අගාධයට ඉහළින් සෝවියට් ලේඛක ඇලෙක්සැන්ඩර් බෙලායෙෆ් | දිනමිණ

අගාධයට ඉහළින් සෝවියට් ලේඛක ඇලෙක්සැන්ඩර් බෙලායෙෆ්

වටේ යාම

දින කීපයකින් පසු මහාචාර්යවරයාට යාන්තමින් කොර ගසමින් නැගිට සිටිමට හැකි විය. ගෙවත්තේ කෙළවරක බිංගෙයක තිබු රසායනාගාරයට වි ඔහු පැය ගණන් ගත කළේය. ඒ අතර මට ඔහුගේ පුස්තකාලය පරිහරණය කිරීමට අවසරය ලැබිණ. ඔහු කිසිදු අවස්ථාවක රසායනාගාරයට පිවිසීමට මට ආරාධනා නොකළේය.

එක් දිනක මා පුස්තකාලයේ වාඩි වී සිටිය දී තිගැස්මෙන් යුතු වැග්නර් කෑගසමින් දොරකඩ පෙනි සිටියේය.

'ඒක වටේ යනවා. මම උපකරණයට ගමන් කිරීමට සැලැස්වුවා. දැන් අපි බලමු මොකද වෙන්නෙ කියලා”

අති විශේෂ දෙයක් සිදුවෙතැයි අපේක්‍ෂාවෙන් මම බලා සිටියෙමි. එහෙත් කාලය ගෙවී ගියේය. දවස ගෙවී ගිය අතර කිසිවක් සිදු නොවීය.

'පොඩ්ඩක් බලා ඉන්න”නැවුන උඩු රැවුල අතරින් සිනාසෙමින් මහාචාර්යවරයා කීවේය. 'කේන්ද්‍රපසාරී බලය චතුරශ්‍රයේ එක් අංශයකට හැරෙව්වා. ඔබ දන්නවද? පෘථිවිය එක්තරා සීමාවකට කැරකෙව්වා. වේගය වැඩි කරන එක පහසු දෙයක් නෙවෙයි.”

පසුදින උදෑසන අවදිව ඇඳෙන් බසින විට වෙනදාට වඩා සැහැල්ලු වී ඇති බවක් මට හැගිණ. ඒ පිළිබඳ පරීක්‍ෂා කිරීමට පුටුවක් ඔසවා බැලූ විට එයත් බරින් අඩුව ඇති බව පෙනිණ. එසේ නම් කේන්ද්‍රපසාරී බලය වැඩ කරනවා. මම ආලින්දයට ගොස් සෙවනක් යටට වී පොතක් කියවීමි. එහෙත් ඉක්මනින්ම මට වැටහී ගියේ සෙවනැල්ල ඉතා වේගයෙන් ගමන් කරන බවයි. එහි අර්ථය කුමක්ද? හිරු වඩා වේගයෙන් ගමන් කරනවාද?

'ආ එතකොට ඔබට වැටහුණා”මා දෙස පසෙකටවී බලා සිටි වැග්නර් පවසනු මට ඇසිණ.'පොළොව වේගයෙන් ගමන් කරනවා. දිවා සහ රාත්‍රි කාල කෙටි වෙනවා”

'මේ සියල්ලෙන් අපව කොහාටද මේ අරගෙන යන්නෙ?”ව්‍යාකුල තත්ත්වයෙන් පසුවු මම විමසුවෙමි.

'අපි බලමු”

හිරු වෙනදාට වඩා පැය දෙකකට කළින් බැස ගියේය.

'මේ සිද්ධිය නිසා මුළු ලෝකයේම ඇති වු කැළැඹීම මට හිතාගන්න පුළුවන්” මම මහාචාර්යවරයාට කීවෙමි. 'මම දැනගන්න කැමතියි.........”

