සරුබිම් යටකොට වැවක් නැඟිටියි | දිනමිණ

සරුබිම් යටකොට වැවක් නැඟිටියි

උදිත ගුණවර්ධන

පිට්ටනියක් දෙන්න! ගම්මු කියති

කොළඹ අහස හිරු රැසින් ගිනියම් ව තිබේ. බැලු බැලූ අත ඇත්තේ කොන්ක්‍රීට් ගොඩනැගිලිය. ගහක කොළක හරිත පැහැයක් ඇස ගැටෙන්නේ ඉඳහිටය.තැනින් තැන ඈතින් පෙනෙන්නේ පුරන්ව ගිය වගුරු බිම්ය. මග දෙපස කොන්ක්‍රීට් ගොඩනැගිලි තිබුණද ඒවා පසුපසට වන්නට ඇත්තේ වගුරු බිම්ය. නැතිනම් කලක් වගා නොකළ පුරන් කුඹුරුය. මේ බොහෝ කුඹුරු පුරන්ව ගියද ඒවා යළි අස්වැද්දිය හැකි සරුසාර බිම්ය. ගොවිකමට සහ කෘෂිකර්මාන්තයට අත දෙන වගා සංග්‍රාමයක් ඇරැඹි මේ සමයේ එවැනි පුරන් කුඹුරු නැවත අස්වැද්දීමට බොහෝ ප්‍රදේශවල කටයුතු සූදානම් කර තිබේ.මෙය අගය කළ යුතු දෙයකි. එහෙත් තවත් ප්‍රදේශවල පුරන් කුඹුරු පුරන් වෙමින්ම පවතී.නැතිනම් වෙනත් කටයුත්වලට මෙම බිම් යොදා ගනිමින් පවති. යයි. නගර අලංකාරයට යැයි පසුගිය කාලයේ ඇරැඹි සමහර වැඩසටහන්වල අවසාන ප්‍රතිපලය බවට පත්ව ඇත්තේ නැවත වගා කළ හැකි සහ වෙනත් ප්‍රයෝජන සඳහා ගත හැකි කුඹුරු ඉඩම් නොවැදගත් දේ වෙනුවෙන් විනාශව යාමය.

කොහුවලට නුදුරු සුනේත්‍රා දේවී පාරේ ඇති අක්කර දහයකට අධික කුඹුරු ඉඩම ගොඩකර වෙනත් කටයුතුවලට යොදා ගැනිම ගැටලුවක් බවට පත්ව තිබේ. යාව ඇති කෝට්ටේ පුරණ වෙල් යායේ ඉතිරි කොටස් මේ වන විට වී වගාව සඳහා සහ එළවළු කොරටු සඳහා යොදා ගෙන ඇති අතර එම වගාවන් ඉතාමත් සාර්ථකව සිදු කෙරේ.මෙම වගා බිම්හි වගාකරුවන් කියන ආකාරයට ඔවුනට මෙම වගාවන්ගෙන් පාඩුවක් නැත.එය සතුටු දායක ආරංචියකි.

ගැටලුව ඇත්තේ මෙම යායට යාබද ඉතිරි කොටසේ කෙරෙන හෑරීම් සහ ගොඩකිරීම් සම්බන්ධවය.

සරුවට අස්වැද්දිය හැකි බිම් කොටස අද වන විට අර්ධ වශයෙන් ගොඩකර ඇති අතර අනෙක් කොටසේ වැවක් තැනීම සඳහා කැණීම් සිදුකරයි. මේ ගොඩකිරිම්වලට ගමේ කිසිවකුගේ කැමැත්තක් නැත.මොවුන් නගන ප්‍රධානම තර්කයක් වන්නේ මෙම ප්‍රදේශයට තවත් වැව් කුමටද යන්නය. දැනටමත් මෙම ප්‍රදේශයට ඉතාමත් නුදුරෙන් වැවක් ඉදිකර ඇති අතර එම වැව ඉදිකිරීමේ අරමුණ බවට පත්ව ඇත්තේ ප්‍රදේශයේ ගංවතුර තර්ජනය නැති කිරීමය. කීල්ස් ගොඩනැගිල්ල පිටුපස ඇති පුරන් කුඹුරට යාබදව ජල තර්ජනය පහ කිරීම සඳහා ගැඹුරු ඇළ මාර්ගයක් ඉදිකර ඇති අතර දැන් ප්‍රදේශයට කිසිදු ජල ගැලීම් තර්ජනයක් නැත.

