එජාප කෘත්‍යාධිකාරියෙන් හෙල්ලෙන තීන්දුවක් | දිනමිණ

එජාප කෘත්‍යාධිකාරියෙන් හෙල්ලෙන තීන්දුවක්

* දැන දැන වැරදි කරන අය ගැන ජනපති කියයි
* බුදුන් වහන්සේට සලකන ඇමැති
* ඇමැති ප්‍රේම්ජයන්ත එකාබද්ධ වේදිකාවේ

ජාතික දියවැඩියා දිනය නිමිත්තෙන් වන පා ගමන පසුගියදා ගාලුමුවදොර ප්‍රදේශයේ දී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එයට එක්ව සිටියා. තමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටිය දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික දියවැඩියා දින පා ගමනට එක් වීම නොකඩවා කළා. ජනාධිපතිතුමා මෙවර මෙම පාගමනට සහභාගී වුණේ අඛණ්ඩව නව වැනි වතාවටයි. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් ‍මෙම අවස්ථාවට එක්ව සිටි යා.මෙහි දී කතා කළ ජනාධිපතිතුමා කීවේ පැණි බීම බද්ද අධික ලෙස සීනි යෙදූ කිරි පැකැට්ටුවට ද දැමිය යුතු බවයි. මෙම කිරි පැකට් භාවිතයෙන් ළමයින් මුදාගැනීමට රටවටා යන්න තමන් සූදානම් බව ද ජනාධිපතිතුමා කීවා.

අරක්කු සිගරට් බොන හැම කෙනෙක්ම ඒ දේ කරන්නේ වැරදි බව දැනුවත්ව බවත්, එමෙන්ම වැරදි ආහාර භාවිතය ගැන දැනුවත් වුවත් ඒවා අත් නොහරින බවත් කී ජනාධිපතිතුමා, ජාතික දියවැඩියා දිනයේ අරමුණ වන්නේ එම වැරදිවලින් මහජනයා මුදාගැනීම බව ද කීවා.

මාලිගාවත්ත “ ලක්සෙත සෙවන” මහල් නිවාස සංකීර්ණය පසුගියදා ජනතා අයිතියට පත්කළේ ජනාධිපතිතුමා‍ගේ ප්‍රධානත්වයෙන්. නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ ඉදිකළ මෙම ව්‍යාපෘතියෙන් මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ පදිංචි දිළිඳු පවුල් 400කටත් කොළඹ අග නගර ව්‍යාපෘතිය යටතේ ඉවත් කිරීමට නියමිත පවුල්වලටත් මෙම යෝජනා ක්‍රමයෙන් නිවාස ලබා දී තිබෙනවා. පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා අමාත්‍යවරුන් හා රාජ්‍ය ඇමැති ඒ. එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

කොළොන්නාවේ ඉදිකළ ලක්සඳ නිවාස යෝජනා ක්‍රමයද ජනාධිපතිතුමා අතින් පසුගියදා ජනතා අයිතියට පත්වුණා. කොළොන්නාවේ පවුල් 460කට ද මෙම නිවාස සංකිර්ණයෙන් නිවාස හිමිවනවා. චම්පික රණවක ඇමැතිවරයා සහ එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මේ අවස්ථාවට එක්ව සිටියා.

මෙහි දී කතාකරමින් ජනාධිපතිතුමා පැවසුවේ කොළඹ නගරය ලස්සන කරනවා මෙන්ම එහි සිටින ජනතාවගේ ජීවිතත් සුන්දර කිරීමට කටයුතු කළ යුතු බවයි. නගර සංවර්ධනය හා ගොඩනැගිලි ඉදිකිරීම පහසු වුවද ඒවායේ ජීවත්වන ජනයාගේ ජීවිත සුන්දර කිරීම පහසු කටයුත්තක් නොවන බව ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නා. මේ ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ එක පවුලක් රජ කරවන්න නොව හැම පවුලක්ම රජ කරවන්න බව ද ජනාධිපතිතුමා පැවසුවා.

