ඩිජිටල් තාක්ෂණය ආර්ථිකයට පමණක් සීමා නොකළ යුතුයි | දිනමිණ

ඩිජිටල් තාක්ෂණය ආර්ථිකයට පමණක් සීමා නොකළ යුතුයි

* නිවෙසේ සිට තමන්ගේ ජංගම දුරකථනයෙන් අවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. යුරෝපයේ රටවල මේක තිබෙනවා.
* එන අවුරුදු දෙකේ අපිට රුපියල් කෝටි ලක්ෂ තුනක ණයක් ගෙවීමට තිබෙනවා. ඒ ණය ගෙවීමට නම් අපිට රටේ සංවර්ධනයේ වේගය වැඩි කළ යුතුයි
* ලෝකයේ අනෙක් රටවල් දෙස බැලූ විට ඩිජිටල් තාක්ෂණය නිසා අලුත් දියුණුවක් ඇති වී තිබෙනවා

ඩිජිටල් තාක්ෂණය ආර්ථිකයට එකතුවීමෙන් ආර්ථිකයේ තරගකාරිත්වය වැඩි වී ඇති බවත්, ලංකාව වැනි රටකට එයින් ප්‍රයෝජන ගත හැකි බවත් එම ඩිජිටල් තාක්ෂණය ආර්ථිකයට පමණක් සීමා නොකළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාල‍ාවේ පැවති ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකාව ඩිජිටල් කරණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කරමින් සිදු කරන ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය මඟින් රටේ ප්‍රධාන ආයතන 3500ක් ජාලගත කිරීමට අදහස් කරන අතර එහි ආරම්භය වශයෙන් ආයතන 860ක් පළමු අදියර යටතේ ජාලගත‍ කෙරේ. ඉදිරි වසර කිහිපය තුළ දී මෙම ව්‍යාපෘතිය මඟින් සියලුම ආයතන ජාලගතකර, රාජ්‍ය ආයතන සියල්ලම ජාලගත කිරීමත් සමඟ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා ලේකම් කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ පළාත් පාලන ආයතන මෙම ව්‍යාපෘතිය යටතේ ජාලගත කෙරෙන රාජ්‍ය ආයතනවලට අයත්ය.

අන්තර්ජාල පහසුකම් ලබාදීම, මෙගාබයිට් 100 දක්වා ධාරිතාවයෙන් යුතු පුළුල් පරාස දත්ත සම්බන්ධතාවයක් ලබාදීම, ආයතන පරිශ්‍රය ආවරණය වන පරිදි රැහැන් රහිත පරිගණක ජාලයක් ස්ථාපනය කිරීම, රාජ්‍ය ආයතනයක් සතු දත්ත තවත් රාජ්‍ය ආයතනයක් සමඟ විශ්වාස දායී සහ සුරක්ෂිත ලෙස හුවමාරු කැර ගැනීමට හැකිවීම මෙන්ම මෙම රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් සැලසීම ආදී පහසුකම් රැසක් මෙමගින් රාජ්‍ය ආයතන වෙත හිමිවේ.

මෙහිදී තවදුරට කතා කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය.

1948 වසරේ දී මෙරටට නිදහස ලැබුණ අවස්ථාවේ පළාත් නවයක් පාලනය කිරීමට ආණ්ඩුවේ ඒජන්තවරුන් 9 දෙනෙක් සිටියා. ඒ අය යටතේ දිස්ත්‍රික්ක විස්සක් පමණ භාර නියෝජ්‍ය ඒජන්තවරු 20 දෙනෙක් සිටියා. ඒ සමඟම ප්‍රදේශවල ගම්මුලාදෑනිනුත් ඔවුන්ට සහයවීමට කොට්ඨාස ආදායම් නිලධාරීන් ද සිටියා.

අද මේ රජයේ පාලනය ගෙන යාමට ආයතන 3000කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ කාලේ තැපැල් සේවයේ සම්බන්ධකම් පැවැත්වූවා. මට මතකයි වසර 40කට පෙර මන්ත්‍රී වූ අවස්ථාවේදී බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආරම්භ කරන අවස්ථාවේදී ඊට සහයෝගය දීමට මම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සයික්ලොස්ටයිලින් යන්ත්‍රයක් ලබා දුන්නා. තව ටික කලකින් මට අවස්ථාව ලැබුණා විමධ්‍යගත අයවැයෙන් ෆැක්ස් යන්ත්‍රයක් ලබා දෙන්න.

