නාය යාමට පෙර අනතුරු අඟවන අලුත් නිමැවුම | දිනමිණ

නාය යාමට පෙර අනතුරු අඟවන අලුත් නිමැවුම

නාය යෑම්, මීට දශකයකට පමණ පෙර කලාතුරකින් අසන්නට දකින්නට ලැබුණු ස්වභාවික ව්‍යසයනකි. එහෙත් අද වන විට 'නාය යෑම්' එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන තත්ත්වයක් බවට පත්ව ඇත්තා සේම පීඩාවට පත්වන ජනතාවට හැර අන් අයට වැඩි ගණනක් නොමැති ව්‍යසනයක් බවට ද පත්වෙමින් පවතී.

ඉදිරියේ දී ඇති විය හැකි නාය යෑම් පිළිබඳ පූර්ව නිගමනයනට එළඹෙනුයේ අධි තාක්ෂණික උපකරණ භාවිතයෙනි. ඒවායේ මිල අධිකය. අප වැනි රටකට දැරිය නොහැකි තරමේ වෙයි. එහෙත් එවැනි උපකරණයක අවශ්‍යතාව මේ වන විට අපට දැඩිය දැනෙමින් පවතී.

මෙම ගැටලුවට සාර්ථක පිළියමක් කරගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයක් පසුගිය දා දකින්නට හැකි වූයේ කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති 'සහසක් නිමැවුම්' ප්‍රදර්ශනයේ දී ය.

Informatics Institute Of Technology පුද්ගලික විශ්වවිද්‍යාලයේ පළමු වැනි වසරේ උපාධි අපේක්ෂකයකු වන හිරුණ හිමන්ත පල්ලගේ විසින් නාය යෑම් කලින් හදුනාගෙන අනතුරු හැඟවීමේ පද්ධතියට සහසක් නිමැවුම් නරඹනන්නන්ගේ වැඩි අවධානයක් යොමු වූ ප්‍රදර්ශන කුටියක් විය. නව නිර්මාණය පිළිබඳ හිරුණ පැවසුවේ මෙවැනි අදහසකි.

'කඳු නාය යෑම වර්තමානය වන විට ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් මුහුණ දෙනු ලබන ප්‍රධාන ගැටලුවක් සහ ව්‍යසනයක් බවට පත් වෙලා ඉවරයි. අපේ රටෙත් පසුගිය කාලවකවානුව තුළ දිගින් දිගටම නාය යෑම් සිදු වුණා වගේම ඒ හරහා විශාල ජීවිත සංඛ්‍යාවක් ද අහිමි වුණා. මේ ගැන මගේ අවධානය යොමු වුණා. තරිදු ගන්ගොඩ, සමෝද් ඒකනායක, යෙහෙන් අන්දරවීර සහ මහෙල් මාවෙල්ලගේ යන කණ්ඩායම විශ්වවිද්‍යාලයෙන් වාර්ශිකව පවත්වන Cutting Edge තරගාවලියට මේ උපකරණය ඉදිරිපත් කළා. මේ උපකරණය වැඩි දියුණු කරන්න පරීක්ෂණ කරනකොට මගේ අවධානය යොමු වුණේ නාය යෑමකට ‍ප්‍රථමව පහළ වන ලක්ෂණයන් පිළිබඳ. නාය ගිය ප්‍රදේශවල සංචාරය කොට නාය යෑමක පූර්ව ලක්ෂණ අවබෝධ කර ගැනීමට කටයුතු කළා.'

මෙම උපකරණය නිපදවීමේ දී හිරුණ නාය යෑම්වලට තුඩු දිය හැකි අවස්ථා කිහිපයක් ගැන ම අවධානය යොමු කර තිබේ. අදාළ ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය මැන ගැනීම, එම ප්‍රදේශයෙහි පසෙහි ආර්ද්‍රතාවේ වෙනස්වීම් සහ පස පහළට ගලා යාම යන කාරණා ත්‍රිත්වය නියමිත මානයන් ඉක්මවා යාම සිදුවුහහොත් නාය යෑමේ පූර්ව ලක්ෂණ ලෙස හඳුනා ගැනෙයි.

'මා නිර්මාණය කළ උපකරණයේ කොටස් කිහිපයක් තිබෙනවා. ප්‍රධාන පාලක උපකරණය, ප්‍රධාන කුලුන, වර්ෂාපතන මානය සහ පසෙහි ආර්ද්‍රතාවේ වෙනස්වීම් හඟවන සංවේදක හෙවත් සොයිල් මොසිස්චර් සෙන්සර්ස් (Soil Moisture Sensors)ප්‍රධාන උපකරණ වෙනවා. මෙහිදී අදාළ ප්‍රදේශයට ඇති වන වර්ෂාපතනය, එම ප්‍රදේශයේ සවිකර ඇති වර්ෂාපතන මානය මඟින් ප්‍රධාන පාලක මෘදුකාංගයට නිරන්තර දැනුම් දෙනු ලබනවා. ඒ වගේම ප්‍රදේශයේ විවිධ ස්ථානයන්හි පොළොව තුළට බහා ඇති පසෙහි ආර්ද්‍රතාව හඟවන සංවේදක මඟින් පසෙහි වෙනස්වීම් පිළිබඳ නිරන්තර සෙවිල්ලෙන් පසුවෙමින් කිසියම් වෙනස්වීමක දී පාලක මැදිරයට තොරතුරු වහා සන්නිවේදනය කරනු ලබනවා. එසේම බෑවුමක සිටුවා ඇති ප්‍රධාන කුලුනෙහි කුඩා හෝ ඇලවීමක් සිදු වුණොත් වහා ප්‍රධාන පාලකය වෙත තොරතුරු ලබා දීම සිදු කරනවා. මෙම ප්‍රධාන කුලුනට අමතරව අනු කුලුනු කිහිපයක්ම නිර්මාණය කරන්න අදහස් කරනවා. මෙහිදී එම අනු කුලුනු කඳු ප්‍රදේශවල විවිධ ස්ථානයන්හී සවිකර ඒවාගේ සිදුවන චලනයන් නිරීක්ෂණය කරනවා. එම සියල්ලගෙන්ම ලබා ගනු ලබන දත්තයන්ගෙන් අවසාන සහ නිවැරදි දත්තයන්වලට අනුව මෙම උපකරණය ක්‍රියාත්මක වෙනවා.'