මොරටුව වේල්ස් කුමරි විදුහලේ 2016 විශිෂ්ට දස්කම් පෑ ශිෂ්‍යාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ උළෙලටද ජනාධිපතිතුමා පසුගියදා සහභාගී වුණා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිවිටෙක අඩුපාඩු නොතිබිය යුතු බව එහි දී කී ජනාධිපතිතුමා, ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කරන බවට පොරොන්දුවක්ද දුන්නා.

සිසුන්ගේ අධ්‍යාපනික සංචාර සංවිධානය කරන ගුරුවරුන්ගෙන් ජනාධිපතිතුමා මෙහි දී විශේෂ ඉල්ලීමක් කළා. එය නම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් පුනරුත්ථාපනය කරන ආයතනවලටත් දරුවන් රැගෙන ගොස් පෙන්වන ලෙසයි. එසේම මානසික රෝගීන් සිටින ‍රෝහල්වලටත්, පිළිකා රෝහලටත් දරුවන් රැගෙන යන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා සිටියා. එවිට එම තත්ත්වයන්ට හේතුද ළමයින්ට අවබෝධ වනු ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ ගුණ සැමරුමට ද පසුගියදා ජනාධිපතිතුමා එක්වුණා. ආචාර්ය සරත් අමුණුගම, අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිවරුද නාහිමිවරු පිරිසක් ඇතුළු සංඝරත්නයද විද්වත්හු විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූණා.

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා මේ රටේ ගෞරවය හා කීර්තිය ජාත්‍යන්තරයට ගෙන ගිය යුග පුරුෂයකු බවත්, බොහෝ දෙනා අද තානාපති තනතුරු ඉල්ලන්නේ රටට වැඩ කිරීමට නොව විවේකයෙන් සිටීමට බවත් මලලසේකර මහතාගේ චරිතය ඒ අතින් ආදර්ශවත් එකක් බවත් ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා. අපේ තානාපතිවරුන් ගුණපාල මලලසේකර මැතිතුමා ආදර්ශයට ගත්තානම් මේ රට දියුණු කරන්න දියුණු රටවලින් හා මහා බලවතුන්ගෙන් මොනතරම් දේවල් ලබාගත හැකි දැයි ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.

මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට පෙරේදා සහභාගී වූ ජනාධිපතිතුමා ඉන් පසුව ගියේ මල්වතු මහා විහාරයටයි. ආගමික වතාවත්වලින් පසුව ජනාධිපතිතුමා මල්වතු මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසුවා. ඉන් පසුව ජනාධිපතිතුමා අස්ගිරි ගෙඩි ගේ රජ මහා විහාරය වෙත පැමිණ ශාස්ත්‍රපති පණ්ඩිත වේඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටියා.

බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැදුරට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාජකාරි කිහිපයක් නිමකර කෙළින්ම ගියේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වීමටයි. ඔහු එනතෙක් පාර්ලිමේන්තු අගමැති කාර්යාලයේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් රැඳී සිටියා.

"කොහොමද ඊයේ එජාප කෘත්‍යාධිකාරී රැස්වීම" කාර්යාලයට ඇතුල් වෙන ගමන් අගමැති වික්‍රමසිංහ මහතා ඇසුවා."ගිය රජයේ වැරදි කළ අයට දඬුවම් පමා බවට ජනතාව වගේම අපේ මැති ඇමතිවරු අතරත් තියෙන අදහසට කෘත්‍යාධිකාරියේ දී පිළිතුර ලැබීම වටිනවා." සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා. "ගිය රජයේ හොරුයි මිනීමරුවොයි අද ටී.වී. ඉස්සරහ රඟපාන තරම් සාර්ථක රඟපෑමක් කරන්න මම නළුවෙක් වෙලත් අමාරුයි" රන්ජන් රාමනායක මහතා කිව්වා.