අද ආරම්භ කර ඇති ලංකා රාජ්‍ය ජාලයෙන් මේ සියල්ලම අවශ්‍ය වෙනවා. ක්‍රමානුකූලව අපි ඩිජිටල් තාක්ෂණයට ඇතුල් වෙනවා. පුළුල් පරාස දත්ත සම්බන්ධතාවයකින් රජයේ පැතිරුණ ප්‍රාදේශීය ජාලයකට රාජ්‍ය ආයතන සියල්ලම එකතු කරනවා. එදා මම ගිහින් කිව්වා නම් ඩේටා කනෙක්ටිවිටි කියලා මම දිහා බලයි මම මොනවද කතා කරන්නේ කියලා. දැන් සම්පූර්ණයෙන් කාර්යාල සියල්ල ජාලයකට එකතු වී තිබෙනවා.

අපේ ග්‍රාම නිලධාරීන් සහ නිලධාරිනියන්ට ටැබ්ලට් ලබා දුන්නාට පසු මෙම සම්බන්ධතාවය සම්පූර්ණ වෙනවා. ලබන වසර වනවිට ඩිජිටල් තාක්ෂණයෙන් අපේ පරිපාලන ක්ෂේත්‍රය සම්බන්ධ කර ගෙන යාමයි අප ආරම්භ කරන්නේ. ඊට අමතරව අත්හදාබැලීම් ලෙස සමහර කාර්යාල මේ වනවිටත් කටයුතු කරනවා. ඇමැතිතුමා සඳහන් කළා සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණයෙන් කටයුතු කරන රෝහල් දෙක තුනක් තිබෙන බව. මේකත් ක්‍රමානුකූලව ඊළඟ වසර තුන හතරෙ ගෙනියන්න අවශ්‍යයි.

ඩිජිටල් තාක්ෂණය කිව්වම අප දැක තිබෙනවා අවුරුදු හතළිහකින් කොහොමද මේ රජයේ පරිපාලනය වෙනස් වෙන්නේ කියලා. දැන් මේක විශාල පිම්මක්. නිවෙසේ සිට තමන්ගේ ජංගම දුරකතනයෙන් අවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. යුරෝපයේ රටවල මේක තිබෙනවා. අපිත් එතැනට යන්න අවශ්‍යයි.

එක එක ක්ෂේත්‍රය, එක එක සේවය දියුණු කර ගැනීමයි අපගේ පරමාර්ථය. ඊට සමාන්තරව එන අවුරුද්දේ අපි උසස් පෙළ හදාරණ සිසුන්ට ටැබ් පරිගණක ලබා දෙනවා. ඒ අනුව වසර දෙකක් ගත වෙද්දී ලක්ෂ පහකට ටැබ්ලට් තිබෙනවා. ඇයි අපි මේ සියල්ලම කරන්නේ. මේ සියල්ලම කරන්නේ මේ රට තොරතුරු තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට සම්බන්ධ කිරීමටයි. එය අපේ නවීකරණයේ පියවරක්.

2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කර අපි මේ ආණ්ඩුව භාර ගන්නා විට මේ රටේ විශාල ණයක් තිබුණා. එන අවුරුදු දෙකේ අපිට රුපියල් කෝටි ලක්ෂ තුනක ණයක් ගෙවීමට තිබෙනවා. ඒ ණය ගෙවීමට නම් ඒ ව‍ගේම අපිට රටේ සංවර්ධනයේ වේගය වැඩි කළ යුතු වෙනවා. රටේ අපනයන ප්‍රමාණය වැඩි කළ යුතු වුණා. ලෝක වෙළෙඳ පොළට ගිහින් ලෝක වෙළෙඳ පොළේ තරග කරලා එය කිරීමට අපට පුළුවන්.

අද ගෝලීය ආර්ථිකය ඉතා තරගකාරී ආර්ථිකයක්. ඒ තරගකාරීත්වයට තුඩුදුන් එක් හේතුවක් තමයි ඩිජිටල් තාක්ෂණය. ඩිජිටල් තාක්ෂණය හැම තැනම පැතිරිලා ගිහින්. ඩිජිටල් තාක්ෂණය ආර්ථිකයට එකතුවීමෙන් ආර්ථිකයේ තරගකාරීත්වය වැඩිවෙලා තියෙනවා. ලංකාව වගේ රටකට එයින් ප්‍රයෝජන ගත හැකියි. එය අපට විශාල රුකුලක්.

මොකද අපිට තියෙන්නේ එක සම්පතයි. මිනිස් සම්පත. එයට මේ තාක්ෂණය ලබා දී අපේ තරගකාරීත්වය වැඩි කරනවා නම් අපිට ඉදිරියට යා හැකියි. දැනට අපි ලෝකයේ තරගකාරිත්වය ඇති කර තිබෙනවා. අපි රෙදිපිළි නිෂ්පාදනය කළා. රෙදිපිළි නැතුව අපි පිටින් ඒවා ගෙනවිත් අපේ ශ්‍රමයෙන්, අපේ ශිල්ප ශක්තියෙන් වැඩ කරලා තිබෙනවා.

