ඒකාබද්ධයට යන එන මං නැති කළ මංගලගේ මංගල අයවැය | දිනමිණ

ඒකාබද්ධයට යන එන මං නැති කළ මංගලගේ මංගල අයවැය

අයහපත් හා උද්දච්ඡ ජාත්‍යන්තර සම්බන්ධතා ද අන්ත දූෂිත පවුල් පාලනය මගින් විනාශ කළ ආර්ථිකයක් ද, කොමිස් කුට්ටි මත තීරණය වූ කොන්ක්‍රීට් සංවර්ධනයක් සහ ආගිය අතක් නැති ණය කන්දක් ද වත්මන් ආණ්ඩුවට රාජපක්ෂ පාලනයෙන් හිමි වූ බව අප අමතක නොකළ යුතුයි. එනිසා අතිශයින් අසීරු යුගයක් පසුකරමින් ක්‍රමයෙන් ජයග්‍රහණය කරා ළං වෙමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය තහවුරු කර ගැනීම සඳහා අප සියලු දෙනා කැපවිය යුතුයි.

පසුගිය කාලයේ අයවැය ලේඛනයකට නොලද අවධානයක් මංගලගේ මංගල අයවැයට හිමි වෙමින් තිබෙන බවක් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. මේ ගැන විමසුමක යෙදුණ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් ලියුම්කරු සමඟ ප්‍රකාශ කළේ “ප්‍රායෝගික වැඩ සැලසුමක්” සමඟ කාලයකට පසු ඉදිරිපත් වූ අයවැය ලේඛනයක් වශයෙන් මෙය සැලකිය හැකි බවයි. “මංගලගේ අයවැයේ අනවශ්‍ය වැල්වටාරම් නැහැ, කෙටියි වගේම අංග සම්පූර්ණයි” ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඉහත සඳහන් කළ විශ්ලේෂණාත්මක මත දැක්වීම් වගේම මෙවර අයවැය සම්බන්ධයෙන් පොදුවේ සමාජය තුළින්, ආර්ථික ක්ෂේත්‍රය තුළින් අසන්නට ලැබුණේ සාධනීය ඇගයීම්. මෙය පසුගිය කාලයේ දැකිය නොහැකි ධනාත්මක තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. අයවැය සම්බන්ධයෙන් මෙවැනි සාධනීය තත්ත්වයක් නිර්මාණය වීම කෙරෙහි අයවැය ලේඛනය සාම්ප්‍රදායික නත්තල් සීයාගේ භූමිකාවෙන් ඉවත්වීම වගේම හුදු අලංකාරෝත්ති වෙනුවට යථාර්ථවාදී වූ ද ප්‍රයෝගික වැඩ සැලසුමක් ඉදිරිපත් කිරීම හේතු වූ බව පැහැදිලියි.

නැවුම් තේමාවක් ප්‍රායෝගික වැඩ සැලසුමක්

මෙවර අයවැය සම්පාදනය කෙරෙහි රජයේ නිල ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති “තිරසර සංවර්ධන ඉලක්ක” වගේම රජයේ ආර්ථික ඉදිරි දැක්ම 2025 මූලික වශයෙන් පදනම් වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකියි. “නීල හරිත අයවැය - එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැනි නැවුම් තේමා ඉදිරිපත් වන්නේ මේ පදනම තුළයි. ජනතාවට බරක් නොවන්නා සේම ආර්ථික සංවර්ධනයේ බලවේගවලට හානිකර නොවන තිරසරභාවයක් අයවැය තුළින් දැකිය හැකි වන්නේ මේ නැවුම් දැක්ම නිසයි.

මේ තත්ත්වය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විග්‍රහ කළේ “ජනතාවට මාළු පෙත්ත වගේම බිලී පිත්තකුත් ලබා දෙන අයවැයක් ” වශයෙනුයි. මේ හැඳින්වීම මේ වන විට ජනතාව අතර සේම ආර්ථික ක්ෂේත්‍රයේ ද පැසසුමට ලක්ව තිබීම ආරම්භයේදීම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකියි.

