සංහිඳියාවට පාර මෙන්න | දිනමිණ

සංහිඳියාවට පාර මෙන්න

වර්තමාන රජය බලයට පත් වූදා සිටම රජයට එල්ල වන අවලාද අපවාද වල අඩුවක් නැත. කුමක් හෝ විරෝධතාවයක් නැති දිනයක් නැති තරම්ය. සයිටම් අර්බුදය, මීතොටමුල්ල කුණු කන්ද, උමාඔය ජල කාන්දුව, රණවිරු වැටුප් විෂමතාව, දුම්රිය රියදුරන්ගේ මකුණු ප්‍රශ්නය. විදුලි බල මණ්ඩල වැටුප් විෂමතා , සමෘද්ධි ප්‍රශ්න, දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය, මියන්මාර් සරණාගත ප්‍රශ්නය මේ එකක් හෝ නැති දවසක් වූයේ නම් අලි මිනිස් ගැටුමේ විරෝධතා, ගං වතුර හා නායයෑමේ ප්‍රශ්න මේ ආදී දහසකුත් එකක් ප්‍රශ්නවලට මුහුණදීමට සිදුව ඇත. මේ අතරට අලුතින්ම එක් වී ඇත්තේ ව්‍යවස්ථා ප්‍රශ්නයයි. රටක් වශයෙන් ගත්කල ජනතා විරෝධතා, උද්ඝෝෂණ වැඩි වශයෙන් දක්නට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරි අවධියක යයි සමහරු තර්ක කරති.

ව්‍යවස්ථා ගැටලුව දෙස බැලුවහොත් මේ ප්‍රශ්න බොහොමයක් කාලයක් තිස්සේ පැමිණ ඇත. 1978 සිට ක්‍රියාත්මක වන වර්තමාන ව්‍යවස්ථාව ජේ. ආර්. ගේ බහුභූත ව්‍යවස්ථාව ලෙස වරෙක අර්ථ ගැන්විනි. මෙම ව්‍යවස්ථාවෙන් නිර්මාණය වූ විධායක ජනාධිපති ක්‍රමය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බව ජනමතයක් ගොඩනැඟුනේ වර්තමානයේ පමණක් නොවේ. ජයවර්ධන යුගයෙත් ප්‍රේමදාස යුගයෙත් විරෝධතා මතුවීම තුළ පසුව බලයට පැමිණි චන්ද්‍රිකා මැතිනියත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ප්‍රකාශ කළහ. එම අවස්ථාවල ජනාධිපති ධුරයේ වෙනසක් සිදු නොවූ බැවින් මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් සිවිල් සංවිධාන ඒකරාශී වී ජනමතයක් ගොඩනැගූ අතර එහි ප්‍රතිඵලය වූයේ ජනවාරි 08 මැතිවරණයේ දී ඒ හඬට ඉඩ දෙමින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමයි. එතුමන්ගේ පාලනය ආරම්භ වූයේම ජනාධිපති ධුරයට හිමිව තිබූ අධික බලතල කොටසක් අඩු කර ගැනීමෙනි. මෙම පාලනය වසර 02ක් ඉක්ම යන විට විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුය යන මතය සමඟ වර්තමාන ව්‍යවස්ථාව ඉදිරියට පවත්වාගත යුතු බවට තර්ක කරයි. මෙයින් තහවුරු වන්නේ වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති ධුරයේ විධායක බලතල අයුතු ලෙස යොදා නොගන්නා සැබෑ යහපාලකයෙකු බවයි. අනිත් අතට මෙම ව්‍යවස්ථාව යටතේ රටේ ඒකීය භාවය බෞද්ධාගමට ප්‍රමුඛතාවය ලැබී ඇති බවට බහුතර ජන වර්ගය වූ සිංහල සමාජයේ පිළිගැනීමයි.

1976 එවකට යාපනයේ නගරාධිපති වූ ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා ඝාතනය කිරීමත් සමඟ ආරම්භ වූ වෙනම රාජ්‍යයක් සඳහා වූ එල්.ටී.ටී ත්‍රස්තවාදය අවසන් කළේ වසර 30කට පසුවය. ඒ වනවිට රටේ දේශපාලන නායකයන් විශාල පිරිසක් ඝාතනය විය. රටේ අනාගතය භාර ගැනීමට සිටි තරුණ තරුණියන් දරු දැරියන් විශාල පිරිසක් සමඟ වැඩිහිටියන් දහස් ගණනක් අපට අහිමි විය.

