අන්ජා­නා­ස­නය | දිනමිණ

අන්ජා­නා­ස­නය

නිරෝගී ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන

 

ප්‍රවීණ යෝගාචාර්ය
අභය ශ්‍රී ගුරුගේ

‘අන්ජානා‘ යනු වැඳිරියයි. වඳුරු ඉරියව් පිළිබිඹු වන නිසා මේ යෝගාසනය ‘අන්ජාසනය‘ නමින් හැඳින්වේ.

ඇතැම් යෝගීහු මෙය ‘හනුමාන් ආසනය‘ නමින් ද හඳුන්වයි.

යෝගා පුහුණුවීම් කරන කාලය තුළ, වෙනත් කටයුතුවලින් බැහැරව සිටීම වැදගත් ය. ජංගම දුරකථන භාවිතයෙන් ගත සිත ඒකාග්‍රතාව බිඳී යන හෙයින්, එවැනි අවහිරවලින් අත්මිදෙන්න.

වෙනත් ක්‍රීඩාවලදී මෙන් ඉක්මනින්, කලබලයෙන් පුහුණුවීම් නොකරන්න. ස්වාසනය, සිංහ සෙයියාව සහ බාලාසනය වැනි ගත සිත විවේක ගන්වන ආසනවල ද අතරින් පතර රැඳී සිටින්න. සෑම යෝගාසන යුගලයකටම පසු ස්වාසනයේ රැඳී සිටීම පුරුද්දක් කර ගන්න. යෝගා මඟින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැක්කේ එලෙස විවේක ගනිමින් ආසන ප්‍රාණයාමවල යෙදීමෙනි.

ලෙඩ රෝගවලින් තොරව ගතසිත නීරෝගීව, සමබරව පවත්වා ගැනීම, සාර්ථක දිවිපෙවෙතකට හේතු වේ. මේ මොහොත වනවිට අප ජීවත් වන ලෝකය විද්‍යාවෙන්, තාක්ෂණයෙන් ඉහළ ම දියුණුව කරා පියනගා ඇත. ඒත්, ඈත අතීතයේ ජීවත් වූ සිංහල බෞද්ධයන්ගේ ජීවිත පිළිබඳ මෙනෙහි කිරීමේදී, ඔවුහු කෙතරම් නීරෝගී, ශක්තිසම්පන්න, බුද්ධිසම්පන්න, ප්‍රඥාසම්පන්න, ප්‍රතාපවත් මිනිසුන් ලෙස ජීවත් වුණාද? අද කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා ගැහැනු - පිරිමි බොහෝදෙනා විවිධ ලෙඩ රෝගවලින් පෙළෙති. දුරවලවී සිටිති. වේදනා විඳිති. එසේ නම්, ලෝකය ලබා ඇති දියුණුව කුමක්ද?

ස්වභාව ධර්මයේ බලය අභිබවා යෑමට දිරි දරන මිනිසා, ස්වභාවධර්මයේ ශාපයට ලක්වී සිටිති.

ඔබ යෝගී ජීවිතයකට ළං වූ විට, ඔබට අපේ මුතුන්මිත්තන් ලෙස නීරෝගී ප්‍රතාපවත් ජීවිත ගතකළ හැකි ය. ඔබටත්, ලෝකයටත් කළහැකි උත්තරීතරම සේවය එයයි.

 

අන්ජානාසනයෙහි රැඳෙන පිළිවෙළ

ඔබේ යෝගාස්තරණය මත වජ්‍රාසනයෙහි විනාඩි දෙකක් රැඳී සිටින්න. දැන් දෙඅත කඳ දෙපසින් පොළොවට තබමින්, කඳ මදක් උස්සා දකුණු කකුල දණහිස අසලින් නමා, යටිපතුල පොළොවට තදකර ගන්න. වම් කකුල, දණහිසෙන් පහළ කොටස පොළොවේ ගෑවෙන පරිදි පිටුපසට දිගු කරන්න. දැන් දකුණු කකුලේ යටිපතුල සෙමෙන් සෙමෙන් ඉදිරියට යවන්න. දැන් දෙකකුල පොළොවට ගාවා ගනිමින්, දෙඅත වඳින ආකාරයට පපුව මැද තබා ගන්න.

නාසයෙන් හුස්ම රැල්ලක් ගන්න. දෙඅත හිස දෙපසින් ඔසොවා, හැකි තරම් පිටුපසට යවමින්, හිස, බෙල්ල, කොන්ද ටිකෙන් ටික පිටුපසට නමන්න. පහසුවෙන් රැඳී සිටිය හැකි තරම් වේලාවක් රැඳීසිට, නාසයෙන් ම හුස්ම පිට කරමින්, යළි කඳ කෙළින් කර, දෙඅත පපුව මැදට ගෙනෙන්න. අනෙක් පසින් ද එලෙසම පුහුණු වන්න. ඔබට හැකිනම් කිහිප වරක් ඉවසීමෙන් නැවත නැවත පුහුණු වන්න. මේ අන්ජානාසනයයි.

 

අන්ජානාසනයෙන් ලදහැකි ප්‍රතිඵල

වඳුරා ඉතා ශක්ති සම්පන්න, ක්‍රියාශීලී සත්වයෙකි. ඔහුගේ නම්‍යශීලී අත්පා, විදුලි වේගයෙන් ක්‍රියා කරයි. වැඳිරිය තම දරු පැටවා බඩේ බැඳගෙන වේගයෙන් රූස්ස ගස් දිගේ නගින අයුරු, වැල්වල එල්ලෙමින් යන අපූරුව අප කොතෙකුත් දැක ඇත. එහිදී ඇගේ ගතසිත සමබරතාව ඉතා විශිෂ්ට අයුරින් සිදුවෙයි.

අන්ජානාසනයෙන් ඔබේ දෙපය, දෙඅත, යටිබඩ, ලිංගේන්ද්‍රිය සහ පපුව නීරෝගී වී, ක්‍රියාශීලී වෙයි. සිතේ ප්‍රභාෂ්වර ගතිය වර්ධනය වේ.

රක්තවාතය පළවා හරියි. මළබද්ධය, අජීර්ණය, කෑම අරුචිය, වාත වේදනා ඇතුළුබ විවිධ රෝගාබාධ දුර්වලතා සුවපත් වෙයි. කාන්තාවන්ගේ සිරුරේ හැඩය නෙත සිත පිනවන ලෙස සැකසී , රූපශ්‍රීය වඩවයි. දෙනෙතේ කාන්තිය වැඩිදියුණු වෙයි. යුග ජීවිතයේ මිහිර වඩවා ඔබේ ජීවිතයට නව ජීවය කවයි. 

 

 

නව අදහස දක්වන්න