" පොලිසිය නීතිපතිට යවපු ෆයිල් 92 න් නඩු දාලා තියෙන්නේ 13 කට විතරයි යැයි මෙතන දී එලි වීම වටිනවා" දයා ගමගේ ඇමතිවරයා කිව්වා.

"නඩු දැමීමේ ප්‍රමාදයක් තියෙනවා. උසාවිවල අඩුපාඩුවත් මේකට බලපානවා. අලුතින් මහාධිකරණ හා අලුතින් වින්ශ්චයකාරවරු දාල මේක කරන්න වෙනවා. නැතිනම් මේ යන විදියට ගියොත් මේ නඩු ටික විතරක් අහන්න තව අවුරුදු 8-10 ක් වත් යාවි" අගමැතිවරයා කිව්වා.

"නඩු පමාව ගැන අගමැතිතුමා වාර්තාවක් කැඳවීම වටිනවා. සාගලගෙනුත් සාධාරණ උත්තර ලැබුණා. තවත් කාලය ගත නොකර මේවා අහන ඉක්මන් ක්‍රමවේදය පවා ඉක්මන් කිරීමට කෘත්‍යාධිකාරිය ගත්ත තීන්දුව වටිනවා" නවීන් දිසානායක කීවේ එවැන්නක්.

"කෘත්‍යාධිකාරියේ ඇති වූ ඇත්ත පසුබිම රටේ ජනතාවටත් ඉක්මනින් ගෙනියන්න ඕනෑ. මැති ඇමතිවරු හා එජාප පසුපෙළ ඒ වගකීම භාරගන්න ඕනෑ" ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ යෝජනාව අගමැති වික්‍රමසිංහ මහතා ඇතුළු සියලු දෙනා අනුමත කළා.

"අයවැය ඉතා සමබරයි. විපක්ෂයේ අයට සිල්ලර මිසක් මේ අයවැයට තොග ගණනේ ප්‍රහාර එල්ල කරගන්න බැරිව ඒ අය හිරවෙලා ඉන්නේ" දයා ගමගේ කීවා.

"බියර් අඩුකළා කියන එකේ තමයි විපක්ෂය එල්ලෙන්නෙ." නවීන් දිසානායක කීවා.

"ලෝකෙ අනිත් රටවලට වගේ අඩුමිලට බියර් එපානම් ඒක වැඩි කරමු. " අගමැතිවරයා කිව්වා.

"2040 දි ඉන්ධන නැති වාහන හා 2050 දී පුනර්ජනනීය බලශක්තිය ඇතිකරන වැඩ පිළිවෙළ ගැන විපක්ෂය වගේම ජනමාධ්‍යත් කතා කරනව මදි" දයා ගමගේ කීවා.

"හැම ක්ෂේත්‍රවලටම මදිය නොකියන්න මේ පාර මුදල් වෙන් කරල තියෙනවා. ඒත් ගිය අයවැයෙන් වෙන් කළ මුදල් හරියට ප්‍රයෝජන අරන් නැහැ කියල එන චෝදනාව බරපතළයි" වජිර අබේවර්ධන මහතා පැවසුවා.

"වෙන් කරන මුදල් උපරිම ලෙස ලෙස පාවිච්චි කිරීම හැම ඇමතිගෙම වගකීම. අනික යම් අමාත්‍යාංශයකට වෙන් කරන සල්ලි ප්‍රමාණය ඒ අයගෙ හැකියාව මත පදනම් වෙලා වෙන් කිරීම ගැනත් බලන්න ඕනෑ."අගමැතිවරයා කිව්වා.

"අගමැතිතුමා බැඳුම්කර කොමිසමට ගෙන්නනකම් සමහරුන්ට නින්ද යන්නෙ නෑ" ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීව්වා.

"එයාල මගෙන් අහල එවපු ප්‍රශ්නවලට මම උත්තර යැව්වා. කොමිසමටත් මම යනවා.මට ඉඩ තියන දින කීපයක් කොමිසමට මම යෝජනා කරලත් යැව්වා.

