ගිංතොට යළි කියැවීම! | දිනමිණ

ගිංතොට යළි කියැවීම!

ජාතිය හා ආගම පිළිබඳ ප්‍රශ්නයේ දී අප කිසිවිටෙකත්; බුද්ධිගෝචර විග්‍රහයකට යන්නේ නැත. බුද්ධිගෝචර විග්‍රහ වෙනුවට අප වෙතින් නිකුත් වන්නේ හැඟුම්බර පක්ෂපාතිත්වයකි. නැතහොත් ආවේගකර ප්‍රකාශයකි. මේ තත්ත්වය නිසා විවිධ ජනකොට්ඨාස තුළ ඇති සැකය හා බිය තවදුරටත් වර්ධනය වෙයි. එය ගිනි අඟුරු වෙත පුලුන් ළං කරනවා බඳු කාර්යයෙකි. බුද්ධිමතුන් පවා මේ කාර්යයෙහි නිරතව සිටින බව කිව යුතු ය. ජාතියෙන් හා ආගමෙන් මිනිස් සමාජය එකට බැඳී සිටින බව සත්‍යයෙකි. එහෙත් එය වෙනත් ජාතියක හා වෙනත් ආගමක පැවැත්මට බාධාවක් නොවිය යුතුය.

ජාතියක මූලාශ්‍ර හෝ සම්භවය හෝ සොයමින් හා ඊට සාක්ෂි ඉදිරිපත් කරමින් ජාතික ගැටලුවලට විසැඳුම් සෙවිය නොහැකි බව පිළිගත් කාරණයකි. එලෙස ම ආගමක ව්‍යාප්තිය හා ඓතිහාසික බව සනාථ කරමින් ආගමික ගැටලුවලට විසැඳුම් සෙවිය නො හැකි බව ද පිළිගත් සාධකයෙකි. අප ජීවත්වන කුඩා රටේ භූමිය හා එහි සම්පත් රටේ සිටින සියලු මානව වර්ගවලට අයත්බව පිළිගන්නා තෙක් මේ ගැටලු විසැඳිය නො හැකිය. සියලු දෙනාටම ගෞරවණීය ජීවිතයක් ලබාදීම සඳහා අප එම සත්‍යය පිළිගත යුතු ය. මහා ජාතියක්, මහා සංස්කෘතියක් යන්න මිථ්‍යාවක් බව දැනගැනීමට නම්; සෙසු ජාතීන් හා සෙසු සංස්කෘතීන් කෙරෙහි හැදෑරීමකට යා යුතු ය. අප තීන්දු - තීරණ ගනු ලබන්නේ එබඳු අධ්‍යයනයකින් තොරවය.

කවුරුත් දන්නා ලෙස ගිංතොට ප්‍රදේශයේ තවත් කලබලයක් ඇතිවී තිබේ. මේ වන විට එය රටම දන්නා කාරණයකි. එහි පදනම වන්නේ ජාතිය හා ආගම මුල්කොට ඇති වූ සැකය හා බිය යැයි කියන්නට පුළුවන. බේරුවල, අලුත්ගම, මාවනැල්ල යන ප්‍රදේශවලද වරින් - වර මෙබඳු ගැටුම් ඇති වූ බව අප කාටත් මතක ය. එහෙත් ඒ සෑම අවස්ථාවක් ම ඉතිහාසයට එකතු වී ඇත්තේ නො විසඳුණු එහෙත් යටගිය ගැටුමක් හැටියට ය. ගිංතොට ගැටුමට මුල් වී ඇත්තේ ඉතා සුළු සිද්ධියකි. එහෙත් එම සිද්ධිය තටු ලබා පියඹා ගොස් ඇත. දෙවනුව ඊට ආවේගකර හැඟීම් එකතු වී ඇත. ගැටුමක් වර්ධනය වන්නේ එම මෝස්තරයට අනුව ය. මේවා පසුපස දේශපාලනයක් ද ඇති බව වටහාගත යුතු ය.

රටේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ගණනාවක බලවේග බවට පත්ව ඇත්තේ ජාතිය හා ආගම ය. ශ්‍රී ලංකාවට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අති දුෂ්කර ව්‍යායාමයක් බවට පත්ව ඇත්තේ ද ආගම හා ජාතිය දේශපාලනයේ ප්‍රධාන සාධක දෙක බවට පත්කර ගැනීම නිසා ය. කිසියම් ජාතියකට පළමුතැන ලැබිය යුතු යැයි ද, කිසියම් ආගමකට පළමුතැන ලැබිය යුතු යැයි ද සටන් කිරීම තුළ ඇත්තේ බලවත් අයුක්තියකි. අප මුලින් සඳහන් කළ ලෙස ම ජාතියේ හා ආගමේ ශ්‍රේෂ්ඨත්ව ය සෙවීම පවත්නා ගැටලුවලට විසැඳුමක් නො වේ. එහෙත් ඉතිහාසය පුරාවටම අප සිදු කර ඇත්තේ ද එය ම ය.

