බීර ප්‍රශ්නය පෙට්ටි කඩේට ඇවිත් | දිනමිණ

බීර ප්‍රශ්නය පෙට්ටි කඩේට ඇවිත්

අයවැයක් කියන්නේ රටක් කරවන්නට සල්ලි හොයාගන්න කරන යෝජනා හා වියදම් කරන ආකාරය දැක්වෙන ලියවිල්ලක් විතරක් නෙවෙයි. ඒක රටේ සංවර්ධනය පිළිබඳ ඉදිරි දැක්මක්. ඒත් වැඩිදෙනෙක් ඒක බාරගන්නේ එතැනින් නෙවෙයි. අපි පුංචි කාලෙ ඉඳලම අපට අහන්න දකින්න ලැබුණේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප කීයක් වැඩිකරනවද, හාල්-පොල්-පරිප්පු-සීනි-මිරිස් වගේ දේවල්වල මිල අඩුකරලද? කියන ප්‍රශ්නවලට අයවැයෙන් උත්තර හොයන අය විතරයි. ඒත් මේ අපේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. රට කරවන ඇත්තන් වැජඹෙන දියවන්නාවෙ සිට ජෙමාගෙ පෙට්ටි කඩේ දක්වාම මේ පිළිබඳ නිසි සංවාදයක් හා වටහාගැනීමක් නෑ. බීර මිල අඩුකරන්නට මෙවර අයවැයෙන් ගෙනා යෝජනාව පිළිබඳ දියවන්නාවේ යෙහෙන් වැජඹෙන රතු පැටව් පවා හිටියේ අනාගතවාදී තැනක නෙවෙයි. හරිම සම්ප්‍රදායික, මෝඩ තකතීරු ස්ථාවරයකයි. කොහොම වුණත් අපේ පෙට්ටිකඩේ ඔය දියවන්නාවෙ ඇත්තන් ඉන්න තැනට වඩා ටිකක් හොඳ කතා බහක් වුණා. කතා බහට මුල පිරුවේ ඉස්කෝලෙ මහත්තයා. එයා හිටියේ අර රතු පැටව් ඉන්න මතයේමයි.

“අපොයි බීර මිල අඩුකරන්න හොඳ නෑ. ඒකෙන් අපේ ළමයි ඔය බීමට වැඩියෙන් ඇබ්බැහි වෙනවා. ඒ යෝජනාව නම් සංශෝධනය වෙන්න ඕන“ ඉස්කෝලෙ මහත්තයා කීවා.

“මිල අඩු කළාම වැඩි වෙනවනම් මිල වැඩි කළාම අඩු වෙන්නත් එපායැ. දැන් ඔය පහුගිය කාලෙ සැර මත්පැන්, දුම්වැටි ආදියේ ගණන් ඉස්සුවා නහුතෙට. ඇත්තටම ඒවා පාවිච්චි කරන උන් අඩුවුණාද?" වීරේ ඇහුවා.

“ඒක නම් ඉතිං මං දන්නෙ නෑ. මං ඔය පර්යේෂණ, සමීක්ෂණ කරන්න ගියෙ නෑ. මං කියන්නෙ හැමෝම කියන විශ්වාස කරන දේ“ ඉස්කෝලෙ මහත්තයා කීවේය.

“හැමෝම දකින දේ කියන්න විශ්වාස කරන්න ඔහේ වගේ ඉගෙන ගෙන ළමයින්ටත් මඟ කියන රස්සාවක් කරන්න ඕනේද? ඒක මේ අපි හැමෝටම කරන්න පුළුවන්නෙ. අඩුම ගාණේ උගත්තු යයි කියන උන්වත් මේ දේවල් ගැන හැමෝම කියන දේ කියන්නෙ නැතුව දෙයක් හොයලා බලලා හිතලා මතලා කතා කරනවනම් කොච්චර හොඳද?“ දසයා කීවා. ඒ වෙලාවෙ දසයා දිහා නොරුස්සනසුළු බැල්මක් දාපු ඉස්කෝල මහත්තයා නිහඬවුණා.