"කොමිසමේ වැඩ දෙසැම්බර් 08 ඉවරයි. එතකං අගමැතිතුමාට රිවස් යන්න කියල යෝජනාවක් ආවා කියලකතාවක් පැතිරෙනවා." ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසුවා.

"නෑ කවුරුත් මට එහෙම කියල නෑ. පැතිරෙන මේ කතාව ගැන ඇහුවම ජනාධිපතිතුමාත් කීප දෙනෙකුට බැනල කියල මට ආරංචියි" අගමැතිවරයා කීව්වා.

"පළාත් පාලන ඡන්දය ජනවාරිවල තියන එක වටිනවා. ඒත් අලුතින් සභිකයන් 3800ක් වැඩිවීම රටට මහා බරක්" දයා ගමගේ ඇමතිවරයා කිව්වා.

"එජාපයයි ජවිපෙයි සභික ගණන අඩුකරන්න යෝජනා කළා. ඒකට ගියානම් තව මාස 7-8 ක් ඡන්දය කල් යනවා. ඡන්ද ඉල්ලලා රට වටේ හා පංසල් කෝවිල් ගානෙ ගිය අය සභිකයන් 3800 වැඩිවීමේ වගකීම බාරගන්න ඕන”අගමැතිවරයා කීවා.

“මහින්ද මහත්තයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා හයටි හෝටලය හදන්න දීපු රුපියල් කෝටි 1800 න් කෝටි 400 ක් අරන් හම්බන්තොට හෝටලයක් හැදීම ගැන චෝදනාවට රිමාන්ඩ් හිටියට තව ටිකදවසකින් ඇප ලැබේවි කියලයි මිනිස්සු කියන්නේ”රන්ජන් රාමනායක ඇමතිවරයා කිව්වා.

“අපි උදව් කළා කියලා සමහරු හිතනවා. ඒක අසාධාරණ චෝදනාවක්. පොලිසිය හා උසාවිය නීතියට අනුවයි වැඩ කරන්නේ. මමයි සාගලයි උදව් කළේ නැහැ කියලා දැන් ඔප්පු වෙලා තියෙන්නේ”අගමැතිවරයා කිව්වා.

“සෙවණගල සීණි එක දයා ගමගේට ආපහු දෙනවද” ලක්ෂ්මන් කිරිඇල්ල දයා ගමගේගේ පිටට තට්ටු කරමින් ඇසුවා.

“ලංකාදීපෙ මිසක් ඒක ආපහු දයාට දෙනවා කියලා අපි කවුරුත් කියලා නෑ”අගමැතිවරයා කිව්වා.

“සෙවණගල ගොඩගන්න මම අවුරුදු 10 ක් කැප කළා.අද ඒ දියුණුව විනාශ වෙලා. ඒක ආණ්ඩුවට පවර ගැනීමෙන් ලංකාවට එන ආයෝජන පවා ඒ කාලේ නැවතුණා. කම්හල මට ආපහු දුන්නොත් මම යළිත් ඒක දියුණු කරනවා. නැතිනම් මට සාධාරණ වන්දියක් දෙන්න. රජයේ තීන්දු මම දන්නේ නෑ”දයා ගමගේ කිව්වා.

“ටී.එන්.ඒ එක ඒකීය රටක බුදු දහම පිළි අරගෙන බලය බෙදීමකට සූදානම් වෙලා තියෙද්දි පෙඩරල් ඉල්ලන විග්නේෂ්වරන් සිවාජිලින්ගම් ප්‍රේමචන්ද්‍රන් පොන්නම්බලම්ලා දැන් වෙනමම සන්ධානයක් හදාගෙන යන්නයි බලන්නේ”ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා.