'මගෙ අධ්‍ය්‍යන කාමරයට ගියහම දැනගන්න පුළුවන්. එතන ගුවන් විදුලි යන්ත්‍රයක් තියෙනවා”වැග්නර් පැවසුවේය. මම වහාම අධ්‍යයන කාමරයට ගියෙමි. ලෝක ජනතාව මහත් කැළැඹීමට පත්ව ඇති බවට මම සැහීමකට පත් වීමි. එහෙත් එය ආරම්භයක් පමණි. පෘථිවිය වේගයෙන් කැරකැවෙන අතර දවස වඩ වඩා කෙටි වෙයි.

'සමකය ආශ්‍රිතව ඇති සියලුම දේවල් බරින් හතළිහෙන් එකක් දැනටමත් අඩු වෙලා. දිවා සහ රාත්‍රී කාල පැය හතර දක්වා අඩු වූ විට....”වැග්නර් මහතා මා සමඟ කීවේය.

'ඇයි නිරක්‍ෂයෙ විතරක්?”

'පෘථිවියෙ බලය එහි දුර්වලයි. ඒ නිසා කැරකැවීමට දීර්ඝ කාලයක් ගතවෙනවා. ඒ නිසා කේන්ද්‍රාපසාරි බලය තමයි බලවත්”

මෙහි භයානකකම දැනටමත් විද්‍යාඥයින්ට වැටහී තිබේ. නිරක්‍ෂ කලාපයෙන් බලය අඩු වීම ආරම්භ වන අතර නිරක්‍ෂයෙන් ඈතට යන විට කේන්ද්‍රාපසාරි බලය අඩුවේ.

'බර අඩු වීම නිසා අති විශාල දුම්රියක් චලනය කරන්න පුළුවන්. ගුවන් යානාවක් ඉතා විශාල වේගයකින් ගෙනියන්න මෝටර් සයිකල් ඇන්ජිමක් ප්‍රමාණවත්. මිනිසුන් බරින් අඩුවෙනවා වගේම ශක්තිමත් වෙනවා. හැමදාම මට හැගෙනවා මාව පාවෙනවා වගේ අතිවිශේෂ ප්‍රසන්න හැගීමක්.”

කෙසේ වෙතත් ගුවන් විදුලිය ඉක්මනින්ම ප්‍රථම විපත වාර්තා කරන්නට විය. වංගුවල සහ බෑවුම්වල දී දුම්රිය පීලි පනින්නට විය. එහෙත් ජිවිත හානි අවම විය. දුම්රිය මැදිරි තරමක් උඩ විසිවුවත් ඒවාට අලාභහානි නොවීය. සුළග, කුණාටු තත්ත්වයකට වර්ධනය වූ අතර දූවිලි වලාකුළු ඉහළට නැගුණි. මුහුදු සීමාවේ දරුණු ජල ගැලීම් වාර්තා වී තිබේ.

වේගය දාහත් වාරයකින් වැඩි කළ විට නිරක්‍ෂය අසල සිටි මිනිසුන් සහ භාණ්ඩවල බර නැති වී ගියේය.

රාත්‍රියේ ගුවන් විදුලිය බරපතල ප්‍රවෘත්ති ගෙන ආවේය. නිරක්‍ෂය ආශ්‍රිතව වාසය කරන අප්‍රිකාවේ සහ ඇමෙරිකාවේ මිනිසුන් කේන්ද්‍රාපසාරි බලයෙන් උඩ විසි වන්නට විය. එම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වූ බව වාර්තා වන්නට විය.

ඒ සමඟම බියජනක ප්‍රවෘත්තියක් නිවේදනය විය. නිරක්‍ෂය ආසන්නයේ වාසය කරන අයට හුස්ම හිරවෙන්නට විය.

'කේන්ද්‍රපසාරි බලයෙන් පෘථිවියේ වායු ආවරණය ඉරා දමනවා. ඒ නිසා පෘථිවියට දැන් අභ්‍යාවකාශයේ රැඳී සිටින ස්ථානයේ ඉන්න බැහැ”මහාචාර්යවරයා සන්සුන්ව පැවසුවේය.