මොන මොන භාණ්ඩ මිල ඉහළ ගියත් ඊට සමානව මිනිස්සුන්ගේ ආදායම ඉහළ යන්නෙ නෑ. ආදායම ඉහළ යන්නෙ බොහෝම හෙමින්. මිනිස්සුන්ගේ වැටුප් වැඩිවෙන්නෙත් බොහෝම හෙමින්. ගමක කුලියක් මලියක් කරගෙන, ගොවිතැනක් බතක් කරගෙන ජීවත්වෙන මිනිස්සුන්ට මේ තත්ත්වය තවත් බරපතළයි. ඒත් මත්පැන්, දුම්වැටි කියන්නෙත් මිනිස්සුන්ගෙ පාරිභෝගික භාණ්ඩ. ගොඩක් දෙනෙක් හිතන්නෙ ඒක අත්‍යවශ්‍ය නැති නිසයි, ඒක සදාචාරයට විරුද්ධ නිසයි, ඒකෙන් ලෙඩ රෝග හැදෙන්න තියෙන ඉඩකඩ නිසයි ඒවායෙ මිල වැඩි වුණාට කමක් නෑ කියලයි. එත් මත් පැන් නොබොන නමුත් සදාචාරයට පටහැණි දේවල් නොසෑහෙන්න කරන අය අපි අතර ඉන්නවා. ජාතිවාදය, ආගම්වාදය, පතුරුවන එකත් පට්ට අපරාධයක්. මත්පැන් බීවොත් ඒකෙන් හානි වෙන්නෙ පුද්ගලයකුට වුණත් ජාතිවාදය වැපිරීමෙන් හානි වෙන්නෙ සමස්ත සමාජයටමයි. මතු උපදින පරම්පරාවන්ටයි. අද කාලෙ ලෙඩ රෝග බහුලවම හැදෙන්නේ ආහාර සංස්කෘතිය හින්දයි. තෙල්, විෂ රසායන, ක්ෂණික ආහාර, විෂබීජ වෙළෙඳ දැන්වීම්කාරයන් මොනව කීවත් සෞඛ්‍යයට අහිතකරයි. ඒවායින් වන හානිය ගැන ලොකු කතා බහක් නෑ. ඒත් මොකක්දෝ හේතුවකට මත්පැන් ගැන හදලා තියෙන යක්ෂයා බොහෝම ලොකුයි.

“දැන් ඉතිං තවත් හානිදායක දේ ගැන කියන එක එක හානිදායක දේකින් බේරෙන්න තියෙන හොඳම විදිහ නෙවෙයි නේද?" බුරම්පි සීයා අහනවා.

“ඒ කීවේ?“ ජෙමාට ප්‍රශ්නය තේරිලා නෑ.

“ජාතිවාදයත් හානිදායකයි. මත්පැනුත් හානිදායකයි. ඉතිං ජාතිවාදය හානිදායක හින්දා මත්පැන් වුණත් නරක නෑ කියන එක හොඳද?

ඇත්තටම සීයා අහන්නෙ හොඳ ප්‍රශ්නයක්. කෙනෙක් වැරැද්දක් කරන එක තවත් කෙනකුට වැරැද්දක් කරන්න දෙන අනුබලයක්ද? එහෙමත් නැත්තනම් අවසරයක්ද? වගේ එකක්. මං උත්තරයක් දෙන්න ගත්තා.