ඊට හේතුව වන්නේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු රාජපක්ෂය රෙජිමය යළි බලයට ඔසවා තැබීමට කැසකවන කල්ලි පසුගිය කාලය තුළ ජීවන වියදම ඉහළ යාම, රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම වැනි ඊනියා කතා මගින් සාමාන්‍ය ජනතාව මුලා කිරීමට ගත් සකලවිධ උත්සාහයන් මේ අයවැය ලේඛනය සමඟ නිශ්ප්‍රභා වන නිසයි.

මේ තත්ත්වය තුළ ඔවුන්ට බියර් මිල පහළ දැමීම වැනි ලාභ සටන් පාඨ කෙරෙහි එල්ලී හුදු විවේචනවලට පමණක් ලඝු වීමට සිදුව තිබෙනවා.

ආණ්ඩුව පොදු ජනතාව කෙරෙහි අතිශයින් සංවේදී වෙමින් මෙවැනි ප්‍රායෝගික ප්‍රවේශයකට නොගියා නම් බොහෝ විට සිදුවිය හැකිව තිබුණේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කල්ලි විසින් ජනතාව නොමඟ යවමින් ඔවුන් පාරට කැඳවා ගැනීමට පියවර ගැනීමයි. තම සුබසාධන කප්පාදුව කෙරෙහි අතිශයින් සංවේදී වන මෙරට සාමාන්‍ය ජනතාව මෙවැනි අවස්ථාවාදී ප්‍රවේශයන් මගින් ඉතාම පහසුවෙන් නොමඟ යැවිය හැකි තත්ත්වයක් කාලයක් පුරා අවස්ථාවාදී දේශපාලනඥයන් විසින් ප්‍රගුණ කර තිබෙනවා.

උදාහරණයක් ලෙස ශත 25කට තිබූ හාල් සේරුව ශත 75ක් කිරීමට 1953 දී මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන කළ අයවැය යෝජනාව ප්‍රකට “1953 හර්තාලයට” පසුබිම සම්පාදනය කළා. එම තීන්දුව එජාප ආණ්ඩුවේ දේශපාලන අනාගතය කෙරෙහිත් දැඩි බලපෑමක් කළා. මෙවැනිම අවදානම් තත්ත්වයකට හිටපු මුදල් ඇමැතිවරයෙකු වූ ෆිලීක්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මුහුණ දුන්නා.

ජනතාවට මාළු සහ බිලීපිති දෙමින් මෙවර අයවැය ලේඛනය තුළින් මංගල සමරවීර මහතා මේ අවදානම් තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට සමත්වීම පැසසුම් කටයුතුයි. මන්ද ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍ය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් පළාත් පාලන මැතිවරණය මුවවිට තබාගෙන, මෙවැනි අවස්ථාවකදී සාම්ප්‍රදායිකව සිදුවන “මැතිවරණ අයවැයකින්” සපුරා බැහැර වීමට 2018 අයවැය ලේඛනය සමත්ව තිබීම නිසයි.

ආර්ථික වර්ධනයට හිතකර ආර්ථික ප්‍රතිසංස්කරණ

මෙවර අයවැය ලේඛනයේ සුවිශේෂ අවධානයක් ආර්ථික වර්ධනයට හිතකර ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි යොමුවීම ආර්ථික අංශවල විශේෂ ඇගයීමට ලක්ව තිබෙන කරුණක්. මන්ද විෂන් 2025 ඉලක්ක සාධනය කර ගැනීමට නම් ආර්ථික හා පරිපාලන ව්‍යුහය තුළ පවත්නා පසුගාමී නීති මෙන්ම යල්පැනගිය නීති ද කඩිනමින් සංශෝධනය විය යුතු බව කාලයක් පුරා පැවැති ඉල්ලීමක්.

ඒ කෙරෙහි රජයේ අවධානය යොමුවීම පමණක් නොව එකී ප්‍රතිසංස්කරණ රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීමක් ද අපට මෙවර අයවැය ලේඛනය තුළින් දැකිය හැකි වෙනවා. මේ බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉතාම පැහැදිලිව අවධාරණය කර තිබෙනවා.

