ස්මාර්ට් පරිණාමවාදය | දිනමිණ

ස්මාර්ට් පරිණාමවාදය

ඩාවින්ගේ පරිණාමවාදය හැබෑවක් කියලා හිතුවොත් අපිට අර යස අගේට හුරුබුහුටියට සුහුරුවට තිබුණු අපූරු වලිග පොඩ්ඩ නැති වුණා වාගෙ තව ශතවර්ශ කීපයක් ගියාම ඇඳ කකුලක හැප්පුණෝතින් ඇරුණුකොට නිස්සද්දව ඉන්න චූටි ඇඟිල්ලත් නැතිවෙලා යාවි කියලා පුංචිම පුංචි බයක් නැතුවා නොවෙයි. ඒත් දැන් අපේ අතේම මිට මෙලවිලා පැළවෙලා මුල් ඇදලා තියෙන ස්මාට් ෆෝන් දැක්කහම ඔන්න ඔහේ ශරීරෙන් කෑල්ලක් අඩු වුණත් ඒ හැටි ලොකුවට අඩුපාඩුවක් නොදැනේය කියලා හිතෙනවා.

මීට දහ පහළොස් අවුරුද්දකට ඉහත්තෙ සිමෙන්ති ගල්, මෝඩ ගඩොල් විතර මහ විසාල හෑන්ඩ් ෆෝන් ගන්න හූල්ල හූල්ල පත්තරේ දැන්වීම් බලපු අපි අද ස්මාර්ට් ෆෝන් අරගෙන ගමන බිමනත් හරිම ඩිජිටල් වෙලා කියලා හිතෙනවා. වැඩ ඇරිලා දාඩිය දාගෙන පරණ පුරුදු බස් එකේ හවස් ජාමෙ පැයක් දෙකක් ආමර් වීදිය හරියෙ වාහන තදබදේ ලැගගෙන කවදා ගෙදර යන්න ලැබේවිද කියලා කල්පනා කර කර ඉන්නකොට නිකමට වගේ වටපිට ඇහැලාලා බලන්න මේ කියනවට. කට්ටියම යමරෙට වැඩ. බස් එක යනවද නොයනවද කියලා වගේ වගක්වත් නැතිව කොයි කවුරුත් තම තමුන්ගෙ ෆෝන්වලට බර වෙලා. යන්නෙ බස් එකකද රෙකෝඩ් බාර් එකකද කියලා හිතෙන තරමට මහා සද්දෙට බයිලා සිංදු දාලා තියෙද්දිත් සමහර නංගිලා මල්ලිලා හෑන්ඩ්ස් ෆ්‍රී කනේ ගහගෙන මොනවා ඇහෙනවට අහගෙන ඉන්නවාද කියලත් හිතෙනවා වෙලාවකට. ඉස්සරහට යන්න, පස්සට යන්න, මෙහෙට වෙන්න එහෙට වෙන්න, සීට් පහේ බස් එකේ තුන් වෙනි පෝලිමෙන් ඉස්සරහට එන්න, මහත්තය නෝනා ඔය ඉඩ තියෙන්නෙ කියලා කොන්දොස්තර මහත්තයා උගුර ලේ රහ වෙනකම් කෑගැහුවට මොකද මේ කාණ්ඩෙ නෙමෙයි ඇහැක්වත් ඇරලා බලන්නෙ ඔන්න.

කොන්දොස්තර මහත්තයට ඕනෙ බෙරයක් වාදනේ කරගන්න කියලා මෙයැයිලා ට්‍රැෆික් නැති ඉන්ටානෙට්ටුවෙ එහාට මෙහාට සැරි සරමින් සතුටින් ගත කරනවා. කොන්දොස්තර මහත්තයා මෙයැයිලා ළඟට ඇවිදින් දෙතුන් පාරක් උරිස්සට ඇනලා, ඇනලා පිනුම් ගහලා රිලා නැටුම් නටලා තමයි මෙයාලගෙ ඇස් දෙක ෆෝන් තිරෙන් ගලෝගෙන ටිකට් ගන්න උනන්දු කරවන්නෙ. ඔහොමින් කොහොමින් හරි ටිකට් අරගෙන ගමනට පිටත් වුණා කියමුකො. ඉස්සර නම් නියම තැනින් බස් එකෙන් බැහැගන්න වෙන්නෙ නැත්තෙ පාන්දර ඉඳන් ඇහැරගෙන මහන්සිවෙලා යනකොට නොදැනීම ඇහැ පියවුණාම. ඒත් දැන් කාලෙත් හරි වෙනස්, තාලෙත් හරි අලුත් හින්දා කැලණි පාලමෙන් බහින්න උන්නු මහත්තයා මරදංකඩවලින් බහින්නෙ කොහොම හරි අලුතින් ගමක් එක්ක බලකොටුවක් ගොඩ නගලා, හමුදාවක් හදලා, වටේම ඉන්න සෙට් එකට ගහලා, ගොයම්, ඉරිඟු, තිරිඟු වවලා, ගව පට්ටිදෙක තුනක් හදලා පාන් ගෙඩියක් පුච්චගෙන චීස් කෑල්ලක් එක්ක කෑවටත් පස්සෙ තමයි.

