සිගරට් ඉවර ද? | දිනමිණ

සිගරට් ඉවර ද?

 ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය 5% කින් අඩුවී ඇතැ’යි ප්‍රවෘත්තියක් පළවී තිබේ. මේ ගැන අප සතුටුවිය යුතු ය. එක්තරා පණ්ඩිතයකුගේ අදහසට අනුව දුම්වැටි භාවිතය ගැන කතා කිරීමේදී එක අතෙකින් ගින්දර ද, තව අතෙකින් මෝඩයකු ද ප්‍රදර්ශනය වන්නේ යැයි කියමනක් තිබේ. දුම්වැටි පරිභෝජනය ද, එහි නිෂ්පාදනය ද ඊට අදාළ අනෙකුත් ක්‍රියාකාරකම් ද බලනවිට මේ වනාහී එක්තරා ව්‍යාපාරයකි. එම ව්‍යාපාරය ලෝක ව්‍යාපාර පද්ධතිය විසින් මෙහෙයවනු ලබන බව අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය 5%කින් අඩුවී ඇතැ’යි කීම හැම අතකින්ම ජයග්‍රාහී පියවරකි.

මේ ප්‍රවෘත්තියත් සමඟ අපට දැනෙන තව කරුණු හා සාධක කිහිපයක් තිබේ. එක; මේ අයුරින්ම ලංකාවේ මත්පැන් පානය අඩු කළ හැකි බවය. දෙක; ඒ සමඟින්ම අපේ මත්ද්‍රව්‍ය භාවිතය අඩු කළ හැකි බවය. තුන; දුම්වැටි භාවිතය හා මත්ද්‍රව්‍ය භාවිතය අඩු කළ හැකි නම්; මතින් තොර රටක් ගොඩනැගිය හැකි බවය. මෙය ක්‍රමානුකූලව ගොඩනැඟිය හැකි දෙයකි. දුම්වැටියක් ඉරීමට පුද්ගලයා යොමුවන්නේ ස්වාභාවික තත්ත්වයන් යටතේය. ඊට කිසිවකුටත් දොස් පැවරිය නොහැකිය. එහෙත් එහි විශාල ව්‍යාප්තියක් හා ප්‍රසාරණයක් තිබේ. අප නවතාගත යුත්තේ එයයි. අහෝසි කළ යුත්තේ එයයි.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රයක් ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබේ. ආසියාවේ වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේදී රට තුළට බෙදාහරින බව ද රටින් බැහැරට බෙදාහරින බව ද වාර්තා වී තිබේ. මෙය ප්‍රබන්ධයක් නොව; ඇත්ත කතාවක් බව නොයෙක් සාධකවලින් පැහැදිලිවී තිබේ. ඒ සමඟම කල්පනාවට ගතයුතු කාරණයක් වන්නේ දුම්වැටි ඉරීම මෙහි පාදක සාධකය බවය. සිගරැට්ටුවක්, සුරුට්ටුවක්, බීඩියක් උරන මිනිසාට ඉන් එහාට යා හැකිය. මත්ද්‍රව්‍ය භාවිතයේ පළමු සාධකය ලෙස සලකන්නේ ද දුම්වැටි ඉරීම ය. සිගරැට්ටුවට ගංජා ඇතුළුකර පසුව එය සකස්කොට මත්වීම සඳහා උරන බව අප දන්නා කාරණයෙකි.

දේශපාලන වශයෙන් ගතහොත් මේවා ප්‍රවර්ධනය වීමට එම කරුණු අදාළවේ. දේශපාලකයන් හා මත්ද්‍රව්‍ය අතර ඇති සම්බන්ධය නොයෙක් අයුරින් විග්‍රහයට ලක්වී ඇත. පසුගිය කාලයේ තොරතුරු විශ්ලේෂණය කළ‍හොත් මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස දේශපාලකයන් සිටි බව රහසක් නොවේ.

මේ පිළිබඳ නොයෙක් පරීක්ෂණ හා විමර්ශන සිදුවී ඇතත්; දේශපාලකයන් නීතිය හමුවට පත්වූ බවක් අප දන්නේ නැත. එහි අර්ථය වන්නේ දේශපාලකයන් මේ ගැටුමෙන් ඉතා සූක්ෂම ලෙස මගහැර යන බවය. ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතයට පමණක් නොව; මත්ද්‍රව්‍ය ජාවාරමට ද දේශපාලකයන්ගේ සම්බන්ධතාවක් ඇති බව අප වටහාගත යුතු ය.

2015 ජනවාරි දේදුනු විප්ලවයේ අර්ථය වන්නේ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම ය. ඒ ඔස්සේ යහ පාලනයක් බිහි කිරීමය. එහිලා නීතියේ ආධිපත්‍යය ප්‍රමුඛවේ.

නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම්; මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුය. ඔවුනට කිසිදු විශේෂ සමාවකින් තොරව දඬුවම් ලබාදිය යුතුය. එහෙත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත. අප දකින්නේ තවම පරණ පාරේ යන සමාජයකි. පරණ පාරේ යන පාලන තන්ත්‍රයකි. ඒ අතර දුම්වැටි සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ගැන ද එහි ප්‍රතිඵල ගැන ද අපි පුදුමයට පත්වී සිටිමු.

හැබෑවටම එහි ප්‍රතිඵලය විශිෂ්ට ය. අද මත්පැන් භාවිත කරන අය ද දුම්වැටි පාවිච්චි නොකරති. එහි අර්ථය වන්නේ අඩියක් ගසා සිගරැට්ටුවක් නොබී යන තත්ත්වයකි. සොයා බැලිය යුත්තේ මේ ආස්ථානය ඇති කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගය කුමක් ද යන්න ගැනය.

දුම්වැටි භාවිතය අඩු කිරීම සඳහා නෛතික බලපෑමක් සිදුකර නැත. 5%කින් දුම්වැටි භාවිතය අඩුවී ඇත්තේ මුළුමනින්ම පුද්ගලයා දැනුවත් භාවයට පත් කිරීම තුළය. මෙය හොඳ ආදර්ශයකි. හොඳ පාඩමකි. මේ මාර්ගය අනුගමනය කළහොත් මත්පැන් භාවිතය ද අඩුකළ හැකිය.

මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි සමාජය විකෘති කරන හා සමාජයේ ආකල්පය වෙනස් කරන උත්තේජකයන් ලෙස හඳුනාගෙන තිබේ.

එම උත්තේජක මාරාන්තික යැයි තවත් ආකාරයකින් කිව හැකිය. අද ජනාධිපති කාර්යසාධක කිහිපයක් ක්‍රියාත්මක වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිවය. එය සැලැකිය යුතු ප්‍රවර්ධනයකි. ජනාධිපතිවරයාගේ සුචරිත සමාජය ගොඩනැඟීම ක්‍රමයෙන් සාක්ෂාත් වන බව පෙනෙන්නට තිබේ.

නව අදහස දක්වන්න