2008 වර්ෂයේ සිට මෙම කුඹුරු අස්වැද්දවීම සඳහා අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාව වරින්වරරජයෙන් ඉල්ලා සිටියද එම කිසිදු ඉල්ලීමකට බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැත. එවකට සිටි ජනාධිපතිවරයාගේ සහකාර ලේකම්වරයකු මෙම පුරන් කුඹුරු අස්වැද්දීම සඳහාත් ගොඩකිරීම් අත්හිටුවීම සඳහාත් ගොවිජන කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබුණද එවක සිටි කොමසාරිස්වරයා මේ ගැන අවධානය යොමුකර තිබුණේ නැත.

2017 වර්ෂයේදී යළිත් ගම්වාසීහු මෙම කුඹුරු ප්‍රදේශය අස්වැද්දීමට හැකි ස්ථාන අස්වැද්දීම , ඇවිදින මංතීරු සහ පොදු කටයුතු සහ ක්‍රීඩා කිරීම සඳහා ප්‍රදේශයක් ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටිති. එහෙත් ගම් වැසියන්ගේ මෙම කිසිදු ඉල්ලීමකට බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පළවී නැත.

අවුරුදු හතලිහකට පෙර සරුසාර කුඹුරු යායක් වූ මෙම යාය අදවන විට විනාශව ගොස් ඇත්තේ වේගයෙන් සිදු වූ නාගරීකරණය නිසාය.මෙම නාගරිකරණයේ ප්‍රධානම සාධකයක් බවට පත්ව ඇත්තේ ගම්වැසියන්ට නිදහසේ ඇවිද යාමට හෝ ඉඩක් නැතිවී යාමය. අද මෙහි බොහේ අය වාසය කරන්නේ පර්චස් එකක හෝ දෙකක කුඩා බිමක් ඉදිකර ගත් නිවෙසකය.ඔවුන්ගේ ජීවිත කුඩා බිත්ති හතරකට සීමාවී තිබේ. යොවුන් වියේ සහ ළමා වියේ පසුවන්නන්ට ක්‍රීඩා කිරිමට හෝ ඉඩක් නැත. එහි අතුරු ප්‍රතිපලය භයානකය.කෙළිබිම අහිමි මොවුන් ඉතාමත් පහසුවෙන් දුරාචාරවලට යොමු වෙති.මෙය අතිශය භයානක දෙයකි. “ අපිට අද වැව් තියෙනවා පිට්ටනි තමයි නැත්තේ.“ ගමේ අය උපහාසයෙන් මෙන් කියන්නේ එසේය.සුප්‍රසිද්ධ කතුරු ඔංචිල්ලා සෙල්ලමට නම් දරා ඇත්තේත් මෙම ගමය.එහෙත් අද වාර්ෂික කතුරු ඔංචිල්ලා මංගල්‍යය පැවැත්වීමට පවා ඔවුනට ඉඩක් නැත.

මෙම කුඹුර සංවර්ධනය කිරීම ගැන ගම් වැසියන්ට ගැටලුවක් නැතත් ඔවුන්ගේ ඉල්ලීම වන්නේ ගම් වැසියන්ගේද අදහස් උදහස් ලබා ගෙන මෙම කාර්ය ඉටු කරන ලෙසය.