හිරුණ නිර්මාණය කර ඇති මෙම උපකරණයේ ප්‍රදේශයේ නොයෙක් තැන්වල සවිකර ඇති අනෙක් සහායක උපකරණ සඳහා නියමිත අගයන් ලබා දී ඇත. එම අගයන් හි උපරිමය නාය යෑමක පූර්ව ලක්ෂණයන් වන අතර ඒ මොහොතේ දී එම සහායක උපකරණ මඟින් ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කර ප්‍රධාන පාලක උපකරණය නාය යෑමක පූර්ව ලක්ෂණ පහළ වී ඇති බවට සංඥා නිකුත් කරනු ලබයි.

නාය යෑමක පූර්ව ලක්ෂණ සංඥා ද දෙ ආකාරයකට සිදු වේ. එනම් ජනතාව දැනුම්වත් කිරීම සඳහා සයිරන් නාදයක් ද කෙටි පණිවුඩ මගින් දැනුම් දීමක් ද කෙරෙනු ලබයි. මේ සියලු උපකරණ සහ සංවේදක මඟින් ලැබෙන තොරතුරු හිරුණ විසින්ම නිර්මාණය කරනු ලැබූ විශේෂිත මෘදුකාංගයකින් විශ්ලේෂණය කර අනතුරු හැඟවීම කරනු ලබයි. මෙම උපකරණයේ තවත් එක් සුවිශේෂීත්වයක් වන්නේ එක් සහායක උපකරණයක් උපරිම සීමාවට පැමිණියත් අනෙක් උපකරණ ද්විත්වය උපරිම සීමාවට පැමිණ නොමැති නම් නාය යෑමේ පූර්ව සංඥා නිකුත් නොකිරිමයි. ඒ අනුව විටින් විට ජනතාව වෙත අනතුරු හැඟවීම්වලින් මිදී සැබෑවටම සියලු දත්තයන්ගෙන් ලද සත්‍ය තොරතුරු මත සැබෑ නාය යෑමක් ආසන්න බවට හැගෙන අවස්ථාවලදී පමණක් අනතුරු සංඥා නිකුත් කිරීමේ හැකියාව ලැබී ඇත.

ඉහත උපකරණ මඟින් ලබා දෙන පාරිසරක වෙනස්වීම් තොරතුරුවලට අමතරව උපකරණයේ ම කොටසක් වන 'බිත්ති පිපිරුම් සහ දෙදරීම් හඳුනා ගැනීමේ උපකරණය' (Wall burst and vibration detector)මඟින් කඳු ආශ්‍රිතව තනා ඇති නිවාසවල බිත්ති ඉරිතැලීම්, දෙදරීම් සංවේදනය කර ඒවා සංඥා කුලුන නැතිනම් ප්‍රධාන කුලුන හරහා මෙහෙයුම් මෘදුකාංගය වෙත ලබා දෙනු ලබයි. නිරන්තර අවධානයෙන් සිටින මේ සියලු සංවේදක හරහා ලබාදෙන තොරතුරු කාලගුණ නිලධාරීන්ට හෝ ඒ පිළිබඳ වගකිව යුතු නිලධාරීන්ට ලබාගෙන අධ්‍යයනය කර වහා තීරණය ගැනීමේ හැකියාව ඇත. එසේම පොළොව තුළට බහා ඇති අධි සංවේදී මයික්‍රෆෝනය මඟින් ද පොළොව අභ්‍යන්තරයේ ඇති වන ශබ්ද රටාවන් අධ්‍යයනය කිරීමේ පහසුකම මෙම උපකරණය හරහා ලැබී ඇත.

'මෙම නව නිර්මාණය හරහා ලබා දෙන සියලුම දත්ත අධ්‍යයනය කර ඉතා නිවැරදිව නාය යාම් සිදුවන දින ගණනය කිරීම දක්වා මෙම මෘදුකාංගය වැඩි දියුණු කිරීම මගේ ඊළඟ අරමුණයි. ඒ වගේම මූලාකෘතියක් ලෙස තනා ඇති මෙම උපකරණය ප්‍රායෝගිකව නාය යෑම් පූර්ව හඳුනා ගැනීම් සිදුකර ගැනීමට හැකි තරම් දියුණු කර ගැනීම සඳහා රජයේ ආයතනයක් හෝ පුද්ගලික ආයතනයක් සහාය දක්වනවා නම් මීටත් වඩා මෙම උපකරණය වැඩි දියුණු කළ හැකියි.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න