“...අපේ බොහෝ නීති ඉතාම පැරණි හා පසුගාමී ඒවායි. රේගු අාඥාපනත ප්‍රථමයෙන්ම හඳුන්වාදී ඇත්තේ 1869 වසරේදීය. සුරාබදු ආඥාපනත 1912 දී ද, අධ්‍යාපන ආඥා පනත 1939 දී ද හඳුන්වා දී තිබෙනවා. මේ පාර්ලිමේන්තුව මෑතදී නව දේශීය ආදායම් පනත සම්මත කරනු ලැබුවා. එසේ වුවත් තවත් බොහෝ ප්‍රතිසංස්කරණ කළ යුතුව ඇත..”

ඇමැති මංගල සමරවීර මහතාට අනුව, 1954 අංක 15 දරන සාප්පු සහ කාර්යාල පනත, නිවාස අයිතිය හා කුලිය සීමා කරන 1972 අංක 7 දරක කුලී පනත, 1958 අංක 1 දරන කුඹුරු පනත සහ 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත වැනි පොදුජන ජීවිතය සහ ආර්ථික කාර්යක්ෂමතාවය සම්බන්ධ පනත් සංශෝධනය වුවහොත් එය ආර්ථිකයේ පුනර්ජීවනයක් සඳහා ප්‍රබල හේතුවක් විය හැකියි. ඒ ආකාරයෙන්ම ඉඩම් හා දේපොළ හිමිකාරිත්වය සම්බන්ධව පවතින ගැටලු විසඳීමට ආණ්ඩුවේ කඩිනම් අවධානය යොමුවීම විෂන් 2025 ඉලක්ක ජයගැනීමට ශක්තිමත් ප්‍රවේශයක් විය හැකියි.

පරිසර සංවේදීතාව

තිරසර සංවර්ධනය මගින් අපේක්ෂා කරන්නේ පරිසර සංවර්ධනය සමඟ එක්ව, සහයෝගීව ගමන් කරන සංවර්ධනයක්. 2030 දී තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළක ආණ්ඩුව නියැළෙමින් සිටින තත්ත්වය තුළ මෙය අපගේ දැඩි අවධානයට යොමු විය යුතු කරුණක්. මෙවර අයවැය පරිසරවේදීන් ඇතුළු බහුතරයකගේ සුවිශේෂ ඇගයීමට ලක්වන්නේ එමගින් තිරසර සංවර්ධනය වෙත ගමන් කිරීමේදී පරිසර සංරක්ෂණය කෙරෙහි දැක්වන ප්‍රායෝගික නැඹුරුව නිසයි.

මෙහිදී මුදල් ඇමැති මංගල සමරවීර මහතාට අනුව මේ වන තෙක් නිසි අවධානයට ලක්ව නැති, ඌන උපයෝජිත සාගර සම්පත් කෙරෙහි ඉදිරියේදී වැඩි අවධානයක් යොමු වීමට නියමිතයි.

පසුගිය කාලයේදී අත්සන් කළ අන්තර්ජාතික සාගර නීති අනුව ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය තෙගුණ වී ඇති තත්ත්වයක් තුළ මෙය ජයගත හැකි ඉලක්කයක් බව පැහැදිලියි. එමෙන්ම කෘෂිකාර්මික, ධීවර හා නිෂ්පාදන අංශයන්හි අලුත් හා තිරසර තාක්ෂණයන් යොදා ගැනීමට ආණ්ඩුව දක්වන සූදානම අගය කළ යුතුයි.

වාහන ආනයනය සම්බන්ධයෙන් අයවැය යෝජනා බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබෙනවා. බදු ප්‍රතිපත්තිය සරලකරණය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රණාමය මේ වන විටත් ආණ්ඩුවට හිමිව තිබෙනවා. ඒ වගේම ඛනිජ තෙල්වලින් ධාවනය වන මෝටර් රථ ආනයනය අධෛර්යමත් කරමින් දෙමුහුන් සහ විදුලිබලයෙන් ක්‍රියාත්මක වන වාහන සම්බන්ධයෙන් බහු අඩු කිරීම පරිසර හිතකාමීන්ගේ දැඩි ඇගයීමට ලක්ව තිබෙනවා.

මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු තවත් කරුණක් තිබෙනවා. ඒ පසුගිය අගෝස්තු මස හඳුන්වා දුන් පොලිතින් භාවිතය හා සම්බන්ධ නීතිය සක්‍රිය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිපාදන මෙවර අයවැය මගින් නිසි පරිදි ප්‍රකාශයට පත්වීමයි.

තිරසර කෘෂිකර්මයට දැඩි අවධානයක්

තිරසර කෘෂිකර්මය සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ දැක්ම ඉතා පැහැදිලි එකක්. වසවිස නැති කෘෂිකර්මය වෙනුවෙන් ආණ්ඩුව පසුගිය කාලය තුළ සක්‍රීය වැඩකොටසක් ඉටු කරමින් සිටින අතර මොරගහකන්ද ජලාශය, වයඹ ඇළ, ආදි සුවිශාල වාරි සංවර්ධන යෝජනා ක්‍රමද, ග්‍රාම ශක්ති, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, පිබිදෙමු පොළොන්නරුව වැනි ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ද සාර්ථකව දියත් කරමින් සිටිනවා. ඒ වගේම රජරට ගොවීන් මුහුණ දෙන දැවැන්ත සෞඛ්‍ය තර්ජනයක් වන මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහා ද තිරසර පියවර ගනිමින් සිටිනවා. මේ තත්ත්වය තුළ 2018 අයවැය යෝජනා මගින් “තිරසාර කෘෂි හා ධීවර ව්‍යවසායකයන් දිරිගැන්වීම ඇගයීමට ලක්විය යුතු කරුණක් වශයෙන් සැලකිය හැකියි.

මෙහිදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියා සිටියේ, ..“වඩාත් පරිසර හිතකාමි කෘෂිකර්ම භාවිතයන්ට අනුගතවීමේදී පැහැදිලිවම ව්‍යුහාත්මක පරිවර්තනයක් අවශ්‍ය වෙනවා. මෙමගින් අපේ පරිසරයට ප්‍රතිලාභ ලැබෙනවා පමණක් නොව නව අපනයන වෙළෙඳපොළ ද විවෘත වෙනවා. පරිසර හිතකාමී ගොවිතැන හා පරිසර හිතකාමී භාවිතයන් යටතේ සිදුවන නිෂ්පාදනයන්ට ඉහළ මිලක් ගෙවීමට ද දියුණු රටවල් සූදානම්. ඒ අනුව නිසි දැනුවත් කිරීමක් අවශ්‍යයි” මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ යටතේ ගොවිජනතාව විෂයෙහි ඉතා සංවේදී යෝජනා රැසක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ අනුව දීර්ඝ කාලයක් පුරා ගොවීන් මුහුණ දුන් තම නිෂ්පාදන ගබඩා කිරීමේ ගැටලුව සේම දේශගුණික විපර්යාස හමුවේ සිදුවන ආපදා තත්ත්වයන්ට ද ආණ්ඩුව විසින් සහන සැලසීමට නියමිතයි. මෙහිදී ඇමැති මංගල සමරවීර මහතා කියා සිටියේ, වී, බඩඉරිඟු, සෝයා, ලොකු ලූනු, අල සහ මිරිස් වන බෝග වර්ග 5ක් ද ඇතුළත් වන පරිදි භෝග වර්ග 6ක් සඳහා අක්කරයකට රුපියල් 40,000ක උපරිම ආවරණයක් ලබාදීමට යෝජනා කර තිබෙනවා. මෙය දේශගුණික විපර්යාස හමුවේ නිරන්තරයෙන් බැටකන හා අවදානම් දරමින් සිටින ගොවීන්ට ඉතා සහනයක් වන බව පැහැදිලියි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා

මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූ නිසි දැක්මකින් තොර අවස්ථාවාදී හා බඩගොස්තරවාදී ආර්ථික ප්‍රතිපත්තිය ලංකාව දැඩි අර්බුදයකට ලක් කළ බව නොරහසක්. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන කර්මාන්ත විෂයෙහි ඉතා වැදගත් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අහිමිකර ගැනීම වගේම යුරෝපා සංගමය මත්ස්‍ය අපනයනය පවා රාජපක්ෂ යුගයේදී ලංකාවට අහිමි වුණා. ජාතික ආර්ථිකයට මේවා කොතරම් වැදගත් වුණත් ඒවා යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රිියාත්මක කිරීමට රාජපක්ෂ රෙජිමය කැමැති වුණේ නැහැ.