ජාතීන් අතර සංහිඳියාව ගැන ද, ආගම් අතර එකමුතුකම ගැන ද මේ තරමින් සංවාද පවත්වන යුගයක් අප මීට පෙර දැක නැත. රාජ්‍ය අනුග්‍රහය ඇති ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ස්වේච්ඡා සංවිධාන තවත් වැඩසටන් ක්‍රියාත්මක කරයි. අන්තර්ජාතික ආයතනවලින් පවා ඊට සහයෝගය ලැබෙයි. මානව හිමිකම් කොමිසම පවා රටේ පවත්නා වත්මන් තත්ත්වය ගැන පැහැදීමකින් කටයුතු කරයි. ශ්‍රී ලංකාව තවත් සුඩානයක් නොවන බවත්; තවත් මියන්මාරයක් නොවන බවත් අපට ඉන්දියාවට ද වඩා මැනැවින් සංහිඳියාවේ ඉලක්ක ජය ගත හැකි බවත් සනාථ කළ හැකි පසුබිමක් නිර්මාණය වී තිබේ. ගිංතොට සිද්ධිය මතුවන්නේ එබඳු සාධනීය තත්ත්වයක් යටතේ ය. එය හැඳින්විය හැක්කේ කිරි කළයකට ගොම බින්දුවක් මුසු කිරීම බඳු උපහැරණයක් යටතේ ය.

මෙබඳු ගැටුමක් නිරීක්ෂණය කිරීමේ දී එය පෝෂණය වූ ආකාරය සොයා බැලීම අතිශයින් ම වැදගත් ය. සංවිධානාත්මක කණ්ඩායම් නැතිව ගැටුම් උත්සන්න වන්නේ නැත. කණ්ඩායම්වලට නායකත්වය දෙන පිරිසක් නැතිව ද ගැටුම් උත්සන්න වන්නේ නැත. අනෙක් අතට සිදුවීම් ප්‍රචාරය කිරීමට ද සංවිධාන තිබිය යුතු ය. ගිංතොට සිද්ධිය පසුපස ද මේ සියල්ල පැවැති බව වාර්තා වී ඇත. දැන් සිදුවිය යුත්තේ අදාළ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ඒම ය. ජාතිවාදය පැතිරවීම ද, ආගම්වාදය පැතිරවීම ද අපරාධ ක්‍රියාවලියකි. එබඳු ක්‍රියා සඳහා දඬුවම් ලබාදීමට නෛතික ප්‍රතිපාදන තිබේ. පාර්ලිමේන්තුවේ දී සභානායකවරයා කියා සිටියේ ගිංතොට කලබල ඇතිකළ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බව ය. එය වහා ක්‍රියාත්මක විය යුතු ය.

පොලිසිය මේ ගැටුම නිමාවක් කරා ගෙනගොස් ඇත්තේ ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය ද පැනවීමෙන් ය. එසේ නොවන්නට තවත් ගැටුම් ඇතිවන්නට ඉඩ තිබිණි. සිද්ධිය අවසන් වුව ඊට බලපෑ මූලික සාධක පවතින්නේ යට ගිය තැනක ය. ඒ අනුව යළිත් මෙබඳු ගැටුම් අපේක්ෂා කළ හැකි ය. දෙපැත්තේ ම ජනතාව පසුවන්නේ බියෙන් හා සැකයෙන් ය. ගැටුම්වලට හේතුවත් මේ බිය හා සැකය යැයි කියන්නට පුළුවන. මේවාට මුල්වන හේතු - සාධක මිනිසුන්ගේ ඔළු ගෙඩිවලින් ඉවත් කිරීමට පියවර ගත යුතු ය. ඇතැම්විට නීතියෙන් ඒවා කළ නොහැකි ය. මිනිසුන් නිවැරැදි කිරීමේ හොඳ ම මාර්ගය ඔවුනට දැනුම හා අවබෝධය ලබා දීම ය. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සිදු කරන්නේ ජනතාවට දැනුම හා අවබෝධය ලබා දීම නො ව; ඔවුන් තවදුරටත් උසිගැන්වීම ය. මෙලෙස ජනතාව උසිගන්වන දේශපාලකයන් ද අත්අඩංගුවට ගත යුතු ය.

ගෝත්‍ර, කණ්ඩායම් හා ජාතීන් සිය ගණන් ජීවත් වන රටවල් පවා එක ජාතියක් ලෙස හා එක රටක් ලෙස ජීවත්වීමට වෑයම් කරන යුගයක අපි ජීවත් වෙමු. අප්‍රිකා මහාද්වීපය ඊට හොඳම නිදසුනකි. ඉන්දියාව තවත් උදාහරණයකි. නයිජීරියාවේ භාෂා දෙසිය ගණනක් භාවිත වෙයි. ඉන්දියාවේ භාෂා දහසයක් පවතී. භාෂාවට ආගමට, ජාතියට නිදහසේ සැරිසරන්නට අවකාශය ලබා දිය යුතු ය. එවිට එකිනෙකාට ගරුකරන සමාජයක් බිහි වනු ඇත. ශ්‍රී ලංකාවේ ඇත්තේ ප්‍රධාන ජනවර්ග හතරක් පමණි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් එම ජනවර්ග හතර වේ. භාෂා ගතහොත් තුනකි. එනම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි වශයෙන් ය. බැලූ බැල්මට අපට බරපතළ ගැටලු නැත. ආගම් වශයෙන් ගතහොත් බුදුදහම, හින්දු ආගම, ඉස්ලාම් ආගම හා ක්‍රිස්තියානි වශයෙන් ය. මේ සුළු බෙදීම ගැටුමක් කරගන්නේ කුමකට ද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...