සවුදි රාජ්‍යයේ ඔටුණු හටන | දිනමිණ

සවුදි රාජ්‍යයේ ඔටුණු හටන

මැද පෙරදිග ඛනිජ තෙල් අධිරාජ්‍යයේ අධිපතියා වන සෞදි අරාබියේ මේ දිනවල පවතින්නේ අතිශයින්ම උණුසුම් උද්වේගකාරී වාතාවරණයකි. වංචා, දුෂණ මඩින්නට යැයි කියමින් කෙරෙන මහා පරිමාණ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස රජ පවුලේ කුමාරවරුන්, ඇමතිවරුන්, ධන කුවේරයින් බහුතරයක් දැන් පසුවන්නේ අත්අඩංගුවේ ය. අල්ලස් හා මුදල් වංචා චෝදනා එල්ලවූ මේ ධනපතියන්ගේ වත්කම් රාජසන්තක කෙරෙත්දී, ඔවුන් රඳවා ගැනීම වෙනුවෙන් ‘රිට්ස් කාර්ල්ටන්‘ තරුපහේ හෝටලය සුපිරි බන්ධනාගාරයක් බවට පරිවර්තනය කෙරිණි. මේ මහා ක්‍රියාන්විතයේ පුරෝගාමී හස්තය සෞදියේ ඔටුන්න හිමි ‘මොහොමඩ් බින් සල්මන්‘ කුමරුය. අලුතින්ම පිහිටු වූ එරට දූෂණ පිටුදැකීමේ කවුන්සිලයේ ප්‍රධානියා වන්නේද ඔහුය. සෞදියේ වත්මන් නායක අසූඑක් හැවිරිදි ‘සල්මාන්‘ රජු විසින් සිය ප්‍රියතම දරුවා වන මොහොමඩ් කුමරු අරාබි සිහසුනේ මීළඟ උරුමක්කරු ලෙස නම් කරනු ලැබුවේ පසුගිය ජුනි මාසයේදි යි. ඒ අනුව සෞදි අරාබියේ පළමු පාලකයා වන ‘ඉබන් සවුඩ්‘ අධිරාජ්‍යයාගෙන් පසු සෞදි සිහසුනට පත්වන ඔහුගේ පළමු මුණුපුරා වනු ඇත්තේ මොහොමඩ් කුමරුයි. දැන් කඩිමුඩියේ කෙරෙන මෙම වැටලීම් සේම අත්දැකීම් අල්ප, ළාබාල මොහොමඩ් කුමරුගේ බල සම්ප්‍රාප්තියද ශීඝ්‍රගාමී ලෙස සිදුවූවකි. එසේ නම් මේ වැටලීම් හා අත්අඩංගුවට ගැනීම්, දූෂණ අරක්ගත් සෞදි අරාබිය නිරෝධායනය කිරීමේ පිරිසිදු චේතනාව පමණක්ම අරමුණු කරගත්තක්ද? නැතහොත් එය සිහසුන කරා යන මාවත අවහිර කරමින් සිටින මොහොමඩ් කුමරුගේම ඥාති විරුද්ධවාදීන් අනුකම්පා විරහිත ලෙස අඩපණ කිරීමේ මෘදු බලකාමී කුමන්ත්‍රණයක්ද ? පිළිතුර මේ දෙකම විය හැකි බව ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි ඕනෑතරම්ය.

අල්ලස්, කොමිස් හා යටිමඩි ගැසීම්, මහා පරිමාණ ව්‍යාපාර සමඟ ගසට පොත්ත සේ බැඳුණු ලොව දැවැන්තම කළු රත්‍රන් නිෂ්පාදකයාගේ ආර්ථිකයට තවදුරටත් එම දූෂණ බර දැරිය නොහැකි බවට මොහොමඩ් කුමරු දරන මතය සර්ව සාධාරණය. බලකාමී පවුල් දේශපාලනය අවියක් කර ගනිමින් රටේ ඉහළ තනතුරුවලට පත්ව තෙල් සම්පතෙන් පොහොසත් ආර්ථිකය සූරාකෑ ධනපතීන් මර්දනය කළ යුතුය යන කුමරු දරන මතය, ඔහුව සෞදි වැසියන් අතර වීරත්වයට පත් කරන්නකි. අති විශාල අන්තර් සම්බන්ධිත ජාලයක්වූ පාලක ‘අල් සෞද්‘ රජ පවුල සෞදි තෙල් සම්පතේ භාරකරුවන් ලෙස මෙතෙක් කලක් ගෙන ගියේ අප්‍රකට යටිකුට්ටු ව්‍යාපාරයකි. රජ පවුලේ සාමාජිකයින් සිය පෞද්ගලික වත්කමක් ලෙස සලකමින් රටේ තෙල් සම්පත සිත්සේ භුක්ති විඳිද්දී සිය බඳපටි තව තවත් තද කර ගැනීම මහජනතාවට සිදු විය.