එහිදී අපට මුලින්ම හමුවුයේ සුසන්ත මහතාය.

“අපිට එදා සෙල්ලම් කරන්න ඉඩක් තිබුණා අද අපේ දරුවන්ට නංගිලා මල්ලිලාට ඒ අවස්ථාව නැහැ. කියන්න කනගාටුයි මේකේ ප්‍රතිපලය වෙලා තියෙන්නේ විවිධ වැරැදි වැඩවලට දරුවන් යොමු වීමයි.අද මත්පැන් මත් ද්‍රව්‍ය උවදුර ප්‍රදේශයේ පැතිරිලා.ඒකට මූලික හේතුව විදිහට ගොඩක් අය කියන්නේ සෙල්ලම් කරන්න කට්ටියට එකතු වෙන්න තැනක් නැති කමයි..අපිට එදා සෙල්ලම් කරන්න ඉඩ තිබුණා වෙල් එළියේ දුව පැන්නා.අද මේ තත්ත්වයට හේතුව වෙලා තියෙන්නේ සෙල්ලම් කරන්න තැනක් නැති කමයි..මේ වෙනකොට ගම් හතඅටකට පිට්ටනියක් නැහැ. අපි ඒ නිසා තමයි ඉල්ලන්නේ මේ කුඹුර සංවර්ධනය කරන අතර පිට්ටනියක් හදලා දෙන්න කියලා..

ඔහු පළකළ අදහසට එකඟතාවය පළ කළ අනුර කුරුවිටගේ මහතා අප සමග ගම්වැසියන් ඉල්ලන දේ ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් කළේය..“ එදා ගමේ හිටියෙ ගොවිතැනෙන් යැපුන කට්ටිය ඒ අයගෙ පරම්පරාවේ අය අදත් මෙහි ඉන්නවා.ඒ නිසා අපි ඉල්ලන්නේ මේ කුඹුරු සකස් කර නැවත ගොවිතැනට ක්‍රමයක් හදලා දෙන්න කියලා.එහෙම වුණොත් නොමග යන තරුණ කණ්ඩායම් යහමගට ගන්නත් පුළුවන් කම ලැබෙනවා. අපි මේක කියන්නේ නිකම් නොවෙයි උදාහරණ ඇතිව.බලන්න අපේ ගමේ එහා පැත්තෙ තියෙන කුඹුරු යාය ඒවා පසුගිය කාලයේදී අස්වැදුවෙ. මේ කුඹුරු දැන් ඉතාමත් සරුවට තියෙනවා..

අනුර කුරුවිටගේ මහතා මෙම ගැටලුව විසඳීම සඳහා සෘජුව මැදහත්ව සිටින කෙනෙකි ඔහු සඳහන් කරන්නේ මෙම කුඹුරු ගොඩකිරීම සහ වැවක් ඉදිකිරීමට වඩා මෙම බිමෙන් ප්‍රතිපල දායක දෙයක් සිදුකළ හැකි බවය.“ මේ තැන් ඉතාමත් වටිනා තැන්..අපි නිතරම කියන්නේ ජනතාවට ප්‍රයෝජනවත් දෙයකට මේ බිම් යොදා ගන්න කියලා ගොවිතැන බැරිනම් ක්‍රීඩා පිටියක් මේ ස්ථානය ආශ්‍රිතව ඉදිකරන්න පුළුවන්..අනෙක අපිට ලොකු අඩුපාඩුවක් තියෙනවා පුස්තකාලයක් මේ පැත්තටම පුස්තකාලයක් නැහැ මේ බිමේ පුස්තකාලයක් වගේ වැදගැම්මකට ඇති දෙයක් කරන්න පුළුවන්. ඇත්තෙන්ම දැන් කරන වැඩේට ගමේ ගොඩක් අය කැමැති නැහැ.“