“නව ව්‍යවස්ථාවට දකුණේ අන්තවාදීන් විරුද්ධ වෙලා. ඒක කල් යන්න යන්න උතුරේ තවත් දරුණු අන්තවාදීන් බිහිවේවි. දේශපාලනය කරන මිනිස්සු මේක තේරුම් ගන්න ඕන”අගමැතිවරයා කිව්වා.

ලුණුගම්වෙහෙර, සද්ධාතිස්සපුර “සදිසිගම” ජනතා අයිතියට පත් කළ දිනයේ විපක්ෂයේ ප්‍රබලයන් පස් දෙනකු සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සමඟ එකතු වූ පුවතේ උණුසුම පහව යන්නටත් පෙර ලුණුගම්වෙහෙර, පඩව්ගම ‘සියතුරුගම’ ජනතා අයිතියට පත් කළ දිනයේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ දෙවරක්ම උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ සුගත් ගාමිණී රුවන් පතිරණද තමන් සමඟ එකතුවීම පිළිබඳ සජිත් ඉමහත් සතුටට පත්ව සිටියා. සුගත් ගාමිණීට වේදිකාව වෙත ඇරයුම් කළ සජිත් ඔහු සමඟ පිළිසඳරේ යෙදෙමින් සිටිය දී ඔහු ඇසුවේ “කොහොමද සර් මේ ගම්මානවලට නම් හදලා දාන්නේ” කියායි.

“මගේ තාත්තගේ කාලයේ ඉඳන් ඒක හරිම පිළිවෙළටයි කළේ. ගමකට නමක් තියන්නේ නැකැත් - පාද - කිලි - හෝරාව - පක්ෂියා බලලයි. අතීතයේ ජාතික සටන් මෙහෙයවපු සෙන්පතිවරුන්ගේ වගේම රටට සේවය කළ දේශපාලන නායකයන්ගේ නම්වලිනුත් ගම්මාන නම් කරනවා. පක්ෂ භේදයකින් තොරවයි ඒ දේ කරන්නේ. ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් ආශිර්වාදය ඊට හිමිවෙනවා. අද අපි මේ කරන්නෙත් පවුල් 1, 000 කට විතර ප්‍රතිලාභ ලැබෙන, ඒ අයගෙ ජීවිතවලට ආලෝකයක් ලැබෙන වැඩසටහනක්” කියායි.

“මේ ගමනට ඔයත් මා එක්ක එකතුවීම මට ලොකු ශක්තියක්” සජිත් කියද් දී සුගත් කීවේ “මේ සංවර්ධන වැවඩසටහන්වලින් මගේ පළාතේ දුක් විඳින ජනතාවට ප්‍රතිලාභ අත්කරදීමයි මගේ වෑයම. මං විතරක් නෙවෙයි, අනාථ වෙලා ඉන්න සූරියවැව හුඟදෙනෙක් සර් එක්ක එකතු වෙන්න ලෑස්තියි” යනුවෙන්. “පහුගිය ආණ්ඩුව කාලේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලින් ග‍මේ ගොවියාට, ධීවරයාට, කම්කරුවාට සත පහක වැඩක් වෙලා නෑ. ඒ අයටත් එන්න කියන්න. හැබැයි ඔයා ආ විදියටම පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් තොරව කැපකිරීම් කරන්නත් බලාගෙන” සජිත් කීවා.

බදාදා උදෑසන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ සිට ගාල්ලට පැමිණියේ ''නිල සෙවණ" කාර්යාලය කිහිපයක් වෙනුවෙන් මුල්ගල් තැබීමේ අවස්ථාවලට එක්වීම සඳහායි. අමාත්‍යවරයා මුල්ගල් තබන සෑමතැනක දී ම බුද්ධ චරිතය ගැන කියන්නට අමතක කළේ නෑ.