අනෙක් සෑම අංශයටම යා යුතුයි. අපේ සම්පූර්ණ ආර්ථිකය එතනට ගෙන යා යුතුයි. දැනටම සමාගම්වල ව්‍යාපාරවල මේ තාක්ෂණය ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම මට අවස්ථාව ලැබුණා මීට සති කිහිපයකට පෙර ස්ටාර් ගාර්මන්ට් සමාගමේ නිර්මාණ මධ්‍යස්ථානය විවෘත කිරීමට. නමුත් මේ පළවැනි එක නෙවෙයි. අපේ ලාංකික සමාගම් දෙක තුනක් ජාත්‍යන්තර නිර්මාණ මධ්‍යස්ථාන ආරම්භ කර මුළු ලෝකයටම අලුත් නිර්මාණ සපයනවා.

සාමාන්‍යයෙන් තමන්ගේ කර්මාන්ත ශාලාවට අලුතින් යන්ත්‍රයක් මිලදී ගත්විට එම යන්ත්‍රය තුළම තිබෙනවා මේ තාක්ෂණය. මේ තාක්ෂණයෙන් ප්‍රයෝජන ගත යුතුයි. අපි අගය වැඩි කළ හැකි තරගකාරී වේදිකාවක් බවට පත්විය යුතුයි.

ඩිජිටල් තාක්ෂණය ආර්ථිකයට පමණක් සීමාකර හරියන්නේ නෑ. ආර්ථිකය මෙන්ම අපේ අධ්‍යාපනය, පරිපාලනය යන සියල්ල තුළින් විශාල පරිවර්තනයක් මේ රටේ ඇති වෙනවා.

මේ සියල්ල හැරුණු විට ලෝකයේ අනෙක් රටවල් දෙස බැලූවිට ඩිජිටල් තාක්ෂණය නිසා අලුත් දියුණුවක් ඇති වී තිබෙනවා. තමන්ගේ නිවෙසට අවශ්‍ය ද්‍රව්‍ය දැන් මිලදී ගන්නෙ තමන්ගෙ ජංගම දුරකතනයෙන්, ඔන් ලයින් ක්‍රමයෙන්. ඉස්සර අපි ගියා අහළ පහළ කඩේට. ඉන් පසු සුපර් මාර්කට් යන්න පුරුදු වුණා. ඊළඟට එන්නේ ඔන්ලයින් ක්‍රමය.

මේ පරිවර්තනයේ ආරම්භය පමණයි. තව වසර දහයකින් පහළොවකින් සිදු වන පරිවර්තන කුමක් ද කියා මටවත් කියන්න බෑ. විශාල පරිවර්තනයක් වී තිබෙනවා. අවසානයේ ලෝකයේ ආර්ථිකය වෙනස් වෙනව‍ා.අපි දන්න කාලයේ වැඩියෙන්ම කාමර තිබෙන හෝටල් සමාගම තමයි මැරියට් සමාගම. එය වෙනස් වී තිබෙනවා. ඒ වගේම ගූගල්, ඇමසන් වැනි ඩිජිටල් තාක්ෂණයට අයත් සමාගම් තමයි අද ලෝකයේ ප්‍රධාන සමාගම් බවට පත් වී තිබෙන්නේ.

මේ ඉදිරිපත් කර ඇති මේ ඩිජිටල් තාක්ෂණය ඉතාම වැදගත් පියවරක් ලෙස මම සලකනවා. මීට සම්බන්ධ වූ සියලු දෙනාටම මම ස්තූතිවන්ත වන අතර අපේ මීළඟ මාස කිහිපය තුළ මේ කටයුත්ත සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ‍ඔබේ සහාය ලැබෙනු ඇතියි විශ්වාස කරනවා.

එසේම හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාට මම ප්‍රශංසා කරනවා. මේ වැඩසටහන අමාත්‍යාංශ ගණනාවක ක්‍රියාත්මක කිරීම පිළිබඳව .දැන හෝ නොදැන අපි නවීකරණය වී තිබෙනවා. සෑම අංශයෙන්ම මෙය වෙනස් විය යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපි එදා වෙනම අමාත්‍යාංශයක් ඇති කෙළේ. එදා නොමිලේ වයිෆයි දෙන්න පොරොන්දු වුණා. ජනාධිපතිතුමා සහ මම එකතු වී ඩිජිටල් තාක්ෂණය සහ යටිතල පහසුකම් ලබා දීමේ අමාත්‍යාංශයක් ඇති කිරීමේ ප්‍රතිඵලය ලැබෙමින් පවතිනවා.

මෙම අවස්ථාවට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අැමැති තාරානාත් බස්නායක ,ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේන මහතා සහ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.

ක්‍රිසාන්ති විතාරණ
ඡායාරූප - රුක්මාල් ගමගේ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...