පිළිකාව ජයගෙන විසිතුරු මවන්නිය | දිනමිණ

පිළිකාව ජයගෙන විසිතුරු මවන්නිය

ලක්ෂයකින් එක් අයකුට වැළඳෙන පිළිකා රෝගයකට ගොදුරුව බරපතළ ශල්‍යකර්මයකට ලක්වූ ඇය ජීවත් වන්නට වරම් හිමිකර ගැනීම හාස්කමක් වැනිය. කුඩා මොළය හා සුසුම්නාව අතර හටගත් ගෙඩියක් සැත්කමක් මගින් ඉවත් කිරීමේදී ජීවත් වීමේ වරම් හිමිවන්නේ ඉතා සුළු පිරිසකට බැවිනි.ඇය ඊළඟට මුහුණ දුන්නේ තවත් දුක්මුසු අත්දැකීම් රැසකටය.තමන්ගේ එකම සම්පත වයස අවුරුදු දෙකක්වූ දියණිය තුරුළට නොගෙන ඈත සිට බලන්නට ඇයට සිදුවූයේ රේඩියෝ තෙරපි ප්‍රතිකාර මගින් ශරීර ගතවූ කිරණ වල බලපෑමෙන් දියණිය මුදා ගැනීම සඳහාය.වෛද්‍ය උපදෙස වුයේ දරුවා අසලට නොයා සිටීමය.සැත්කමෙන් පසු අංශභාග තත්ත්වයට අමතරව කඩහඬ දුබල වීම,ඇස් පෙනීම දුර්වල වීම වැනි තවත් රෝග රැසකින් පීඩා විඳි ඇය දෙවසරක කාලයක් රෝහල් ගතව සිට පසුගිය වසරේ පෙබරවාරී මස නිවසට පැමිණියේ ජීවත් වන්නට කිසිදු මඟක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයකට පත්වය.හයක් හතරක් නොතේරෙන දියණිය වෙනුවෙන් ජීවත් වන්නට ධෛර්ය ගත් ඇය නමින් ජූඩී හේවගේය.කුණ්ඩසාලේ වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අභියෝග හමුවේ නොසැළුණ ඇය රටටම ප්‍රශ්නයක් වූ කසළ තුළ ජීවිතය සොයා ගියාය. ඉවත දමන ප්ලාස්ටික් බෝතල්,පොලිතීන්,ඉටි රෙදි,පොල් කටු,ටයර් කැබලි ආදියෙන් මල් පෝචිචි,බිත්ති සැරසිලි,බෑග්,පාපිසි,කී ටැග්,මේස ලාම්පු ආදි විසිතුරු නිර්මාණ කරමින් ආර්ථිකය ශක්තිමත් කර ගන්නට සමත්වූ ඇය අද මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකය මගින් පවත්වා ගෙන යන පුහුණු ඒකකයේ පුහුණු කිරීමේ නිලධාරිනියක ලෙස දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ඉවතලන දේ වලින් විසිතුරු නිර්මාණ සකස් කිරීමට කියා දෙන ගුරුවරියකි.

මගේ දුවට අවුරදු දෙකක් වෙන කොට මට නිතර හිසේ කැක්කුම හැදෙන්න ගත්තා.ඒක දරා ගන්න බැරි වේදනාවක්.එක දවසක් මට අංශභාග තත්ත්වයක් ඇති වුණා.පසුව කොළඹ මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගත්තා.මාව පරීක්ෂා කළ වෛද්‍යවරු සුසුම්නාවේ කුඩා මොළයට ආසන්නව ගෙඩියක් ඇති බව සොයා ගත්තා.