''නිල සෙවණ" කාර්යාල 1000ක් සඳහා දැනට මුදල් අනුමත වෙලා තියෙනවා. ඒකෙන් කාර්යාල 100ක් ගාල්ල දිස්ත්‍රික්කයට ලබා දෙනවා. එයිනුත් මම ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ''නිල සෙවණ" 50ක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. සමහරු චෝදනා කරාවි ගාල්ලට වැඩිපුර කරනවා කියලා. බුදු හාමුදුරුවෝ සියලු කෙලෙසුන් නසා බුදුවෙලත් තමන් සමඟ සිටි අයට උදව් කළා. පළමුවැනි ධර්ම දේශනය කළේ පස්වග මහණුන්ට. තමන්ට දුෂ්කර ක්‍රියා කරන කාලේ උදව් කරපු පස්දෙනාට. ඊටත් ඉස්සෙල්ලා තමන්ට බුදු වෙන්න සෙවණ දීපු ජය ශ්‍රී මහා බෝධියට කළගුණ සැලකුවා. මමත් උදව් කරන්න ඕනේ මගේ පළාතට, මගේ ප්‍රදේශයට, මට පාර්ලිමේන්තුවට යන්න, ස්වදේශ කටයුතු ඇමැති වෙන්න උදව් කරපු මිනිසුන්ට. ඒ නිසා මේ ව්‍යාපෘතිය අපි මේ විදියට කරනවා."

එසේ කියා එදිනම ගාල්ලෙන් කොළඹ බලා ගිය ඇමැති වජිර පසු දා උදෑසන තම අමාත්‍යාංශයේ දී කාර්යාල කාර්ය සහායකයන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කළා. පත්වීම් ලැබූ පිරිස අතර ගාල්ලේ වැසියන් වැඩිපුර සිටි බව පත්වීම් ලැබූ තරුණයකු කීවේ ඇමතිවරයාට ස්තූති කරමින්.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉරිදා ගාල්ලට පැමිණි ඇමැති වජිර අබේවර්ධන මඩවලමුල්ල ශ්‍රී සද්ධාතිස්සාරාමටය ගාල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයන් කැඳවා තිබුණා. ගංවතුර ඇතුළු විවිධ හේතූන් නිසා පීඩාවට පත් පුද්ගලයන් 500කට පමණ එම ස්ථානයේ දී ම ගෘහ උපකරණ, සනීපාරක්ෂක උපකරණ හා වියළි ආහාර ලබාදීම ද සිදුවුණා. අමාත්‍යවරයාගේ පුද්ගලික ඉල්ලීමකට අනුව කුවේට් හි රතුකුරුස සමාජයකින් ඒ ආධාර ලබා දී තිබුණා.

සඳුදා උදෑසන කළුතර පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා මුල්ගල් තැබීම ඇමැති වජිරගේ ප්‍රධාන්තවයෙන් සිදු කෙරුණා. එහි දී ඇමතිවරයා රටේම ඇති ප්‍රශ්න ගැන කතා කළා.

'' රට පුරාම ප්‍රශ්න තියෙනවා. ඇතැම් අය හිතනවා කොළඹින් බැහැර ගම්වල තමයි ප්‍රශ්න වැඩි කියලා. ඒක එහෙම නෙවෙයි. කොළඹත් ප්‍රශ්න ගොඩගැහිලා. එක ග්‍රාම සේවා වසමක් තියෙනවා ඒකේ පුද්ගලයන් 12, 000ක් ඉන්නවා. එක ග්‍රාම නිලධාරී මහත්මයෙක් විතරයි ඉන්නේ. එතුමා වැඩ කරන්නේ නියෝජිතයන් අට දෙනෙක් පත්කරගෙන. මේවා ලොකු ප්‍රශ්න. කොළඹ අන් තැන්වලටත් වඩා ප්‍රශ්න වැඩියි. "

මෙහි දී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ තට්ටු නිවාස ගොඩනගන විට ග්‍රාම නිලධාරීවරයාට එහි කාර්යාලයක් වෙන් කරන්නේ නැතිනම් සැලසුමට අනුමැතිය නොදෙන බවයි.

