිනය දියෙන් මතුව ආ රබර් බෝලයක් සේ ඉහළට එසැවිණි.

මේ වන විට හේ තම කොණ්ඩය දිගට වවා තිබුණි. නිරුක්ෂාන් ඒකනායක සම්මුඛ පරීක්ෂණයට සහභාගීවන බව ඉටා ගත්තේය. සම්මුඛ පරීක්ෂණය පැවතියේ 'විජය කුවේණි' නම් සිනමා පටයට නළු නිළියන් බඳවා ගැනීම සඳහාය. එහි අධ්‍යක්ෂවරයා වූයේ සුගත් සමරකෝන්ය. නිරුක්ෂාන් ඒකනායක සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගැනුණි. තෝරාගත් ශිල්පීන් සඳහා සය මාසික වැඩමුළුවක් පැවැත්වෙන බව අධ්‍යක්ෂවරයා කීවේය.

නිරුක්ෂාන් තම රැකියාවට ආයුබෝවන් කියා නැවතත් කලාවට පිළිපන්නේය.

ඔහුව, 'විජය කු‍වේණි' සිනමා පටයේ සුළු චරිතයක් සඳහා තෝරා ගැනිනි. එසේම නිරුක්ෂාන්ව සහාය අධ්‍යක්ෂ කණ්ඩායමටද බඳවා ගත්තේය.

'විජය කු‍වේණි' වැඩමුළුව පැවැත්වෙන අතරතුර ඔහු එහිදී ඇතිකරගත් දැනහැඳුනුම්කම් මත ටෙලිනාට්‍ය සඳහා අවස්ථා ලැබිණි. නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂය කළ 'හිරු සඳු තරු' එයින් එක් අවස්ථාවකි. එහි නිරුක්ෂාන් දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා වූයේය. 'චරිතයකට පාට දෙන්න' ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමේ අවස්ථාවද ඔහුට ලැබුණේ මෙහිදීය. එහි හේ සුළු චරිතයක් කළේය. එය ඔහුගේ ප්‍රථම ටෙලිනාට්‍ය රංගනය විය.

සුගත් සමරකොන්ගේ 'විජය කුවේණි සිනමාපටයේ රූගත කිරීම්වලින් පසු නිරුක්ෂාන් ඒකනායකට තවත් සිනමා පටයක් සඳහා ආරාධනා ලැබිණි. ඒ නිශාන්ත වීරසිංහගේ 'එතුමයි මෙතුමයි' සිනමා පටය සඳහාය. එහි නිෂ්පාදන කටයුතු කළේ නිල්වලා ආයතනයයි. නිරුක්ෂාන් එහි දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.

එතැන් සිට ඔහු වෘත්තීමය වශයෙන් දෙවැනි සහාය අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කරන්නට පටන් ගත්තේය. තිස්ස විජේසේකරයන්ගේ 'සිහිනයකි ජීවිතේ' ටෙලි නාට්‍ය දෙවැනි සහාය අධ්‍යක්ෂක වූයේ නිරුක්ෂාන් ඒකනායකය. එම ටෙලිනාට්‍ය නිල්වලා ආයතනයේ නිෂ්පාදනයක් විය.

හැරල්ඩ් විජේසිංහගේ ප්ලස්වන් නිෂ්පාදන ආයතනයට එක්වූ ඔහු එහි නිෂ්පාදනය වූ සුරංජන් විජේනාමගේ 'යර්ස් මැඩම්', චන්න පෙරේරාගේ 'සිදංගනාවෝ' ටෙලිනාට්‍යවල දෙවැනි සහාය අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කළේය.

ටෙලි නාට්‍යවල දෙවැනි සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ ද නිරුක්ෂාන් ඒකනායක නම් තරුණයාගේ සිතේ කොනක පැළපදියම්ව තිබුණේ රංගනය කෙරෙහි වූ සිහිනයයි.