'ඒත්... ඒත්.... අපගෙත් හුස්ම හිරවෙන්න පටන් ගනීවිද?” මම කලබලයෙන් විමසීමි.

ඔහු උරහිස ගැස්සුවේය.

'මෙවැනි අනපේක්‍ෂිත සිදුවීම්වලට මුහුණ ඳීමට අපට පහසුකම් සලසලා තියෙනවා”

'ඒත් ඇයි ඔබ මෙය ආරම්භ කළේ? ඇත්තටම මෙය ලෝකයටම බලපාන මහා විපත්තියක්. සභ්‍යත්වය විනාශ කර දැමිමක්”

වැග්නර් සන්සුන්ව සිටියේය.

'ඇයි මම මෙය ආරම්භ කළේ කියන කාරණය ඔබට පසුව වැටහේවි”

'මෙය තවත් අත්හදා බැලීමක නාමයෙන් කරන දෙයක් නොවෙයි?”

'ඔබගේ කලබලය මට තේරුම් ගන්න බැහැ”ඔහු කීවේය. 'ඒක අත්හදා බැලීමක් පමණක් නම් අපි හේතු ගැන හිතමු. හරිකේන් කුණාටුවක් හරි ගිනි කඳු පිපිරීමක් නිසා මිනිසුන් දස දහස් ගණනක් මැරෙනවා. ඒත් ඒකට කාටවත් දොස් නඟන්න ඔබට හිතෙන්න නැහැ. තවත් ස්වාභාවික විපත්තියක් ලෙසයි ඒක සළකන්නෙ”

එම පිළිතුරෙන් මම සැහීමකට පත් නොවීමි. එපමණක් නොව ප්‍රථම වරට මේ මිනිසා පිළිබඳ ක්‍රෝධයක් මා තුළ හටගත්තේය.

විද්‍යාත්මක අත්හදා බැලීමක් වෙනුවෙන් මිනිසුන් දස ලක්‍ෂ ගණනකගේ ජීවිත කැප කරන මිනිස් වර්ගයා කෙරෙහි අනුකම්පාවක් නැති තැනැත්තා රාක්‍ෂයෙකැයි මට සිතිණ.

වැග්නර් කෙරෙහි මා තුළ හටගත් ක්‍රෝධය මා නරක තත්ත්වයකට ඇද දමන තරමට වර්ධනය විය. පුදුමයක් නොවේ. ඒ භයානක වාර්තා, ලෝකය කැබලිවලට කැඩී යන ආකාරය, දිවා සහ රාත්‍රි කාල වේගයෙන් වෙනස්වන ආකරයෙන් ඕනෑම කෙනකු පිස්සු වැටේ. මට කොහෙත්ම නිදා ගත නොහැකි විය. වඩා ආරක්‍ෂිතව සිටීම සඳහා මම එහා-මෙහා ඇවිද්දෙමි. සුළු මස් පිඩු තෙරපීමක් නිසා මගේ හිස සිවිලිමේ වැදිණ. එහෙත් මට සිදු වූ හානිය අවම විය. ශීඝ්‍රයෙන් බර අඩු වන්නට වු අතර එය දරා ගත නොහැකි තරම් විය. යාන්තම් අත වැදුන පමණින් බර ගෘහ භාණ්ඩ ලිස්සා ගියේය.

නල ජලය හෙමිහිට ගලා ගියේය. කුඩා ගංගාව වක්කලම් ගසමින් ගලා යනු දර්ශනය විය. ශරීර අතපය දෙදරුම් කන්නට විය. අත් පාවලට බරක් නොදැනුණ බැවින් ඒවා නූල්වලින් අදින රූකඩ මෙන් වැඩ කළේය. ශරීරයේ මස් පිඩු බර අඩු වීමත් සමඟ බලවත් වී වෙනස දරා ගත නොහැකිව නියම තත්ත්වයට පත් වන්නට උත්සාහ දැරුවේය.