ආර්ථිකය තෙල් සම්පත මතම යැපෙන්නට සලස්වා ධනපතින් හා රජ පවුල මෙතෙක් කලක් ගෙන ගිය මඩිය තර කර ගැනීමේ ව්‍යාපාරය අත්සිටුවා නව ප්‍රතිසංස්කරණ වැලඳ ගැනීමට මොහොමඩ් කුමරු පෙළඹී සිටියි. ඒ විසිඑක්වන සියවසේදී ප්‍රගතිශීලි රටක් ලෙස සෞදිය වැජඹවීමේ අරමුණෙනි. ඔහු ඉකුත් වසරේදී හඳුන්වා දුන් ‘2030 දැක්ම‘ ව්‍යාපෘතිය එම අරමුණු ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නකි. ශීඝ්‍රයෙන් වර්ධනය වන සෞදි තරුණ ප්‍රජාව තෙල් සම්පතෙන් පරිබාහිර අර්ථාන්විත රැකියාවලට යොමු කිරීම තුළින් රටේ ආර්ථිකය නඟා සිටුවීම එහි පරමාර්ථය යි. දූෂිත ධනපතින් අත්අඩංගුවට ගෙන අක්වෙරළ මුල්‍ය ආයතනවල ඔවුන් ආයෝජනය කර ඇති ඇස්තමේන්තුගත ඇමරිකන් ඩොලර් බිලියන අටසියයක වත්කම්ද සියතට ගනිමින් සෞදිය විසිඑක්වන සියවසට ඔබින සේ නව්‍යකරණය කිරීම එමඟින් සිදුවනු ඇත. රජ පවුලේ දූෂිත පාලනයෙන් හෙම්බත්වූ සෞදි මහජනතාව විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර මොහොමඩ් කුමරු ජනප්‍රිය වීමට එයම ප්‍රමාණවත් ය. නමුත් ඒ, බලාපොරොත්තු වූ පරිදි රාජසන්තක කෙරුණු ධනවත්කම් මහජනතාව අතර බෙදා හැරුණොත් පමණි. සෞදි ජනතාව පමණක් නොව ජාත්‍යන්තරයම පෙළන අනෙක් ගැටලුව වන්නේ සීමා මායිමක් නොමැතිව වක්කඩ කැඩුවා සේ කෙරීගෙන යන වැටලීම්වල අවසානය කුමක්ද යන්නයි. සිහසුනට පත්වීමටත් පෙරම රටේ මර්මස්ථාන සියල්ලගේම අධිකාරිය සියතට ගෙන සිටින මොහොමඩ් කුමරුගේ මෙම ‘ශෝධන‘ ක්‍රියාවලිය දූෂිතයින් නෙරපා හැරිමම පමණක් අරමුණු කර ගත්තක් නොවන බව පෙනෙන්නට ඇති නිසාය.

පසුගිය සතියේදි කෙරුණු අත්අඩංගුවට ගැනීම් අතර එරට ජාතික ආරක්ෂක සේවයේ ප්‍රධානියා වන ‘මිටෙබ් බින් අබ්දුල්ලා‘ කුමරුද සිටීම බොහෝ දෙනකු විමතියට පත් කරන්නක් විය. වසර පනස් එකක කාලයක සිට හිටපු රජු අබ්දුල්ලා හා ඔහුගේ ඔහුගේ පුතුන් විසින් පාලනය කරනු ලැබු ජාතික ආරක්ෂක සේවයේ වත්මන් නායකයා මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකුද නොවේ. එසේම ඔහුගෙන් මොහොමඩ් කුමරුගේ නායකත්වයට හෝ ඔහුගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට කිසිඳු තර්ජනයක් එල්ල විමේ අවධානමක් තිබුණේද නැත. එසේ හෙයින් සෞදි කුමාරයා මේ ගෙන යමින් සිටින්නේ සමාජ ශෝධනයකටත් වඩා තම කිරුළේ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමේ වෑයමක් බවට ජාත්‍යන්තරය තුළ වන්නේ සැකයකි. ධන කුවේර බිලියනපති, අල්වාලීඩ් බින් තලාල් කුමරු අත්අඩංගුවට ගැනීමද මොහොමඩ් කුමරුගේ එම බලකාමීත්වයේ තවත් දිගුවකි.

වත්කම ඇමරිනන් ඩොලර් බිලියන විසිනවයක් වන, ලොව ධනවත්ම පුද්ගලයින් අතරින් එක් අයකු වන‘ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්‘ , ට්විටර්, සිටි ගෘප්, ඇපල්, ඩිස්නි, මොටොරෝලා හා රූපට් මර්ඩොක්ට අයත්ව තිබූ නිව්ස් කෝපරේෂන් වැනි ලොව අති දැවැන්තම සමාගම් විශාල සංඛ්‍යාවක කොටස් හිමිකාරිත්වය දරන අල්වාලීඩ් කුමරුගේ වාහන එකතුව පමණක් තුන්සියයකට වැඩි මිස අඩු නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් හැරුණු කළ පුද්ගලික බෝයිං 747 යානයකට හිමිකම් කියන ලොව එකම පුද්ගලයා ඔහුය.

