ඉරානයේ පාත්‍රයට ට්‍රම්ප් වැටේ | දිනමිණ

ඉරානයේ පාත්‍රයට ට්‍රම්ප් වැටේ

මංජුලා විජයරත්න

ඉරාන - ඉරාක දේශ සීමාවට ආසන්න ප්‍රදේශයට පසුගිය දා බලපෑ දරුණු භූ කම්පනය හේතුවෙන් ඉරාණ වැසියෝ මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිති. ඒ අතර ප්‍රධානම ගැටලු මතු වන්නේ භූ කම්පනයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාවලියේදීය. දැනට වාර්තා වන අන්දමට ඉරානයේත් ඉරාකයේත් තුවාලකරුවෝ 8000කට ආසන්න පිරිසක් සිටිති. ආධාර දෙන කණ්ඩායම් තහවුරු කර ඇති ආකාරයට ඉරානයට අයත් නිවාස 15,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබේ. එම නිවාසවල වාසය කළ 70,000කට අධික පිරිසක් අවතැන්ව සිටිති. මේ පිරිසට පහසුකම් සැලසීමත් භාරදූර කටයුත්තක් වී ඇති බව විදෙස් මාධ්‍ය සේවා පෙන්වා දෙයි.

තත්ත්වය එසේ තිබියදී, ඉරානයට පනවා ඇති සම්බාධක අකුරටම ක්‍රියාත්මක කිරීමේ ම්ලේච්ඡ වැඩපිළිවෙළක් ඇමෙරිකා එක්සත් ජනපදය බලධාරීන් තදින් ඉදිරියට රැගෙන යමින් සිටින බව වාර්තා වේ. භූ කම්පනය බලපෑවේ ඉරානයේ කෙර්මැන්ෂාහ් පළාතටයි. අවතැන් වූ පිරිස් එම පළාතෙහිම ස්ථාපනය කර ඇති තාවකාලික කඳවුරු වෙත ඒකරාශී කර තිබේ. මේ දිනවල රාත්‍රී කාලයේදී එම ප්‍රදේශයේ උෂ්ණත්වය බෙහෙවින්ම පහළ වැටෙන බව සඳහන් වේ. මේ නිසා අඩු පහසුකම් යටතේ කඳවුරු තුළ සිටින අවතැන් ජනතාව දැඩි අපහසුවකට පත් වන බව පැහැදිලිවම පෙනෙන්න තිබේ. සොබාදහමින් මේ අන්දමට පීඩා විඳිමින් සිටින ඉරාන වැසියන්ට සහන සැපයීමට ආධාර එකතු කිරීමේ වැඩපිළිවෙළ කුඩා කණ්ඩායම් මට්ටමෙන් ඇමෙරිකාවේදී ආරම්භ කෙරිණ. ඊට මුල් වූයේ ඇමෙරිකාවෙහි සිටින ඉරාන ජාතිකයන් ය. ඉරාන ජාතිකයෝ විශාල පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ වෘත්තීන්හි නියැලී සිටිති. ඔවුන්ගෙන් ඇතැම් අයගේ ඥාතීන් ද භූ කම්පනය නිසා අවතැන්ව සිටින බවත් සැලවේ. ඇමෙරිකාවේ සිටින ඉරාන ජාතිකයන්ට අමතරව, ඇතැම් ඇමෙරිකා ජාතිකයෝ ද අවතැන් ඉරාන ජාතිකයන්ට ආධාර ලබා දීමට කැමැත්තෙන් පසු වෙති. ආධාර එකතු කිරීමේ වැඩසටහන් පසුගිය දින කිහිපය පුරා දියත් කෙරුණේ ෆේස් බුක් ආදී සමාජ වෙබ් අඩවි තුළ විවෘත වූ ගිණුම් හරහා බව සඳහන් වේ. එලෙස එකතු කරනු ලැබූ ආධාර මුදල් ඉරානයට ලබා දීමට තමන්ට ඉඩක් නැති බව, ආධාර එකතු කළ ඇමෙරිකාවේ සිටින ඉරාන ජාතිකයෝ පවසති. ඇමෙරිකා එක්සත් ජනපද මහා භාණ්ඩාගාරය මඟින් පනවනු ලැබූ නීති රීති ආධාර ඉරානයට ලබා දීමේදී දැඩිව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ඇමෙරිකාවේ සිටින පිරිස් හරහා ඉරානයට ආධාර යැවීම මුළුමනින්ම වාගේ ඇණහිට ඇත.