පාලින්ද නුවර දී ම රජයේ සේවකයන්ගේ වැටුප් රජයෙන් වැඩි කළ ආකාරය පැවසූ අමාත්‍ය වජිර අබේවර්ධන තමන් අඟහරුවාදා පාර්ලිමේන්තුවට යන විට තම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකුගේ 2015 පඩි පතත් දැන් ඇති පඩි පතත් රැගෙන යාමට තීරණය කර ඇතැයි කීවා.

කියූ පරිදි ම ඇමැති වජිර අබේවර්ධන පසුදා පාර්ලිමේන්තුවට ගියේ තම කාර්යාල කාර්ය සහායකයකුගේ වැටුප් පත්‍ර ද රැගෙනයි. රජය පත් වූ අවස්ථාවේ මුල්වරට පඩි වැඩි කළ ආකාරයත්, 2020 වනතුරු පඩි වැඩිවන ආකාරයත් ඔහු පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් අපූරුවට විස්තර කළා. එදිනම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවලත් පුවත්පත්වලත් මේ කතාවට වැඩි ඉඩක් වෙන්කර තිබුණා.

ඊයේ බ්‍රහස්පතින්දා උදෑසන කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී දිසාපති සමුළුව ආරම්භ වූයේ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ සමුළුවට අමුත්තකු පැමිණියා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතායි. ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දේශප්‍රිය මහතා දිසාපතිවරු දැනුම්වත් කළා. එහි දී ඔහු කියා සිටියේ මැතිවරණය පැවැත්වෙන දිනය තමන්ගෙන් මේ මොහොතේ අසන්න එපා යැයි කියායි. කෙසේ වෙතත් ඉතා ඉක්මණින් පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණයේ දී තේරීම්භාර නිලධාරීවරුන් හැටියට දිසාපතිවරුන් ක්‍රියාකිරීමට අවශ්‍ය ආකාරය ගැන ඔහු උපදෙස් රැසක් දුන්නා.

ශ්‍රී ලංකා-චීන සූපවේදීන්ගේ සංගමය පිහිටුවීමේ උත්සවය පසුගිය දාහතරවෙනිදා කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වුණා. මේ අවස්ථාවට චීන තානාපතිවරයා විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගි වූ අතර ජවිපෙ නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත්, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ යන මන්ත්‍රීවරු සහභාගි වුණා. සංචාරක අමාත්‍යවරයා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, පා.ම. විජේදාස රාජපක්ෂ ඇතුළු පිරිසක්ද හෝටල් ක්‍ෂෙත්‍රයේ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වි සිටියා. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් උත්සවය අමතා කතා කළේ බිමල් රත්නායක මන්ත්‍රීවරයායි.

උත්සවය අවසන් වීමෙන් පසුව බිමල් රත්නායක සහ වසන්ත සමරසිංහ මන්ත්‍රීවරුන් දෙදෙනා අසලට පැමිණි උත්සවයට සහභාගිව අමුත්තෝ කිහිප දෙනෙක්ම රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කතාබහ කළා.

‘ජීවයේ අයිතිය’ මෑතක දී බිහිවුණු පරිසර සංවිධානයක්. එහි කැඳවුම්කාරත්වය දරන්නේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නයි. එම සංවිධානය මගින් ‘මධ්‍යම කඳුකරයේ විනාශය, රටේ අනාගත මරණය නමින් සම්මන්ත්‍රණ මාලාවක් රට පුරා පවත්වනවා. මේ සම්මන්ත්‍රණ මාලාව සඳහා පරිසරවේ දී පූජ්‍ය වෑකඳවල රාහුල හිමි, වෛද්‍ය ප‍‍්‍රසන්න කුරේ, පරිසරවේ දී සම්පත් ආරියසේන, කථිකාචාර්ය එන්.පී. ගොඩිගමුව, මහාචාර්ය ජිනදාස කටුපොත යන අය දේශකයින් ලෙස සහභාගි වූ අතර විශේෂ ආරාධිතයෙක්ද සම්මන්ත්‍රණ කිහිපයක් සඳහා සහභාගි වුණා. ඒ ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිල ඇත්තෝයි. ඔහු පසුගිය එකළොස්වෙනි දින මාතර පැවැති සම්මන්ත්‍රණයටද සහභාගි වුණා. තමන් ඉතාම ඕනෑකමින් මෙම සම්මන්ත්‍රණ මාලාවට සහභාගි වන බවත් ඒ වෙනුවෙන් ආරාධනා කළ සමන්ත විදාරත්නට ස්තූතිවන්ත වන බවත් පැවසූ ඔහු තමන්ගේ භාෂාවෙන් සමන්ත විද්‍යාරත්න පිළිබඳව අපූරු වර්ණනාවක් කළා. ”

ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ඡන්ද සටනේ ආරම්භය ලෙස පසුගිය ඉරිදා අනුරාධපුරයේ පැවැති රැස්වීමේ දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් කිසිදු පක්ෂයක් සමඟ ඩීල් දමන්නේ නැති බවයි. තමන්ගේ ඩීල් එක තිබෙන්නේ ජනතාව සමඟ පමණක් බව කියූ රාජපක්ෂ මහතා තමන් තනිවම තරගවදින බව ප්‍රකාශ කළා.

අඟහරුවාදා සවස පාර්ලිමේන්තුවේ කාමරයක දී රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පළාත් පාලන මැතිවරණයේ දී ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළා. එහි දී හදිසියේම එම ස්ථානයට අමුත්තෙක් පැමිණියා. එම අමුත්තා වූයේ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතායි. ප්‍රේමජයන්ත් මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ අවසරය ඇතිව එම ස්ථානයට පැමිණියේ දේශපාලන යෝජනාවක්ද සමඟයි.

ඔහුගේ යෝජනාව වූයේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සන්ධානයක් ලෙස තරග කළ යුතු බවයි. එසේ නොකළහොත් මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ඉහළින්ම ජයගනු ඇති බව ද බෙදුණු ශ්‍රීලනිපයේ දෙපාර්ශ්වයටම පරාජය හිමිවීමෙන් කලකට යළි හිස ඔසවන්නට නොහැකි වන පසුබිමක් නිර්මාණය වන බවත් පෙන්වා දුන් ප්‍රේමජයන්ත් මහතා මතභේද තිබියදීම එක්ව තරග කිරීමට යෝජනා කළා.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සිටි පිරිසක් මෙම අදහසට කැමැත්තක් දැක්වූ බව පෙනී ගියද බහුතරයේ මතය වූයේ තම කණ්ඩායම වෙනම තරග කළ යුතු බවයි. ඒ අනුව තම කණ්ඩායමේ නාමයෝජනා සැකසීමට කමිටුවක්ද පත්කරගනු ලැබුවා. මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ සී. බී. රත්නායක, ප්‍රියංකර ජයරත්න හා ශෙහාන් සේමසිංහ මහත්වරුන්ය. මේ සතියේදීම රැස්වී නාමයෝජනා සැකසීම සිදුකළ යුතු බවටද එහි දී තීරණය වුණා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ කිහිපයක් තමන්ට බලය ඇති ප්‍රදේශවල තම පක්ෂ ලාංඡනය යටතේ තරග වැදීමටද අනෙක් ප්‍රදේශවල දී පො‍ෙහාට්ටුව ලකුණින් තම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමටද ඉල්ලීම් කොට තිබෙනවා. ඒ අනුව මහජන එක්සත් පෙරමුණ මහරගම, හෝමාගම හා අවිස්සාවේල්ල ප්‍රදේශවලත්, ලංකා සම සමාජ පක්ෂය යටියන්තොට හා තවත් ප්‍රදේශ කිහිපයකටත් තම පක්ෂ ලාංඡනයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිනවා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...