ජුසේ­වාස් පිය­තුමා ජේසු­තුමා වෙත ලියූ බැඳු­ම්කර ලිපි­ය | දිනමිණ

ජුසේ­වාස් පිය­තුමා ජේසු­තුමා වෙත ලියූ බැඳු­ම්කර ලිපි­ය

l" ආදර්ශවත් සහ අභියෝගාත්මක ලෙස අල්පේච්ඡ සභාවක් වීම ගැන කතා නොකර ශු. ජුසේ වාස් පියතුමා සැමරීම අර්ථශුන්‍ය ක්‍රියාවකි. එබැවින් ශ්‍රී ලංකාවේ නුතන කතෝලික සභාව කෙතරම් දුරට ශු. ජුසේ වාස් පියතුමා ගේ "දුප්පත් සභාවක්" යන ජීවිතාදර්ශය තුළ ජීවත් වන්නේද යන්න මෙනෙහි කර ආපසු හැරීමට, මේ වසරේ ඉතිරි කාලය හෝ ප්‍රයෝජනයට ගත යුතුව තිබේ." 

 

 

ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මේ වසර ප්‍රකාශයට පත් කර ඇත්තේ ශු. ජුසේ වාස් පිය වසර ලෙසය. නොවැම්බර් 4 වැනිදා ජාතික ජුසේ වාස් පිය දිනය ලෙස ද නම් කර තිබිණි.

 

ජුසේ වාස් පියතුමන් සහ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අතර ඇති මෙම සමාන ලක්ෂණ කවරේද යන්න පිළිබඳ මෙනෙහි කිරීමේදී සාධක කීපයක් ගැන අවධානය යොමු කරන්නට පුළුවන. ඒ අතරින් කාරණා හතරක් ගැන පමණක් මෙහි දී සාකච්ඡා කරමු.

දුප්පත් හෙවත් අල්පේච්ඡ සභාවක්:

දුප්පත් හෙවත් අල්පේච්ඡ සභාවක් ඇති කළ යුතුයි; එය ඇති කළ හැකියි යන්න ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බොහෝ රටවල කතෝලිකයන් හා රදගුරු මණ්ඩල හමුවන අවස්ථාවල ප්‍රකාශ කරන්නකි. මෙය වූ කලී පාරිභෝගිකවාදී, නාස්තිකාර නූතන සමාජ ආර්ථික ජීවන ධාරාව තුළ ගඟ උඩහට පිහිනන්නට කරන ආරාධනයක් පමණක් නොව අභියෝගයකි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආජන්ටිනාවේ බුවනෝස් අයරෙස් හි කාදිනල් අගරදගුරුතුමා ලෙස සිටියදීත්, දැන් පාප් වහන්සේ ලෙසත් මෙම අල්පේච්ඡ ජීවිතයට සාක්ෂි දරයි. ඇඳුම් පැළඳුම්ල ඉඳුම් හිටුම්ල යාන වාහනවලින් පටන් ගෙන එතුමන් ගේ සමස්ත ජීවිත රටාව තුළින්ම ප්‍රදර්ශනය වන්නේ මෙම දුප්පත්කමයි.

“පේදුරුතුමාට බැංකු ගිණුමක් තිබුණේ නැහැ” යි වරක් එතුමා කියා සිටියේ සභාව ලෞකික වස්තුවලට ඇති ආලයෙන් ඉවත්ව මුළුමනින් ම දිව්‍ය සංරක්ෂණය මත යැපීම වෙත යොමු විය යුතු බව පහදා දෙමිනි.

අනෙක් අතින්, ජුසේ වාස් පියතුමා නව යොවුන් වියේ දී ජේසු සමිඳුනට "බැඳුම්කර ලියුමක්" ලියුවේය. මේ මගින් එතුමා කියා සිටියේ සිය ජීවිතය ජේසු සමිඳුන්ට "පවරා දෙන" බවය. එතුමා "සිය අවසන් හුස්ම තෙක් එම බැඳුම්කරයට විශ්වාස පක්ෂව ජීවත් වූ" බව ගෝවේ "Herald" නමැති ප්‍රකාශනයට 2015 ජනවාරි 16 වනදා ලිපියක් ලියමින් ගෝවේ රචෝල් හි පේත්‍රියාකිය දෙව්සත්හලේ කථිකාචාර්ය වික්ටර් ෆෙරාරෝ පියතුමා කියයි. ජුසේ වාස් පියතුමා මෙලෙස ලෞකික වස්තු සම්පත් හා සුඛ විහරණවලින් වියුක්ත වීම නොහොත් අබද්ධ වීම ලෝකයෙන් පලා යාමක් නොවන බව ෆෙරාරෝ පියතුමා පෙන්වා දෙයි. ඊට ප්‍රතිවිරුද්ධව එය දෙවියන් වහන්සේ ගේ සංරක්ෂණය කෙරෙහි මුළුමනින් විශ්වාසය තබා තමන් සේවාව කරන්නට පැමිණි ජනතාවගේ දුක් වේදනා සහ ජීවිත අරගලය තුළ තමන් මුළුමනින්ම ගිල්වා ගැනීමක් බව ෆෙරාරෝ පියතුමා පැහැදිලි කරයි. මෙය ජුසේ වාස් පියතුමා ගේ ජීවිතයෙන් ප්‍රදර්ශනය වන්නේ කෙසේද?