තොහීබ් නජාෆි ඇමෙරිකාවේ මිචිගන්හි ජිවත්වන ඉරාන ජාතිකයෙකි. ඉරාන වැසියන් භූ කම්පනයකින් විපතට පත්ව සිටින බව දැනගත් වහාම ෆේස් බුක් ගිණුමක් හරහා ආධාර එකතු කිරීමේ වැඩ සටහනක් හෙතෙම ආරම්භ කළේය. දින දෙකක් හෝ තුනක් හෝ ඇතුළත තොහිබ්ට ඇමෙරිකා ඩොලර් ලක්ෂ දෙකක මුදලක් එකතු කර ගැනීමට හැකි විය. ඒ මුදල වහාම ඉරානයට යැවීම ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේය. ඔහු විවෘත කළ ෆේස් බුක් ගිණුම හරහාම ඔහුට ඇමෙරිකා බලධාරීන්ගෙන් පණිවුඩයක් ලැබී තිබිණ. එහි සඳහන් වූයේ එකතු වූ ආධාර මුදල නිදහස් නොකිරීමට ඇමෙරිකා බලධාරීන් වග බලාගෙන ඇති බවකි. ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය ආශ්‍රය කරගෙන ඇමෙරිකාව තුළ ආධාර එකතු කළ තවත් කිහිප දෙනෙක් තොහිබ් මුහුණ දුන් අත්දැකීමට මුහුණ දී සිටිති.

එක්සත් ජනපද බලධාරීන් පවසන්නේ එරට මහා භාණ්ඩාගාරයෙන් ක්‍රියාත්මක විදේශ වත්කම් පාලන කාර්යාලය යටතේ ඇති ඇමෙරිකා රාජ්‍ය නොවන සංවිධාන හරහා ඉරානයට ආධාර යැවිය හැකි බවකි. එමෙන්ම පෞද්ගලිකව තම පවුලේ අය වෙත හෝ මිතුරකුට හෝ මුදල් යැවීමට බාධාවක් නැති බවත් ඔවුහු පෙන්වා දෙති. ඇමෙරිකා බලධාරීන් නම් කර ඇති ඇමෙරිකා රාජ්‍යය නොවන සංවිධාන කිහිපය හරහා ඉරානයට ආධාර යැවීමට ඇමෙරිකාවේ සිටින ඉරාන ජාතිකයන් කැමති නැත. එයට හේතුව ආධාර නිසි කණ්ඩායම් වෙතම යොමු වේද යන්න පිළිබඳ ඇති සැකයයි. ඇමෙරිකාවේ ස්ථාපනය කර ඇති ඉරාන ජාතිකයන්ගේ කවුන්සිලයේ සභාපති ට්‍රීටා පාර්සි පවසන්නේ “ඉරානය සහ ඉරාන ජාතිකයන් කෙරෙහි ජනාධිපති ට්‍රම්ප් කිසිඳු මානුෂීය තත්ත්වයක් නොපෙන්වන්නේය”යැයි කියාය. මේ අතර එක්සත් රාජධානිය හරහාත් ඉරාන වැසියන්ට ආධාර ලබා දීම අසීරු වී ඇති බව යුරෝපා කවුන්සිලයේ ක්‍රියාකාරිකයකු වන එලී ජෙරන්මයෙහ් පවසයි.

ඉරාකයට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පනවන්නට මුල් වූයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළයි. සම්බාධක හේතුවෙන් ඉරාන තෙල් සහ ගෑස් අලෙවියටද ලෝක වෙළෙඳපොළ තුළ සීමා කිරීම් මතුව ඇත.

අල් ජසීරා ඇසුරෙනි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...