ඒක ඉවත් කරන්න ශල්‍යකර්මයක් කරන්න අවශ්‍යය බව කිව්වා.සැත්කම නොකළොත් අනිවාර්යයෙන්ම මියයන බවත් එය සාර්ථක වුවත් අතුරු ආබාධ රැසකට මුහුණ දීමට සිදුවන බවත් කිව්වා.එවැනි බරපතළ සැත්කම් වලට ලක්වූ අය අතපය පන නැතුව,කතා කරගන්න බැරිව රෝහලේ ඉන්න හැටි දැක්කම මම සැත්කම කරන්න බය වුණා.මගේ කුඩා මොළය ආසන්නයේ තිබූ ගෙඩිය පිළිකාවක් බව වෛද්‍යවරු නිර්ණය කළාට පස්සේ 2014 වසරේදී මාව මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කළා.එහිදී සැත්කම් දෙකකට මාව ලක්කළා.අධික වේදනාව දරා ගන්න බැරිව මම දොස්තර මහත්වරුන්ට කිව්වා මාව මරන්න කියලා. ඉවසා ගන්න බැරි තත්ත්වයට අවාට පස්සේ මම ගෙඩිය අයින් කරන සැත්කම කරන්න කැමැති වුණා.රේඩියෝ තෙරපි නිසා මගේ කොණ්ඩය ඔක්කම ගියා.දුව අම්මා ලගට යන්න ඕන කියලා අඩත්දීවත් මට දරුවා වඩා ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ.මොකද රේඩියෝ තෙරපි කරලා කිරණ ශරීර ගතවෙලා හිටපු නිසා දරුවට හොද නැති බව දොස්තර මහත්වරු කිව්වා. සැත්කමෙන් පස්සේ මාස හතක් මහනුවර පිළිකා නිවස්නයේ හිටියා.

මම ගෙදර ගියේ අවුරුදු දෙකක් රෝහලේ ඉදලා.සැත්කමෙන් මගේ කඩ හඩ වෙනස් වුණා.ඇගේ බැලන්ස් එක නැතිවුණා.අත්වාරු නැතුව ඇවිද ගන්න බැරිවුණා.ඇස් පෙනීම අඩු වුණා.මම ගෙදරට වෙලා කල්පනා කළේ දුවගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් හොයා ගන්න රස්සාවක් කරන්නේ කොහොමද කියලා.එතකොට මම දැක්කා මීතොට මුල්ල කුණු කන්ද කඩා ගෙන ගිහින් මිනිස්සු මැරිලා මහා ඛේදවාචකයක් වෙලා තියෙනවා.මම හිතුවා කුණු ගොඩේ ඇති මිනිස්සුන්ට නොපෙනෙන සම්පත් වලින් මට උඩට එන්න පුළුවන් කියලා. හිතවත් අය ඉවත දමන ප්ලාස්ටික් බෝතල්,රෙදි කෑලි,ටයර් කැබළි ඇතුළු දේවල් වලින් විසිතුරු නිර්මාණ කරන්න පටන් ගත්තා.අමාරුවෙන් කළ නිර්මාණ සීයා කෙනකුට දී ගෙන් ගෙට ගොස් අ‍ළෙවි කළා.ක්‍රමයෙන් මේ භාණ්ඩ අළෙවිය වැඩිවුණ නිසා මගේ අතට මුදල් ටිකක් ලැබුණා.මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමානාකරණ ඒකයේ නිලධාරින් හමුවි මගේ තත්ත්වය පැහැදිලි කළා.ඔවුන්ට ලැබෙන ඝන අපද්‍රව්‍ය රැගෙන නිර්මාණ කරන්නට පසුබිම ඒ ඔස්සේ උදාවුණා.

මම අසනීප වෙන්න කලින් එම්බ්‍රොයිඩර් වැඩ කළා.සැත්කමෙන් පස්සේ ඒක කරන්න බැරි තත්ත්වයක් ඇති වුණ නිසා මේ වැඩේ පටන් ගත්තේ.මම අසනීප තත්ත්වය බාධාවක් කර නොගෙන ජීවත් වෙන්නට දරන උත්සහය දැකලා මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් හා නාගරික යාන්ත්‍රික ඉංජිනේරු නාමල් දිසානායක යන මහත්වරු මැදිහත් වෙලා මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කසළ කළමානාකරණ ඒකය මගින් පවත්වාගෙන යන පුහුනු පාඨමාලාවලදී සිසු සිසුවියන්ට ඝන අපද්‍රව්‍ය ආශ්‍රිත නිර්මාණ කිරීමට පුහුණුව ලබා දෙන්න මාව තෝරා ගත්තා.මම දැන් මහනුවර ප්‍රදේශයේ 300 ක පමණ පිරිසකට මේ ශිල්පය උගන්වලා තිබෙනවා.මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය ඒකකය මගින් ඝන අපද්‍රව්‍ය ආශ්‍රිත විසිතුරු නිර්මාණ අළෙවි මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කෙරුණු අතර එහි ජූඩි හේවගේ ශිල්පිණියගේ නිර්මාණ මෙන්ම ඇගේ ගෝලයින් ගේද නිර්මාණ ඔබට මිලදී ගත හැකිය.

සටහන - අසේල කුරුළුවංශ
ඡායාරූප - උදේනි රාජපක්ෂ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...