චතික පෙරේරාගේ 'බ්‍රහ්ම මුර්ති' ටෙලි නාට්‍යයට සම්බන්ධ වන ඔහුට එහිදී දෙවැනි සහාය අධ්‍යක්ෂණයට ‍අමතරව තවත් කාර්යයකට සම්බන්ධවීමේ අවස්ථාව ලැබිණි. ඒ රංගනයටය. මෙහි අධ්‍යක්ෂකවරයා නිරුක්ෂාන් ඒකනායකගේ රංගන කුසලතාවක් සැඟව ඇති බව දුටුවේය. ඒ ටෙලි නාට්‍යයට සම්බන්ධ රංගන ශිල්පීන්ට දෙබස් මතක් කරදීමේදී ඔහු පෑ හැකියාවයි. නිරුක්ෂාන් රංගන ශිල්පීන්ට දෙබස් මතක් කරදෙන්නේ වෙනත් සහාය අධ්‍යක්ෂකවරුන් සේ නොව තමා තුළ සැඟව ඇති ‍රංගන හැකියාවද ඉස්මතු කරමිනි. ඔහු 'බ්‍රහ්ම මුර්තිය' ටෙලි නාට්‍යයේ රියැදුරකුගේ චරිතයක්ද කළේය.

චතික පෙරේරාගේ 'භව චක්‍ර' ටෙලිනාට්‍යයේද ඔහු බුදන් නම් මෝඩ පහේ තරුණයකුගේ චරිතයකට ප්‍රාණය දුන්නේය. එය සැලකිය යුතු චරිතයකි.

චතික පෙරේරාගේ 'අංකල් සෑම්' ටෙලි නාට්‍යයේද ඔහු චරිතයක් කළේය.

නිරුක්ෂාන් ඒකනායක පසුව චිරාත් ටෙලි ෆිල්ම්ස් ආයතනයට සම්බන්ධ විය. එහි නිෂ්පාදනයක් වන 'අත්තම්මා' ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් කළේය. එය තිළිණ බොරලැස්සගේ අධ්‍යක්ෂණයකි.

මෙරට ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයාගේ අතිශය අවධානයට ලක්වූ තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කළ 'සිඳු' ටෙලි නාට්‍යයටද ඔහු සම්බන්ධ විය. ඒ රංගනය සඳහාය. එහි හේ සැලකිය යුතු භූමිකාවකට ජීවය දුන්නේය. ඒ පෙම්වතකුගේ චරිතයකි.

දිමුතු ඔගස්ට් නම් මිතුරා හරහා නිරුක්ෂාන් ඒකනායකට සාරංග මෙන්ඩිස් නම් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා හඳුනාගැනීමේ භාග්‍ය හිමි විය. එහි ප්‍රතිඵලයක් ලෙස සාරංග මෙන්ඩිස්ගේ 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයට සම්බන්ධවීමට ඔහුට හැකි වේ. එහි දෙවැනි සහාය අධ්‍යක්ෂකවරයාද ශෙරාන් නම් තරුණයාගේ චරිතයද නිරුක්ෂාන්ට හිමි වෙයි.

ජයප්‍රකාශ් ශිවුගුරුනාදන්ගේ 'ආදර නිල් දෑස', නිල්වලා ආයතනයෙන් නිෂ්පාදනය කරන 'මදුමතියේ' ටෙලිනාට්‍යයෙන්ද, තරුෂි පෙරේරා නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යයකින්ද ඉදිරියේදී ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ඔබට නිරුක්ෂාන් ඒකනායක හමුවනු ඇත.

ටෙලිනාට්‍ය රංගනයට අමතරව ඔහු ගීත රූප රචනා රංගනය සඳහාද දායක වී සිටියි. හේ ගායනයටද දක්ෂයෙකි. රංගනයෙන් වගේම ගීත ගායනයෙන්ද තම ආදරණීය ප්‍රේක්ෂකයින් සතුටු කරන්න තමා කැමැත්තෙන් පසුවන බව නිරුක්ෂාන් ඒකනායකගේ බලාපොරොත්තුවයි.

ඉදිරියේදී පැවැත්වෙන විදේශ සංගීත ප්‍රසංග කිහිපයකටද ආරාධනා ලැබී ඇති බව ඔහු කියා සිටියේය. රංගනය වැඩිදුරටත් හදාරන්නට බලාපොරොත්තු වන මේ නවක රංගන ශිල්පියා ඒ සඳහා ඉන්දියාවේ සිනමා පාසලක් දැනටමත් තෝරාගෙන ඇති බව කීය. නිරුක්ෂාන් ඒකනායකගේ එකම සිහිනය දක්ෂතාවෙන් පිරිපුන් රංගන ශිල්පියෙක් වීම බව ප්‍රකාශකර සිටියේය.

අනුසාර මාහිංගොඩ 
ඡායාරූපය - තිලක් පෙරේරා

නව අදහස දක්වන්න