ස්වර්ණා මහත්මියද මෙම ගැටලුව ගැන අප සමග අදහස් දැක්වුවාය.“ මේ යාය ඉස්සර කුඹුරු වැඩකළ යායක් පසුගිය කාලයේ ඇති වු නාගරිකරණය නිසා තමයි මේ වින්නැහිය වුණේ..2008 අවුරුද්දෙ ඉඳන් අපි ඉල්ලනවා මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලා.එවටක කෘෂිකර්ම ඇමැතිවරයා විදිහට සිටි වර්තමාන ජනාධිපතිතුමා.පවා බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා තිබුණ මෙයට විසැඳුමක් දෙන්න කියලා ඒත් අද වෙනකම් මේ ප්‍රශ්නය එතැනමයි.“

ආසිරි , හේමලතා, අසේල ,නිහාල්, රාජපක්ෂ ,නිශාන්ත ෆ්‍රිවින් ඇතුලු ප්‍රදේශවාසීන් සියලු දෙනාම එක හඩින් කියන දේ වන්නේ ජනතා මතයට සවන් දෙන ලෙසය.

මේ ජනතා ඉල්ලීම ගැන විමසීමට අප ශ්‍රීලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ ව්‍යපෘති අධ්‍යක්ෂ සහ වේරැස් ගඟ ව්‍යාපෘතියේ අතිරේක සාමාන්‍යාධිකාරි (ක්‍රියාත්මක කිරීම්) කේ. රාජපක්ෂ මහතාගෙන් විමසීමට 0112889485 දරණ දුරකථන අංකයට කිහිප වරක් ඇමැතුම් ගත්තද ඔහු සම්බන්ධකර ගැනීමට හැකියාවක් නොලැබුණි.

එහෙත් මෙම ගැටලුව ගැන කේ .අනුර ද සිල්වා මහතා යොමු කළ ලිපියකට පිලිතුරු ලෙස කේ. රාජපක්ෂ මහතා ලිඛිතව දන්වා එවා ඇත්තේ “ ක්‍රීඩා පිටියක් සකස් කිරීම සඳහා සකස් කිරීම සඳහා ලබා දිය නොහැකි බව සහ වේරැස් ගඟ ව්‍යාපෘතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ අරමුණෙන් බැහැරව වෙනත් කටයුත්තක් සඳහා ලබා දිය නොහැකිය..එවැන්නකට නීතිමය ප්‍රතිපාදනයක්ද නැත.එහෙත් මෙම ව්‍යාපෘතියෙන් පසු යම් ඉඩම් කොටසක් ව්‍යාපෘතියෙන් පසු ඉතිරි වුවහොත් මුල් අයිතිකරුවන්ගේ ඉල්ලීම මත අන්සතු කිරීමට හැකියාව තිබේ.“

ගමේ උපන් අයගේ ඉල්ලීම බැලු බැල්මට සාධාරණ ඉල්ලීමකි. ඔවුන් ඉල්ලන්නේ ගොවිතැන් කිරීමේ අයිතියයි. තම දූ පුතුන්ට ක්‍රීඩා කිරීමට පිට්ටනියකි පොතපත කියැවීමට පුස්තකාලයකි.එහෙත් පවතින නීති රාමුව තුළ මෙම ඉල්ලී‍ම් ඉටුකිරීමට හැකියාවක් නැත. එනිසා දැන් කළ යුතුව ඇත්තේ නීතියමය රාමුව තුළ ජනතා ඉල්ලීම සඳහා උපරිම සාධාරණයක් ඉටු කිරීමය.

වගාවට ගොවිතැනට නව පණක් ලබා දීමට උත්සාහ කරන මෙවැනි කාලයක නාගරික ගොවිජනතාව වෙත අවශ්‍ය පහසුකම් සලසා දීම ඔවුන් දිරි ගැන්වීමකි.එනිසා ජනමතයට කන් දීම සැමගේ බලධාරීන්ගේ යුතු කමකි.

ඡායාරුප-රංජිත් අසංක


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...