උතුරේ ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම බහුතරය නියෝජනය කරන දකුණේ ජනතාවගේ යුතුකමක් මෙන්ම වගකීමකි. උතුරේ ජනතාවට දකුණේ රාජ්‍යයන්ගෙන් සාධාරණය ඉටු නොවූ බව කාලයක් තිස්සේ මුල් බැස ගත් අදහසකි. දෙමළ දේශපාලනඥයින්ද තමන්ගේ බලය තහවුරු කර ගැනීමේදී මේ අදහස උතුරේ ජනතාව වෙත ඒත්තු ගැන්වූහ. 1948 මෙරටට නිදහස ලැබීමට පෙර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතිකයන් එක්ව රටේ නිදහස වෙනුවෙන් සටන් කළහ. නිදහසින් පසු බලයට පත්වූ ඩී.එස්. සේනානායක මැතිතුමා උතුරේ ජනතාවට ගැටලුවක් වූ ජල ප්‍රශ්නයට විසඳුම් ලබාදෙමින් ගොවි ජනපද ඇති කළේ ශ්‍රී ලාංකික ජනතාව සියලු දෙනා එකට එක්ව කටයුතු කළ බැවිනි. එහෙත් වරින් වර බලයට පැමිණි පිරිස් මෙන්ම උතුරේ දේශපාලකයින් උතුරේ ජනතා ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබා නොදීම නිසා වසර 30ක යුද්ධයක් දක්වා මෙම ගැටලුව වර්ධනය විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුද්ධය අවසන් කළේ මුළු රටටම සහනයක් ලබා දෙමිනි. එහෙත් උතුරේ ජනතාවට මෙය ඔවුනගේ ජයග්‍රහණයක් ලෙස සිතන්නට නොහැකි වූයේ වසර ගණනාවක්ම ඔවුන් යුද්ධය සමග ජීවත් වූ බැවිනි. මේ තත්ත්වය තුළ උතුරේ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබුණ බව ඒත්තු ගැන්වීමට ඇතැම් දෙමළ දේශපාලන නායකයින්ද කටයුතු නොකළා නොවේ. රටේ ඒකීයභාවය ගැන කථා කරන අප උතුරට අවශ්‍ය යටිතල පහසුකම් ලබා නොදෙන්නේ නම් ජනතා ප්‍රශ්නවලට කන් නොදෙන්නේ නම් අසාධාරණයකි. රජය මගින් මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම කල් දමන විට වෙන්වී යාමට ජනතාව පෙළ ගැස්වීමට දේශපාලන නායකයින්ට හැකියාව ඇත. 1977 මැතිවරණ සමයේ එවකට උතුරේ ප්‍රධාන අපේක්ෂකයා වූ අමිර්තලිංගම් ඇතුළු කණ්ඩායම සිංහල විරෝධී සටන් පාඨ මැතිවරණවලට යොදා ගත් බව වාර්තා විය. ඒ තුළින් ඔහු ජයග්‍රහණය කර විපක්ෂනායක ධුරයට ද පත් විය. අවසානයේ තම අනුගාමිකයින්ගේම වෙඩි පහරට ලක් වීම දෛවයේ සරදමකි.

රටේ විවිධ බලවේග ඉස්මතු වී විරෝධතා ව්‍යාපාර ඇති කරන්නට රජයේ වැඩපිළිවෙළ අවස්ථාවක් නොවිය යුතුය. වසර 02 ක් තිස්සේ සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වා රැස් කළ කරුණු සියලු දෙනාටම පිළිගත හැකි ලෙස ගොනු කර කෙටුම්පත් කර එය මහානායක ස්වාමීන් වහන්සේලාටත්, අන්‍ය ආගමික පූජකතුමන්ලාටත් පැහැදිලි කරදීම රජයේ වගකීමකි. එසේම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් රටේ ස්ථාවර භාවය ආරක්ෂා වන විකල්ප ක්‍රමවේදයක් සැකසිය යුතුය. සියලු ජාතීන්ගේ නියෝජනයන් සහිත ජනතාවට වගකියන මන්ත්‍රීවරුන් තේරීපත් වන මැතිවරණ ක්‍රමයක් මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට සාධාරණ වූත් දීර්ඝ කාලීන වූත් විසඳුම් ලැබෙන ව්‍යවස්ථාවක් විය යුතුය. මේ යථාර්ථය සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජාතීන් මෙන්ම දේශපාලන නායකයින්ද තේරුම් ගත යුතුය. අතීතයේ බණ්ඩාරනායක, චෙල්වනායගම් ගිවිසුම ඩඩ්ලි, චෙල්වනායගම් ගිවිසුම ගෙනෙන විටත් මෑත භාගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ව්‍යවස්ථාවක් ගෙනෙන විට එක්සත් ජාතික පක්ෂය විරෝධය දැක්වූවා සේ මෙම අවස්ථාවේදීත් ඇති වන විරෝධතා සම්පූර්ණ ව්‍යවස්ථා අහෝසි කිරීමට වඩා අඩුපාඩු සකසා ගෙන ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන සාධාරණ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම වර්තමාන පාර්ලිමේන්තු‍ෙව් අභිප්‍රාය විය යුතුය. ඉදිරියේ තම කණ්ඩායමට හෝ තම පක්ෂයට ලැබෙන ජය හෝ පරාජයට වඩා රටේ ජනතාවට ලැබෙන ජයග්‍රහණය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් රටට සාධාරණ ව්‍යවස්ථාවක් ලබා දීමට හැකි වනු ඇත.

සෝමදාස කන්දගේ
මාතර

නව අදහස දක්වන්න