ගිංතොට සන්සුන් | දිනමිණ

ගිංතොට සන්සුන්

අසත්‍ය වපුරා පටු දේශපාලන වාසි ගන්න එපා

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එසේම හානි අවම කරගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කරන සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ සියලුම පාර්ශ්ව වෙත ස්තූතිය පුද කරන බවත් සිද්ධිය සැළවූ වහාම තමා පොලිස්පතිවරයා සමඟ දුරකථනයෙන් සම්බන්ධවී අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී ඔහු මෙසේ ද කීය.

මේ වෙන කොට ගිංතොට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරලා තත්ත්වය පාලනය කරලා ප්‍රදේශයේ නීතිය හා සාමය ස්ථාපිත කරලා තියනවා . ඊයේ රාත්‍රියේ ම අවට සියලුම පොලිස් ස්ථානවලින් අමතර පොලිස් කණ්ඩායම, කැරැලි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව ද කැඳවුවා.

ඒ වගේම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා. ඒ වගේම මම කියන්න කැමතියි මේ සිද්ධිය මහා ජාතිවාදී ගැටුමක් බවට පත් කරගන්නට ඇතැම් දේශපාලන කල්ලි කණ්ඩායම් අසාර්ථක උත්සාහයක නිරත වෙලා ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මම මහජනතාවගෙන් ඉල්ලන්න කැමතියි මේ අන්තවාදී දේශපාලන කල්ලි කණ්ඩායම්වල අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලා.

ඒ වගේම තමයි ඒ දේශපාලන කල්ලි කණ්ඩායම්වල උදවිය මේ වන විට ෆේස්බුක් හරහා අසත්‍ය වීඩියෝ පට සහ පුවත් හුවමාරු කරමින් ඉන්නවා. මම ඔවුන්ට දැනුම් දෙනවා මේ කටයුතු වහාම නවත්වන්න කියලා. ඒ වගේම ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති කරවන ආකාරයේ ප්‍රචාර කවර හෝ ආකාරයකින් සිදු කරන සියලුම දෙනාට තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කරනවා කියන දේ මම ඔවුන්ට දැනුම් දෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනාම කටයුතු කළ යුතු වන්නේ හානි අවම වන අයුරින්. මේ සිද්ධියෙන් පටු දේශපාලන වාසි ගන්න හිතාගෙන අසත්‍ය ප්‍රචාර ගෙනියන්න එපා කියන දේ මම නැවත නැවතත් කියනවා. යැයි අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් තමා නැවත දැනුම් දෙන තුරු ගින්තොට ප්‍රදේශයේ ආරක්ෂාව ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම නොකළ යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

එසේම තවදුරටත් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාර ගෙන යන්නන් සිටී නම් එය වහාම නතර කරන ලෙසත් සමාජ මාධ්‍යවල පැතිරෙන අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසද අමාත්‍ය සාගල රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පිඩාවට පත්වූවන්ගේ පැමිණිලි සටහන් කරගැනීමට පොලිසිය අදාළ ස්ථානවලට පැමිණෙන බැවින් පොලිස් ස්ථානවෙත යා යුතු නොවන බවය. නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතුළු පිරිසක් පෙරේදා (18) රාත්‍රියේද අදාළ ප්‍රදේශවල සංචාරයක නිරත වූහ.

නව අදහස දක්වන්න