ඒ නිසා ලංකාවට ගෙවීමට සිදු වුණ වන්දිය සුවිශාලයි. ඒ වගේම රාජපක්ෂ රෙජිමය විදේශ ආයෝජන සහ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් බර තැබුවේ ජේම්ස් පැකරේ වැන කැසිනෝ ජාවාරම්කාරයන් සහ ගජමිතුරු කල්ලිය වෙතයි. මේ තත්ත්වය තුළ ලංකාවේ ව්‍යවසායකත්ව හැකියාවන් දිගින් දිගටම හැකිලුණා. රාජපක්ෂ පාලනය විසින් ලංකාවට අහිමි කළ මේ අවස්ථා යළි දිනා ගැනීමට පසුගිය කාලය තුළ යහපාලන ආණ්ඩුවට හැකියාව ලැබුණා. දැන් උදා වෙමින් තිබෙන්නේ එකී අවස්ථා ස්වර්ණමය අවස්ථාවක් බවට පත් කර ගැනීම සඳහා පියවර ගැනීමයි. රවි කරුණානායකගෙන් ඇරැඹි මේ ක්‍රියාවලියේ තවත් තීරණාත්මක ලක්ෂණයක් ඇමැති මංගල සමරවීර විසින් මෙවර පසුකොට තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකිකයන් සතුව ඓතිහාසිකව පැවැති සහජ ව්‍යාපාරික නිපුණතාවන් ප්‍රයෝජනයට ගෙන ව්‍යවසායකත්ව පරාදීසයක් නැවත ගොඩනැගීම නව අයවැය මගින් පිඹුරුපත් සකසා තිබෙනවා.

මේ සඳහා ආර්ථික ලිහිල්කරණය වේගවත් කරන අතර ඉදිරි පරපුරේ දේශීය ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා පුළුල් වැඩසටහන් ආරම්භ කරන බව ද මුදල් ඇමැති මංගල සමරවීර කියනවා.

මෙහිදී ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ මගින් පිටුබලය ලබමින් දැනටමත් ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධනයට අතහිත ලබාදීම සඳහා වන යොජනා වඩාත් වැදගත් කොට සැලකිය හැකියි. මේ පිළිබඳව අදහස් දැක්වූ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ විශේෂඥයින් අවධාරණය කරමින් කියා සිටියේ, කාන්තාවන් හා තරුණයින් ඉලක්ක කොට ගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිත කුඩා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන ආර්ථිකයට අලුත් ජවයක් ලබා දෙනු ඇති බවයි.

නව ව්‍යාපාර අදහසක්

මහින්ද රාජපක්ෂ යුගයේ පැවැති බව කියන සාටෝපකාරී කොන්ක්‍රීට් සංවර්ධනය විසින් සම්පූර්ණයෙන් නොතකා හැර තිබූ රැකියා සම්පාදන කාර්යයට යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිටම දැඩි අවධානයක් යොමු කළා. රජයේ අපේක්ෂාව වුණේ රට පුරා පැතිරුණු රැකියා අවස්ථා දශ ලක්ෂයක් බිහිකිරීමයි. එම ඉලක්කයෙන් සියයට 40ක් පසුගිය දෙවසර තුළ ඉටුකර ගැනීමට හැකියාව ලැබුණ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පසුගිය දා හෙළිකළා.