ගෘහ සේවිකාව වු ෆ්‍රීමා මා මෙන්ම කුපිත වුවාය. ආහාර පිසිම දුෂ්කර ක්‍රියාවක් විය. කුස්සියේ හැලි වලං පාවෙන්නට වු අතර ඇය ඒවා අල්ලා ගන්නට උඩ පනිමින් දගලන්නට වුවාය.

වැග්නර් පමණක් බෙහෙවින් සතුටට පත්ව සිටියා පමණක් නොව අප දෙස බලා සිනාසුනේය. මම අමාරුවෙන් පිටතට ගොස් ගල් කැටවලින් සාක්කු පුරවා ගතිමි. එසේ නැතිනම් මාව අහසට විසිවනු ඇත. මුහුදු ජලය උස්ව නැ‍ඟෙන අයුරුත් වෙරළ යට කරමින් බටහිර දෙසට මුහුදු ජලය ගලා යන අයුරුත් මම දුටුවෙමි. ඒ සියල්ලටම අමතරව මම හුස්ම ගැනීමේ අපහසුවෙන් මෙන්ම වෙව්ලීමෙන් පෙළුනෙමි. වාතයේ ඝනත්වය අඩු වන්නට විය. නැගෙනහිර පැත්තෙන් හමා ආ චණ්ඩ මාරුතය අඩු වන බව පෙනෙන්නට තිබිණ. එමෙන්ම වාතයේ උෂ්ණත්වයද අඩු විය.

වාතය තව තවත් තුනී වන්නට විය. අවසානය ළඟා වෙමින් තිබේ. මා තෝරාගෙන ඇත්තේ කුමන අන්දමේ මරණයක්දැයි සිතමින් මම ශෝක වීමි. මම එක්කෝ අහසට විසි වන තුරු හෝ හුස්ම හිරවීමෙන් මිය යන තුරු බලා සිටිය යුතු වෙමි. එයින් දෙවැන්න වඩා නරකය. එහෙත් අවසානයේ පෘථිවියට සිදු වන්නේ කුමක්ද යන්න මට බලා ගත හැකි වේ. නැත. එක්වරම සියල්ල නතර විය. මා තුළ අලුත් හැඟීමක් ඇති වූ බව මට හැගිණ. අනතුරුව සාක්කු පුරවාගෙන සිටි ගල් ඉවතට දැමීමි.

කෙනෙකුගේ අතක් මාව නතර කළේය.

'පොඩ්ඩක් ඉන්න”මට වැග්නර්ගේ කටහඬ ඇසිණ. එම දුෂ්කර පරිසරයේ ඔහුගේ හඬ මට ඇසුනේ දුර්වල ලෙසිනි. 'අපට පොළොව යටට යන්න වෙලාව හරි”

වැග්නර් මගේ උරහිසින් අත ඉවතට ගත් අතර ආලින්දයේ පවන් සලමින් සිටි ගෘහ සේවිකාවට හිසින් සන් කරමින් විශාල ආවාටය එනම් පොළොව යට ඇති ස්ථානය වෙත ගමන් කළේය. අපි ඔහු අනුකරණය කළෙමු. මට මගේම කැමැත්තක් නොවූ අතර මම සිහි මුලා වූ තත්ත්වයක පසු වීමි. පොළොව යට රසායනාගරයට යාමට ඇති බර දොර විවෘත කළ වැග්නර් මාව එය තුළට තල්ලු කළේය. සිහි කල්පනාවක් නැතිවම මම එහි මෘදු ගල් ඇතිරූ බිමට වැටුනෙමි.

මතු සම්බන්ධයි

අනුවාදය බොබී ජී. බොතේජු

නව අදහස දක්වන්න