එවන් ධනස්කන්ධයක හිමිකරුවා වූයේ කෙසේද යන්න පිළිබඳ මොහොමඩ් කුමරුට සාධාරණ සැකයක් තිබිය හැකි වුවත්, ඔහුගේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඇත්තේ වෙනත් කතාවකි. සම්ප්‍රදායන්ගේ යදම්වලින් බැඳුණු සෞදි අරාබිය දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාතියේ පුරෝගාමියා අල් වාලීඩ් කුමරුය. 2018 වසරේ සිට සෞදි කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලැබෙන්නේද කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නඟන්නකු ලෙස ප්‍රකට අල්වාලීඩ් කුමරුට පින්සිදු වන්නටය. සිය ‘කිංග්ඩම් හෝල්ඩිංග්ස්‘ දැවැන්ත ව්‍යාපාරයේ විධායක තනතුරු පිරිනැමිමේදි කාන්තාවන්ට ප්‍රමුඛත්වය දෙන අල් වාලිඩ් කුමරු සෞදි වනිතා විමුක්තිය වෙනුවෙන් අවංකවම ඇපකැප වූවෙකි. මේ කී හේතුන් නිසාම ඔහු ජනතා සමාගමයේ ජනප්‍රියත්වය හඹා යෑමේ තරගයේදී මොහොමඩ් කුමරුට සිටින ප්‍රබල ප්‍රතිවාදියකු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පවත්නා තත්ත්වය අනුව මොහොමඩ් කුමරු සිහසුනට පත්වීමට අභියෝග කිරීමට සමත් ප්‍රබලයෙකු සෞදියේ දැනට නැත. සිහසුනට යන මඟ අවුරාලිය හැකි බවට සුළු හෝ සැකයක් ඇති සියල්ලන් අත්අඩංගුවට ගනිමින් මොහොමඩ් කුමරු ගෙන යන සැබෑ ලෝකයේ ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්‘ ක්‍රීඩාව අසීමාන්තික ලෙස නිර්දය වූවක් බව විද්වත් මතයයි. එය ලොව මෙතෙක් ආගමික හා සංස්කෘතික වශයෙන් නොවෙනස්ව, නොබිඳී පැවති දැවැන්තම රාජ්‍යයක බිඳ වැටීමට හේතු විය හැකි බවට කා තුළත් වන්නේ දැඩි බියකි. සුන්නි ඉස්ලාම් ආගමික රටවල් අතරින් ප්‍රබලම සුන්නි රටක් වන සෞදිය, ෂියා ආගමික ඉරානයට එරෙහිව සන්ධානගත කිරීමට මොහොමඩ් කුමරුට වන්නේ දැඩි උවමනාවකි. මේ නිසා සෞදි රජ පවුල තුළ සිදුවන කුමන්ත්‍රණයක බලපෑම, එරට දේශ සීමාවෙන් ඔබ්බට යාමේ අවධානමක්ද තිබේ. අනෙක් අතට සෞදි අධිරාජ්‍යයා යනු හුදෙක් එරට නායකයා පමණක්ම නොවේ. ලෝකවාසි ඉස්ලාම් ආගමිකයින්ගේ ප්‍රධානම ශුද්ධ දේවස්ථාන දෙක වන ‘මැකා‘ හා ‘මැදීනා‘ හි නිල භාරකරු වන්නේද සෞදි රජුය. එම ශුද්ධ දේවස්ථානවල නිවහන පාලනය කිරීමේ නීත්‍යානුකූල බලතල ලබාදීමේ තීරණය ඇත්තේ සෞදි ආගමික නායකයින් අතය. මොහොමඩ් කුමරු මේ ගෙන යන මර්දනකාරි පිළිවෙතටත්, ඉරානය සමඟ අවි අමෝරා ගැනීමට ඇති උනන්දුවටත් ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිද? මොහොමඩ් කුමරුගේ ‘ශෝධන ක්‍රියාවලිය‘ සෞදිය දූෂිතයින්ගෙන් තොර පාරාදීසයක් කරනු ඇතිද? නැතිනම් එය මෙතෙක් කලක් මෙබඳු සංකීර්ණ රටක් එක්සත්ව ඇඳ බැඳ තබාගත් සංහිඳියා රැහැන බිඳ දමා ඉරානය සමඟ කලාපීය යුද්ධයකට අත වනනු ඇතිද? ඉතිහාසය එය තීරණය කරනු ඇත.

රුක්ලන්ති පෙරේරා 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...