මෙහිදී “නව ව්‍යාපාර අදහසක් ” යන තේමාව යටතේ ක්‍රියාත්මක වැඩපිළිවෙළට අයවැය මගින් ආවරණය ලැබීම ඉතා වැදගත්

ඉලක්ක ජය ගැනීම

ආර්ථික වර්ධනය, රැකියා දශ ලක්ෂයේ ඉලක්කය ඇතුළු රජයේ සංවර්ධන ප්‍රවේශයන් වෙත විදේශ ඍජු ආයෝජන වෙතින් සිදුවිය හැකි බලපෑම ගැන ආණ්ඩුවට නිවැරදි තක්සේරුවක් තිබෙන බවක් පේනවා. මුදල් ඇමැතිවරයාට අනුව 2018 වසරේදී ආණ්ඩුව ඍජු විදේශ ආයෝජන වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක් අපේක්ෂා කරනවා. මෙය ආර්ථික විශේෂඥයන් තුළ ද කුකුසක් ඇති කරන ඉලක්කයක් බවට සැකයක් නැහැ.

ඒත් මුදල් ඇමැතිවරයා කියන්නේ යෝජිත දේශපාලන, ආර්ථික හා නෛතික ප්‍රතිසංස්කරණ හමුවේ ද ශ්‍රී ලංකාව සමඟ වන ජාත්‍යන්තර සුහදත්වය සමඟ ද මේ ඉලක්කය ජය ගැනීම අසීරු විය නොහැකි බවයි.

මේ සමස්ත අයවැය ක්‍රියාකාරකම් මගින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ආර්ථික වර්ධනය සියයට 5ක් බවට පත් කරගෙන, උද්ධමනය සියයට 6ක අවම අගයක තබා ගැනීමයි. මෙමගින් මධ්‍ය කාලීන වශයෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 දක්වා ඉහළ නංවා ගත හැකි වෙතැයි උපකල්පනය කරනවා. මේ ඉලක්ක ජය ගැනීමට නම් ඉහත සඳහන් කළ ආකාරයෙන් ඩොලර් බිලියන 5ක විදේශ ඍජු ආයෝජන සේම අපනයන ආදායම ඩොලර් බිලියන 20ක් දක්වා වර්ධනය කර ගැනීමේ අභියෝගයක් ද රජය හමුවේ තිබෙනවා.

අද මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලියේ විවේචනයට ලක්ව තිබෙන්නේ මේ සංවර්ධන ඉලක්කයි. පසුගිය දා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ සංවර්ධන ඉලක්ක, විශේෂයෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 දක්වා වර්ධනය කර ගැනීමේ ඉලක්කය හාස්‍යයට ලක් කර තිබුණා.

ඒත් අප මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ මේ පිටුව මගින් මීට පෙර ද සඳහන් කර ඇති පරිදි මහින්ද රාජපක්ෂ විසින් දශකයක කාලයක් පුරා සූරා කමින් හප කළ ආර්ථිකයක් යළි නඟා සිටුවීමේ ඓතිහාසික අභියෝගය වත්මන් ආණ්ඩුව හමුවේ පවතින බවයි. අයහපත් හා උද්දච්ඡ ජාත්‍යන්තර සම්බන්ධතා ද අන්ත දූෂිත පවුල් පාලනය මගින් විනාශ කළ ආර්ථිකයක් ද, කොමිස් කුට්ටි මත තීරණය වූ කොන්ක්‍රීට් සංවර්ධනයක් සහ ආගිය අතක් නැති ණය කන්දක් ද වත්මන් ආණ්ඩුවට රාජපක්ෂ පාලනයෙන් හිමි වූ බව අප අමතක නොකළ යුතුයි. එනිසා අතිශයින් අසීරු යුගයක් පසුකරමින් ක්‍රමයෙන් ජයග්‍රහණය කරා ළං වෙමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය තහවුරු කර ගැනීම සඳහා අප සියලු දෙනා කැපවිය යුතුයි.

මැතිවරණයක් මුවවිට තබාගෙන මැතිවරණ අයවැයක් ඉදිරිපත් කරමින් රට විනාශ කරනවා වෙනුවට දිගු කාලීන, තිරසර ප්‍රතිලාභ ලබා දෙන දැක්මක් සහිත අයවැයක් ඉදිරිපත් වීම ගැන අප සියලු දෙනා සතුටු විය යුත්තේ ඒ නිසයි.

භාතිය බරුකන්ද 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...