ශ්‍රී ලංකා-ඉන්දියා පළමු ටෙස්ට් තරගය | දිනමිණ

ශ්‍රී ලංකා-ඉන්දියා පළමු ටෙස්ට් තරගය

අජින්ක්‍යා රහානේ දවාගත් දසුන් ශානක

දෙවැනි දිනටත් වැස්සෙන් බාධා වෙද්දී ඉන්දියාව කඩුලු 5කට ලකුණු 74යි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර කොල්කටාවේ ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයටත් වැස්සෙන් බාධා වීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. ඊයේ ක්‍රියාත්මක කළ හැකිවූයේ ඕවර 21ක් පමණි.

ඒ වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 74ක් ලබා දැඩි අසීරු තත්ත්වයක පසුවිය. අඩු ලකුණු ගණනකට එක පිට එක කඩුලු බිඳ වැටෙද්දී හුදෙකලා සටනක නිරත වෙමින් නොදැවී ලකුණු 47ක් රැස් කිරීමට චෙටෙෂ්වර් පුජාරා සමත් විය. පන්දු 102කට මුහුණදුන් ඔහු හතරේ පහර 9ක් ඉනිමට එක්කර ගත්තේය. රිද්දිමාන් සාහා නොදැවී ලකුණු 6ක් ලබාසිටි අතර දෙදෙනා අතර 6වැනි කඩුල්ලට ගොඩනැගූ නොබිඳුණු සබඳතාව ලකුණු 24කි. එය මෙතෙක් ගොඩනැගුණු ඉනිමේ ඉහළම ලකුණු සබඳතාවද විය.

ලකුණු 17කට කඩුලු 3ක් අහිමිව ඊයේ දිනය ඇරැඹු ඉන්දියාව තවත් අසීරු තත්ත්වයකට ඇද දැමූ තෙවැනි පන්දු යවන්නා ලෙස යොදාගත් දසුන් ශානක ඉන්දීය පිතිකරුවන් දෙදෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

ඉනිමට ලකුණු 13ක් එක්වෙද්දී ලකුණු 4ක් ලබාසිටි අජින්ක්‍යා රහානේ, නිරෝෂන් දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගිය අතර රවිචන්ද්‍රන් අශ්වින්ටද ලබාගත හැකිවුයේ ලකුණු 4ක් පමණි.

ඔහු දිමුත් කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී යනවිට ලකුණු පුවරුව කඩුලු 5කට 50ක් විය. මවුබිමේ ක්‍රීඩා කරන තරගයක ටෙස්ට් ඉනිමකදී මෙලෙස ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් 5දෙනකු ලකුණු 50ක් හෝ ඊට අඩුවෙන් තිබියදී දැවී ගොස් තිබුණේ වසර 7කට පසුවීම විශේෂත්වයකි. නවසීලන්තය සමග 2010 වසරේ අහමදාබාද් හිදී පැවැති තරගයේ ඉන්දියානු දෙවැනි ඉනිමේදී මුල් කඩුලු 5 ලකුණු 15ක් තුළ බිඳ වැටිණි. ඊයේ දිනයේ පළමු ඕවරය යැවූ ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා වූ සුරංග ලක්මාල් එම ඕවරයද නිලකුණු ඕවරයක් ලෙස සටහන් කර ගත්තේය. පෙරේදා ඔහු යැවූ ඕවර 6ම නිලකුණු ඕවර වූ අතර ඊයේ 5වැනි පන්දු යැවීමත් සමග ලෝක ටෙස්ට් පිටියේ අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ පන්දු යවන්නා ලෙස ලක්මාල් වාර්තා පොතට එක්විය. මින් පෙර 2015 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ ජෙරම් ටේලර් ඔස්ට්‍රේලියාව සමග ජැමෙයිකාවේ පැවැති තරගයේදී අඛණ්ඩව නිලකුණු පන්දු 40ක් යොමුකර තිබිණි.

ඉන්දීය පිතිකරුවන්ට ලක්මාල්ගෙන් ලකුණු ලබාගත හැකිවූයේ ඔහු ක්‍රියාත්මක කළ 8වැනි ඕවරයේ 5වැනි පන්දුවේ දීය. ඒ අනුව ඔහු එක දිගට යොමුකළ නිලකුණු පන්දු සංඛ්‍යාව 46ක් ලෙස වාර්තා විය.

අද තරගයේ තෙවැනි දිනයයි.

නව අදහස දක්වන්න