හිස් දෙපතුල්

"හිස් දෙපතුල්". කේ. ප්‍රැන්සිස් ශුරීන් ජුසේ වාස් චරිතය අලලා ලියූ නවකතාව නම් කළේ එසේය. එම වචන දෙක ජුසේ වාස් චරිතයේ තිබූ මෙම සාධු ගුණය මොනවට පැහැදිලි කරයි. ජුසේ වාස් පියතුමාට තිබුණේ එක ලෝගුවක් පමණි. එය ද ජීවිතය පුරා අණ්ඩ දමා මැසූ එකක් විය. එතුමාට ලෝගුවක් අවශ්‍ය වුණේ දිව්‍ය පූජාව අවස්ථාවේ පමණි. මන්ද එතුමා බොහෝ විට ඔබ මොබ ගියේ කම්කරුවකු, ඩෝබි කෙනෙකු, බක්කරේ කෙනෙකු, කුලී කාරයකු, ව්‍යාපාරිකයකු පමණක් නොව විටෙක ධීවර කාන්තාවක ලෙස ද වෙස්වලාගෙනය. එතුමා සතුව කිසිවිටෙකත් මුදල් තිබුණේ නැත. සිය ජනතාව තුළ මුණගැසෙන දේව සංරක්ෂණය තුළ එතුමා නිරන්තරයෙන් යැපුණේය. පාවහන් පැළඳුවේ නැත. මන්නාරමේ සිට නුවරටත්, එතැන් සිට කොළඹටත් යළි හලාවත පුත්තලම හරහා යාපනය හා මන්නාරමටත් ගියේ හිස් දෙපතුල්වලින්, පා ගමනිනි.

"මනුෂ්‍ය පුත්‍රයාට හිස තබා ගැනීමට ගලක් වත් නැත" යැයි තමා අනුගාමී වන්නට ඉල්ලා සිටි පුද්ගලයකුට සිය 'පොහොසත්කම' ගැන කියා දෙමින් ජේසු සමිඳාණෝ පැවසූහ. ජුසේ වාස් පියතුමා එම ජේසු පරපුරේ සැබෑ පුදැදුරු හිමි නමකි.

තමන් වෙනුවෙන් වසරක් නම් කර තමන් ගැන සිහිපත් කරන ශ්‍රී ලාංකේය කතෝලික සභාවට ජුසේ වාස් පියතුමා තම ජීවිතයෙනුත් තමා ශුද්ධවරයකු ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රැන්සිස් සුදොතුම් පිය ජීවිතාදර්ශයෙනුත් දෙන අභියෝගය මෙයයි:

“සුඛ විහරණ සොයන, පාරිභෝගිකවාදී, නාස්තිකාර, තන්හාවෙන් අන්ධ වූ නූතන ලෝකයට අභියෝග කරමින්, උඩහට පිහිනන්න." එකිනෙකා පරයමින් ලෞකිකත්වය හා පාරිභෝගිකවාදය තරගකාරීව වැළඳගන්නන්ට පොරබදින ලෝකය තුළ එම ප්‍රවාහයටම නතු වෙමින් තමන් ද තරගකාරීව සුඛ විහරණ ම සොයන තරුණ පුදැදුරුවරුන්ට මේ ශුද්ධවන්ත පියතුමා අභියෝග කරයි.

ජුසේ වාස් සහ ප්‍රැන්සිස් මොඩලයේ පූජක පුතුන් ලක්දිව ජීවත් නොවූවා නොවේ. හලාවත ප්‍රථම රදගුරු එඩ්මන්ඩ් පීරිස් හිමිපාණෝ ඊට එක නිදසුනකි. එතුමන් සිය ජීවිතයේ සැඳෑ සමය ගත කළ ගම්පහ සිරිකුරුස විදුහලේ පුංචි කුටියේ දී ජාතික දෙව්සත්හලේ සඟරාවක් වෙනුවෙන් එතුමන් සමග සම්මුඛ සාකච්ඡාවක යෙදීමේ දුර්ලභ භාග්‍යය මෙම ලියුම්කරුට ලැබුණේය. රදගුරු තුමා ලෙස හලාවත පදවියේ මීසම් බැහැදුටු හැටි එතුමා මට මතක් කළේය.

මීසම්වල කටුමැටි පොළොවේ පැදුරක් එලාගෙන නිදාගෙන සිටියදී එක වැලට මාපිලුන් එහි බාල්ක හා පරාල දිගේ බඩගාමින් යන අයුරු තමා බලා සිටි ආකාරය එතුමා විස්තර කළේ මගේ සිරුරේ ද ලොමු දැහැ ගන්වමිනි. ශ්‍රී ලංකාවේ කිසිදු කිතුනු පුදැදුරුවරයකුට සර්ප දෂ්ට කිරීමක් සිදු නොවන ලෙස ජුසේ වාස් පියතුමා යාච්ඥා කර තිබූ බව එඩ්මන්ඩ් පීරිස් රදගුරු තුමා දැන සිටි බැවින් එතුමා තුළ බියක් තිබුණේ නැත.

ආදර්ශවත් සහ අභියෝගාත්මක ලෙස දුප්පත් හෙවත් අල්පේච්ඡ සභාවක් වීම ගැන කතා නොකර ශු. ජුසේ වාස් පියතුමන් සැමරීම අර්ථ ශුන්‍ය ක්‍රියාවකි. එබැවින් ශ්‍රී ලංකාවේ නුතන කතෝලික සභාව කෙතරම් දුරට ශු ජුසේ වාස් පියතුමා ගේ "දුප්පත් සභාවක්" යන ජීවිතාදර්ශය තුළ ජීවත් වන්නේ ද යන්න මෙනෙහි කර ආපසු හැරීමට මේ වසරේ ඉතිරි කාලය හෝ ප්‍රයෝජනයට ගත යුතුව තිබේ. 

සමන් කපිල විජේ­සූ­රිය

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...