අපේ ළමයි! | දිනමිණ

අපේ ළමයි!

මනුෂ්‍යත්වය කීතු - කීතුවලට ඉරා දමන කතාන්දර රැසක් දිනපතා ම අසන්නට - දකින්නට ලැබේ. ජනමාධ්‍ය ඒවා යම් ආස්වාදයකින් යුතුව වාර්තා කරන බවක් ද පෙනෙයි. සමාජය එක අතෙකින් දැඩි ලෙස ආත්මාර්ථයෙහි බැඳී පවතී. එකිනෙකා අතර පවත්නේ මාරාන්තික තරගයකි. මේ තරගයේ දී මාපියන් දරුවන් ගැන බලන්නේ නැත. දරුවන් මාපියන් ගැන බලන්නේ ද නැත. පවුල් විසිරෙයි. දිනකට ශ්‍රී ලංකාවේ සිදුවන දික්කසාද ප්‍රමාණය 300ක් බව කියති. ඥාති සබඳතා කැඩෙයි. එක කුස ඉපැදුණු සහෝදරයෝ ඉඩමක වැටට මිනී මරා ගනිති. තාත්තා සිය තරුණ පුතාගේ මුහුණට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ මීට දින කිහිපයකට කලින්ය. හැබෑවට ම අපේ සමාජයට සිදුවෙමින් පවතින්නේ කුමක් ද?

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත්තේ පියා සිය දස හැවිරිදි පුත්‍රයාගේ අත් - පා රත් වූ හැන්දකින් පුච්චා දැමූ කතාවකි. දරුවාට දඬුවම් කිරීම සඳහා මව ද උදවු කර තිබේ. මව දරුවාගේ දෑත් ඉහළට ඔසොවා අල්ලාගෙන සිටිත් දී පියා බටයකින් පුතාට පහර දී පසුව ගිනියම් කළ යකඩ හැන්දකින් අත් - පා පුලුස්සා තිබේ. හරකුන් හංවඩු ගසන්නේ ද මේ ක්‍රමයට ය. මේ අම්මා හා තාත්තා කුමන තාලයේ මාපියන් ද යන්න වෙන ම සොයාගත යුතු ය. තමන්ගේ ම දරුවකුට වුව අමානුෂික දඬුවම් දීමේ අයිතියක් කිසිදු මාපියකුට නැත. මෙතැන සිදු වී ඇත්තේ අපරාධයකි. පියා අත්අඩංගුවට ගෙන තිබේ. දරුවා රෝහලේ ය.

නීතියේ හැටියට නම්; දරුවකු නොසලකා හැරීම ද වරදකි. එහෙත් නීතියෙන් ම පමණක් දරුවන් පිළිබඳ ගැටලු විසැඳිය නොහැකි බව පෙනී යයි. නිදසුනක් ගතහොත් දිනකට දරුවන් සම්බන්ධ සිදුවීම් මුල්කොට මාපියන් කිහිප දෙනකුවත් අත්අඩංගුවට පත් වේ. මේවායෙහි නඩු විභාගවල දී සිදුවන්නේ දඩයක් නියමකොට චුදිතයන් නිදහස් කිරීම ය. නැතහොත් සුළු කාලයකට සිර දඬුවම් නියම කිරීම සිදුවේ. ඊට පසු සිදුවන්නේ කුමක්දැ’යි අපගේ අවධානයට ලක්වන්නේ නැත. ඇතැම්විට මෙබඳු මාපියෝ දරුවන් ගෙදරින් පන්නා දමති. ඉක්බිති කබලෙන් ළිපට වැටුණු තත්ත්වයට දරුවා පත්වෙයි. අපගේ විශ්වාසයට අනුව දරුවන්ගේ මෙබඳු ගැටලු විසැඳිය හැක්කේ සදාචාරවත් සමාජයක් ගොඩනැඟීමෙන් පමණි.

සදාචාරවත් සමාජයක් පිළිබඳ අපේ කතිකාව පවතින්නේ දීර්ඝ කාලයක සිට ය. බණක්, පින්කමක්, උත්සවයක් පවතින ඕනෑම තැනක දේශකයෝ සදාචාරය ගැන කතා කරති. උපදේශන, උපහැරණ පමණක් නොව අනුවේදනීය කතාන්දර ද කියති. එහෙත් පොදු සමාජයේ කරුණාව තව ම අවදි වී නැත. දරුවන් නොසලකා හැරීම පමණක් නොව; දරුවන්ට අතිශය අමානුෂික දඬුවම් ලබාදීමත් වැඩිහිටියන්ගේ පුරුද්දක් බවට පත් වී තිබේ. මෙබඳු එක්තරා පියෙක්; තම පුත්‍රයා පාන් ගෙඩියක් කෑමේ වරදට කොස්සකින් ඔළුවට ගසා දරුවා මරා දැම්මේ ය. තවත් කුඩා දරුවකු සිදු කළ පුංචි හොරකමකට තාත්තා දඬුවම් ලබා දුන්නේ දරුවාගේ අත්දෙක ගලක් මත තබා මිටියකින් තලා දැමීමෙන් ය. අප ජීවත්වන්නේ අපායක යැයි සිතන්නට කරුණු තිබේ.