මහත්තුරු ගේම් ගහද්දි හුගාක් නෝනලා නම් එක එක ජාතියෙ බෑග් සපත්තු බලමින් වෙබ් සයිට්වල සැරිසරනවා. එක්කො පිටිපස්සෙ සීට් එකේ ඉන්න කාටත් පේන්න එයාගෙ දුක මහා පතරංග ජාතකේ වගේ දිගට දිගට ලියලා කාට කාට හරි වයිබර්, වට්ස් ඇප් කරනවා. පොටෝ එඩිට් කරනවා. තව සමහරු බස් එකේ කාගේත් දැන ගැනීමට කාත් එක්ක හෝ මහා හයියෙන් ගෙදර තියන වාහන ගැන, හොස්පිටල් බිල් ගැන, ළමයාගෙ විභාග ලකුණු ගැන කතා කරනවා. අන්තිමට, 'පුතේ, ගෙදර යතුර ඉස්සරහ දොර ළඟ මල් පෝච්චිය යට හංගලා තියනවා' කියලා කාටත් සතුටින් දැනුම් දීලා තමයි මේ කට්ටිය කතාව අහවර කරන්නෙ. සිග්නල් නැතත්, ස්පීකර් නැතත් එහා කොනේ එල්ලිලා ඉන්න කෙනාගෙ මැරිච්චි ආච්චිටත් ඇහෙන තරම් සද්දෙට කතා කරන අයට හෙට අනිද්දා අය වැයකින් ශබ්ද දූෂණයට බද්දක් අය කරනවට අපේ නම් කිසි පරහක් නෑ ඔන්න.

මේ කාටත් වඩා හරි අපූරුම කට්ටියකුත් ඉන්නවා. එයාලා මේ අපි වගේ ස්මාට් ෆෝන් දිග ඇරගෙන එව්වයෙ ගිලිලා හුස්ම හිරකරගන්නෙ නෑ. එයාලා හරිම ස්මාට් අය. මේ කට්ටිය හෙමීට අපේ එහා පැත්තෙන් වාඩි වෙලා ස්ප්‍රීං හයි කරපු එයාලගෙ රබර් ඇහැ හෙමීට ඇස් කුහරෙන් එළියට අරගෙන අපේ ෆෝන් තිරේ මත අලෝ ගන්නවා. ඊට පස්සෙ ඉතින් එයාලගෙ ඇහැ බෝලෙ අපේ සියලු වතගොත විස්තර,පොටෝ කෑලි, කෙටි පණිවුඩ, කළු තිත් තුන හතරක් එකට යා කරන අපේ ස්මාට් ෆෝන් එකේ මුර පදය වගේ එකී මෙකී නොකී සියලුම විස්තර පත්‍රිකාව එයාලගෙ සී.පී.යූ. එකට දාගන්නවා. අපි ටිකක් ඔරෝලා ගොරෝලා එහෙක්-මෙහෙක් වුණොත් බොහෝම ටික වෙලාවකට රබර් ඇහැ ගලෝගන්න මේ නෝනා-මහත්හොරු වෙලාවක් බලලා එයාලගෙ රබර් ඇහැ ආපිට ක්‍රියාත්මක කරනවා.

මේ වගේ ස්මාට් ලෝකෙක, තව පරම්පරා හත අටක් ගියාම ඉපදෙන්න ඉන්න සූටික්කං බබාව ස්කෑන් කරලා, බය වෙන්න දෙයක් නෑ මෙයාගෙ හරියට ගාණට බෙල්ල වක් වෙලා කොන්ද ටිකක් කුදු වෙලා ඇස් පාත් වෙලා තියනවා කියලා දොස්තර මහත්තයා මදහසකින් මුව සරසාගෙන කිව්වොත් ඔන්න ඩාවින් වුණත් පුදුම වෙන එකක් නෑ!

අමාලි මල්ලවආරච්චි
@mllwrachch 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...