ගිංතොට අඳුර පහ වෙයි - ගැටුම් ඇති කරන්නන්ට රතු නිවේදනයක් | දිනමිණ

ගිංතොට අඳුර පහ වෙයි - ගැටුම් ඇති කරන්නන්ට රතු නිවේදනයක්

ගාල්ල පොලිස් වසමේ, වැලිවිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට නැගෙනහිර හා බටහිර, පියදිගම සහ කුරුඳුවත්ත යන ග්‍රාම නිලධාරී වසම්හී ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීම සඳහා මේ වන විට පියවර ගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝගය මත පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 100කට අධික පිරිසක් එම ප්‍රදේශයේ රාජකාරි සඳහා යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලීසිය පවසයි.

මේ අතර ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව ඇමති සාගල රත්නායක පවසයි.

අදාළ නිවේදනයේ පහත පරිදි දැක්වේ.

මේ වෙනකොට ගිංතොට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරලා තත්ත්වය පාලනය කරලා ප්‍රදේශයේ නීතිය හා සාමය ස්ථාපිත කරලා තියනවාකියලා.ඊයේ රාත්‍රියේ ම අවට සියලුම පොලිස් ස්ථානවලින් අමතර පොලිස් කණ්ඩායම, කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව ද කැඳවුවා.

ඒ වගේමජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළා. ඒ වගේම මම කියන්න කැමතියි මේ සිද්ධිය මහා ජාතිවාදී ගැටුමක් බවට පත් කරගන්නට ඇතැම් දේශපාලන කල්ලි කණ්ඩායම් අසාර්ථක උත්සාහයක නිරත වෙලා ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා.

ඒ නිසා මම මහජනතාවගෙන් ඉල්ලන්න කැමතියි මේ අන්තවාදී දේශපාලන කල්ලි කණ්ඩායම්වල අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලා.

ඒ වගේම තමයි ඒ දේශපාලන කල්ලි කණ්ඩායම්වල උදවිය මේවන විට ෆේස්බුක් හරහා අසත්‍ය වීඩියෝ පට සහ පුවත් හුවමාරු කරමින් ඉන්නවා. මම ඔවුන්ට දැනුම් දෙනවා මේකටයුතු වහාම නවත්වන්න කියලා.

ඒ වගේම ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිකරවන ආකාරයේ ප්‍රචාර කවර හෝ ආකාරයකින් සිදුකරන සියලුම දෙනාට තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කරනවා කියන දේ මම ඔවුන්ට දැනුම් දෙනවා.

මේ වෙලාවේ අපි සියලු දෙනාම කටයුතු කළ යුතු වන්නේ හානි අවම වන අයුරින්. මේ සිද්ධියෙන් පටු දේශපාලන වාසි ගන්න හිතාගෙන අසත්‍ය ප්‍රචාර ගෙනියන්න එපා කියන දේ මම නැවත නැවතත් කියනවා. යැයි අමාත්‍යවරයා කීය.

 

නව අදහස දක්වන්න