දරුවන්ට හොඳ ම දේවල් දෙමු යැයි කියන බෝඩ්ලෑලි බොහෝ තැන්වල දකින්නට ලැබේ. දරුවන් වෙනුවෙන් වැඩකරන ආයතන ගණනාවක් ද ක්‍රියාත්මක ය. මේ අතර සෑම පොලිසියක ම පාහේ කාන්තාවන් හා ළමයින් ගැන සොයා බලන ඒකකයක් තිබේ. එහෙත් අපේ රටේ පාසල් නොයන දරුවන්ගේ ගණන කොපමණ ද? ශ්‍රම සූරාකෑමට ලක් වූ දරුවන්ගේ ගණන කොපමණ ද? අවදානම් රැකියාවල නිරත වන දරුවන්ගේ ගණන කොපමණ ද? පාසල් දරුවන් කුඩු වෙළෙඳාමට යොදාගත් අවස්ථා කිහිපයක් ම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි. ඇතැම් දරුවන් අවදානම් රැකියා සඳහා යොදවා ඇත්තේ ඔවුන්ගේ මාපියන්ම ය. වැටත් - නියරත් ගොයම් කා නම් යන කතාව අප සිහියට නැ‍ඟේ. වැඩිහිටි ජනතාවට තම යුතුකම් හා වගවීම් සිහිපත් කළ යුතු කාලයක් එළැඹී ඇතැ’යි කියන්නට පුළුවන.

මිනුවන්ගොඩ සිද්ධියේ දී පියාට පමණක් නොව; මවට ද දඬුවම් ලබාදිය යුතු යැයි සිතන්නට කරුණු තිබේ. පියාගේ පහරදීමට හා හංවඩු ගැසීමට මව ද සහාය ලබා දී ඇත. සාමාන්‍ය පිළිගැනීම වන්නේ පියාට වඩා මව දරුවාට ආදරය දක්වන බව ය. දරුවන් උදෙසා ඇය වැඩියෙන් කැපවීම් කරන බව ය. අම්මා නැති කල අප්පා කවර කල යන කතාවෙන් ද අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා යන කවි පදයෙන් ද ඒ බව සනාථ වෙයි. එහෙත් මිනුවන්ගොඩ අම්මා පියාට ද එහා ගොස් දරුවාට අයුක්තියක් සිදුකර තිබේ. මානවහිමිකම් පිළිබඳ පෙනී සිටින ආයතන මේවා ගැන සොයා බැලිය යුතුය. අපේ දරුවන්ගේ මානුෂීය අයිතීන් දිගින් - දිගට ම උල්ලංඝනය වන බවක් දිනපතා සිදුවීම් දෙස බලන විට ඉතා හොඳින් පෙනී යයි.

දරුවන් හැදීම අපේ අයිතියකි, උන්ට දඬුවම් දීමත් අපේ අයිතියකි, වැනි හැඟීමක් වැඩිහිටියන් ළඟ තිබේ. එය මුළුමනින් ම සාවද්‍ය අයුක්ති සහගත පිළිගැනීමකි. ඇතැම් විට ඒවා වාසියට හදාගත් ප්‍රවාද ලෙස ද සලකන්නට පුළුවන. දියණියක් දූෂණයට ලක් කළ පියෙක් වරක් කියා ඇත්තේ මං හැදුවා, මං කන්ඩ දුන්නා, ඉතින් මට කැමැති දෙයක් කරන්න බැරි ද යන්න ය. මෙබඳු පියවරුන්ට රජ කාලේ දඬුවම් දිය යුතු යැයි කියන්නට පුළුවන. එහෙත් දඬුවමින් පමණක් ගැටලුවට විසැඳුම් ලැබෙන්නේ නැත. වඩාත් වැදගත් වන්නේ විනය ගරුක හා සදාචාරවත් සමාජයක් ඇති කිරීම ය.

මෙහි ලා අපේ ආගමික සංස්ථාවෙන් ඉටුවිය යුතු වගවීම් රැසක් තිබේ. බැලූ බැල්මට අපට පෙනී යන්නේ උදේ සිට රෑ වන තුරු ද, රාත්‍රියේ සිට පසු දා පහන් වන තුරු ද බණ හා පිරිත් කියන සමාජයක් ඇති බව ය. මේ අතර රුපියල් ලක්ෂ ගණන් වැයකොට සිදු කරන මහා පින්කම් ද තිබේ. මේවා නරක නැත. එහෙත් ප්‍රතිඵලය සතුටුදායක නැති බව පෙනී යයි. දිනකට රටේ සිදුවන අපරාධ දෙස බලන විට මේ තත්ත්වය හොඳින් වටහාගත හැකි ය. තවත් අතෙකින් බලනවිට සමාජය බෙහෙවින් නිද්‍රාශීලී ය. වරදක් දුටු තැන එය පෙන්වා දෙන කෙනකු නැත. අපරාධයක් සිදුවීම වැළැක්වීමට ඉදිරිපත් වන කෙනකු ද නැත. මෙබඳු සමාජයක ඕනෑම දෙයක් සිදුවිය හැකි ය. මේ සියල්ල වැඩියෙන් ම බලපාන්නේ දරුවාට ය. අපේ දරු පරපුරට ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...