“අපෙ වැඩි දෙනෙක් බලන්නෙ අයවැයෙන් අඩුවෙන්නෙ මොනවද වැඩිවෙන්නෙ මොනවද ඒක පොකැට්ටවුට බලපාන්නෙ කොහොමද කියන එක විතරයි. ඒත් ඒක මිනිස්සුන්ගේ ජීවිතයට, සමාජ සම්බන්ධතාවලට, පොදුවේ රටට බලපාන්නේ කොහොමද කියන එක ගැන තක්සේරුවක් නෑ. බීර ප්‍රශ්නෙත් එහෙමයි. සැර මත්පැන් එක්ක බලද්දී බීරවල තියෙන ඇල්කොහොල් ප්‍රතිශතය ඉතාම අඩු නිසා ඒකෙන් ශරීරයට අහිතකර බලපෑම සාපේක්ෂව අඩුයි. ශරීරයට අත්‍යවශ්‍ය ආහාර පාන වුණත්, වතුර වුණත්, ඖෂධ වුණත් ප්‍රමාණයට වැඩියෙන් ගත්තම, නිතර ගත්තම ශරීරයට හිතකර නෑ.

ඒක බීරවලටත් අදාළයි. ඒත් ඒ අවශ්‍යතාව දැනෙන පුද්ගලයාට කරවල කෑල්ලට, හාල් ටිකට, පොල් ගෙඩියට වගේම මේකටත් වියදම් කරන්න ඕන. ඒක මිල වැඩිවුණාට අඩුවෙන්නෙ නෑ. මිනිසුන්ගේ එදිනෙදා කන බොන නිදාගන්න එකට හැරුණම ඉතිරිවෙන මුදලක් හදලක් තමයි සංස්කෘතික ජීවිතයට වියදම් කරන්නේ. ඒ කියන්නේ චිත්‍රපටයක් බලන්න, පොතක් පතක් මිලට අරන් කියවන්න, නාට්‍යයක් බලන්න. ඒ වගේ ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය දේ මිල ඉහළ යනවා කියන්නේ අර සංස්කෘතික ජීවිතයට ගෙවන්න තියෙන මුදල නැති වෙනවා.

ඒ වගේ මත්පැනක්, දුම්වැටියක් වුණත් ගන්න මිනිහගෙ ඊට ගෙවන මුදලට ඒ වෙනුවෙන් භාණ්ඩ වැඩි නොවී වෙනදා ගන්න භාණ්ඩයටම වැඩිපුර මුදලක් ගෙවන්න වුණාම වෙනත් දේකට වියදම් කරන්න තියෙන සල්ලි නැතිවෙනවා. එකතැනකින් අඩු කළාට තව තැනකින් ජීවිතේ කප්පාදු වෙනවා.“ මං කීවා.

“දැන් ඕක බීරවලට බලපානේනෙ කොහොමද?“ ඉස්කෝලෙ මහත්තයා අහනවා.

“වඩාත් විස සහිත හොර කසිප්පු. වඩාත් විස සහිත විදේශීය මත්පැන් කෙරෙහි තියෙන ඉල්ලුම අඩුවෙලා විස අඩු නමුත් අවශ්‍යතාව පිරිමැසෙන පානයකට නැඹුරු වෙනවා. මිල අධික සැර දේට වියදම් කරලා පොකැට්ටුව හිස් වෙච්චි මිනිස්සුන්ට තම දරුවො එක්ක, බිරිය එක්ක සතුටුවෙන්න, විනෝද සවාරියක් යන්න, නාට්‍යයක්-චිත්‍රපටයක් බලන්න වගේ සංස්කෘතික ජීවිතය පෝසත් කරගන්න පොකැට්ටුවේ කීයක් හරි ඉතුරු වෙනවා.“

“හ්ම්..බලාගෙන ගියාම කතාව ඇත්ත වගේ“ ඉස්කෝලෙ මහත්තයා අන්තිමට කියනවා. යමක් කරන්නම නෙවෙයි, අඩුම ගාණේ රාමුවෙන් පිට හිතන්න පුළුවන් මිනිස්සු රටකට අවශ්‍යයි.

බණ්ඩි රාල

නව අදහස දක්වන්න